
DINESH subasinghe
පුංචි රෝමයේ කරැකැවෙන මුහුදු සුළඟ පුරා තිබෙන්නේ රිද්මයක්. ඒ රිද්මයේ පිරිලා තියෙන්නේ විවිධ ස්වර රටා. ඒ ස්වර රටාවලට ඇහුම්කන් දීලා එ් ස්වර ඛණ්ඩ වශයෙන් තෝරලා එකට සම්පිණ්ඩනය කරන එක ඒ පුරවරයේ වෙසෙන්නවුන්ට හුරුපුරුද්දක්.
මීගමුවෙ, කටුවාපිටිය කියන්නේ ශෝකී ස්වරයෙන් ඉකි ගැහුණු, ළසොවින් හඬ නැඟූවන්ගේ ස්වරයෙන් වෙව්ලුම් කෑ ප්‍රදේශයකට. එහිදී අපිට අපූරු රසවතෙක් මුණ ගැසුණා. ඔහු එලෙස අපට මුණගැසෙද්දි මේ මිනිසා කටුවාපිටියට ඇවිත් දින 15330 ක් වෙලා තිබුණා. ඒ පැමිණ තිබුණේ විශ්වයේ ඇති රස භාව පිරුණු කම්පන එක්රැස් කරන්නෙක් වශයෙන් කටයුතු කරන බවට විශ්වයට කළ සපථ කිරීමක් එක්කයි. ඔහු නමින් දිනේෂ් සුබසිංහ. මෙවර කලාකරුවකුගේ ක්‍රීඩාවේ භාවිතය සම්බන්ධයෙන් අපි කතා කළේ සප්ත ස්වර මිහිරියාවේ නැවුම් ගොඩබිම් සොයා රිද්ම සාගරය තුළ යාත්‍රා කරන ඔහුගේ ස්වර අසපුවේ යි.
'මම බොදු කතෝලිකයෙක්.' ඔහු අපිව පිළිගනිමින් කීවා. අපි එහෙම කතෝලිකයෝ ජාතියක් ගැන අසා නැති නිසා වික්ෂිප්ත වුණා.
'රෝමානු කතෝලික කියන ආගම අදහන පිරිස් ලංකාව තුළ නෑ. අපිත් කවදා හරි දවසක බෞද්ධයෝ. ඒ අපූරු අහිංසාවාදී දහම ඇතුළේ සංයමනශීලි භාවයක් ලබාගත් මිනිස්සු. නමුත් විදේශීය ආක්‍රමණ එක්ක මුහුදු බඩ කලාපයේ ජීවත්වුණු අපි වගේ
උදවියගේ මුතුන් මිත්තන්ට සිද්ධ වුණා පරදේශී ආගම් වැලඳ ගන්න. විවිධ හේතු ඊට ඉවහල් වුණා. ඒ නිසයි අපි
කිතුනුවෝ වුණේ. ඒත් රෝමයෙන් ආපු කතෝලික ආගම වැලඳ ගත්තාට අපි රෝමානු කතෝලිකයෝ නොවෙයි. ඇත්තටම කියනවා නම් අපි බොදු කතෝලිකයෝ. නමුත් මම නම් කතෝලික ආගමික සංස්ථාව අනුගමනය කරන්නෙක් නොවෙයි.' ඔහු කිව්වා. අපේ වික්ෂිප්තභාවය ගැන කිසිවක් නොසිතූ ඔහු තවදුරටත් කතා කළා.
'සංගීත විෂයට මම ගොඩාක් කැමැතියි. ඒක මගේ ජීවිතයේ කොටසක්. මම මේ සංගීතය භාවිත කරන්නේ මේ ජීවිතයට නොවෙයි. තවත් අවුරුදු දාහක් මගේ සංගීතය මා සමඟ පැවැතිය යුතුයි.' ඔහු කිව්වා.
'ක්‍රීඩාවට මම සම්බන්ධ වුණේ කොහොම ද? ඒක දිග කතාවක්. පාසල් ජීවිතය තුළ තමයි මම ක්‍රීඩාවට සම්බන්ධ වුණේ. එතැනින් මම මිදුණේ කොහොම ද? ඒකටත් හේතු තිබුණා.' දිනේෂ් කිව්වා.
'ඇත්තටම කියනවා නම් සියලු ජීවත් වන සතුනට ලේසි පහසු පරිසරයක් ගොඩනැඟිය යුතුයි. මා තුළ අඩුපාඩු තිබෙනවා. හදිසි කෝපය, උද්දච්ඡ භාවය වගේ දුර්ගුණ අප තුළත් වර්ධනය වෙනවා. මම තමයි දක්ෂයා, මට වැඩිය කෙනෙක් නෑ වගේ මමත්වයේ දුර්-මතත් අපි තුළ ගොඩනැෙඟනවා. ඒ හැම මොහොතකදීම අපි කරන්නේ එතැනින් අයින් වෙන්න කටයුතු නොකර දුක් විඳින එක යම් යම් සීමා-වන් දමාගන්න එක. සෑහෙන්න පාල-නය කර ගනිමින් ජීවත් වෙනවා. මේ ලෝකෙ සෑහෙන්න වැරදිලා තියෙ-න්නෙ. ඒ වැරදුන තැන් මගේ වපසරිය ඇතුළේ නිවැරැදි කරන්න සහ තව කෙනෙකුට දෙයක් ලේසි කරන්න ජීවත් වෙන එක තමයි මගේ ජීවිතයේ පරමානන්දය.' දිනේෂ් කියනවා.
මේ අඩු වයස් මිනිසා තුළ ගැඹුරු ජීවිතයක් සක්මන් කරනවා නේද කියලා හිතෙද්දි අප සමඟ ඔහු
තමන්ගේ පවුලේ තොරතුරු සම්පිණ්-ඩනය කළා.
'මගේ මව ගෘහණියක් වගේම ඉංග්‍රීසි ගුරුවරියක්. පියා නාවික හමුදාවේ වාදක මණ්ඩලයේ සාමාජිකයෙක්. ඔහුට 70 දශකයේ හොඳ Sound System එකක් තිබුණා. වාදක මණ්ඩල කිහිපයක් මෙහෙයවලත් තිබෙනවා. මට සහෝදරයෙක් ඉන්නවා. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දැනට ඉන්නේ නවසීලන්තයේ. දැන්නම් වෘත්තීය ක්‍රිකට් ගුරුවරයෙක්. 'Best Cricket Development Officer' කියන සම්මානය ඔහුට හිමිවුණේ මෑතකදියි. මමත් ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබෙනවා. ඒ කාලේ අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතුවල යෙදුනා. අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ පුහුණුවීම්වලට සම්බන්ධ වුණා. මම එතකොට හිටියේ කොළඹ ශාන්ත පීතර විද්‍යලයේ. මගේ මුල්ම පාසල තමයි කඳාන ඩි මැසනොද් විදුහල.' ඔහු කිව්වා.
'ඇත්තටම මගේ සහෝදරයා තමයි මුලින්ම වයලින් වාදනය ඉගැන්වූයේ. මුල් දවසෙම වයලීනයේ String එකක් මගේ අතින් කැඩුණා. ඒකට ඔහුට තරහා ගියා මට මතකයි. ඇත්තම කියනවා නම් මගේ සහෝදරයා ක්‍රිකට් පිස්සෙක්. මේ හින්දා වයලින් පන්ති යන අතරේ පාරේ ක්‍රිකට් ගහන එකත් අපි නතර කළේ නෑ. මේ පිස්සුව කොයි තරම් ද කියනවා නම් කඩුල්ලට තියන්නේ මොකක්ද දන්නවා ද?' අපි අහගෙන හිටියා.
'ඕගොල්ලෝ හිතන්නෙවත් නෑ. කඩුල්ල තමයි වයලින් පෙට්ටිය.' ඔහු අපිව විස්මයට පත් කරමින් කිව්වා.
'පුංචි කාලයේ ඉඳලම මම ක්‍රිකට් ලෝලියා. තරග අතහරින්නේ නෑ. ක්‍රිකට් තරගයක් මුල සිට අග දක්වා නැරඹීමේ ආසාව මට තියෙන්නේ ඒ කාලේ සිටයි. එයින් ක්‍රිකට් තරග පිළිබඳ මනා දැනුමක් ලබා ගත්තා. ඒ කාලේ ක්‍රිකට් තරග ගැන තොරතුරු ඇතුළත් කරලා පොත් හැදුවා. අදත් ඒ පොත් විශාල ප්‍රමාණයක් මගේ ළඟ සුරැකිව තිබෙනවා. ඇත්තටම කිව්වොත් මමත් ක්‍රිකට් පිස්සෙක්. දි මැසනොද් සහ ශාන්ත පීතර විදුහල් අතර සුහද ක්‍රිකට් තරගයක් තිබුණා. අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ජනාදරයට පත් කෞෂල්‍ය ලොකුආරච්චිගේ පළමු තරගය තමයි ඒක. ඒ තරගයේ දී විනිසුරුවාගේ කාර්යභාරය කළේ මම.' ක්‍රිකට්වලට අමතරව තවත් ක්‍රීඩාවන් රාශියක නියැළෙන්න ඔහුට උවමනාවක්
තිබිලා තිබෙනවා. 'මම ඉස්සර කරාටේ, ටයිකොන්ඩෝ වගේ
ක්‍රීඩාවල නියැළුණා. 1995 සිට 98 දක්වා දේවකුමාර්, බ්‍රිටෝ,
ශෝබා මාස්ටර්, කටානේ පැට්‍රික් මාස්ටර් යටතේ මීගමුවේ දී පුහුණුවීම්-වල යෙදුණා. මේ ක්‍රීඩා තුළින් ඇඟිවලට අනතුරු වෙයි කියලා එයින් ඉවත් වුණා.' ඔහු තමන්ගේ ක්‍රීඩාව නතර වීමට ඉවහල් වුණු හේතු
ඉදිරිපත් කළා.
'වෘත්තියෙන් සංගීතවේදීයකු නොවී ක්‍රීඩාවක් තෝරා ගත්තා නම් මම අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයි. බොහෝ විට මම ජාත්‍යන්තරයට යන්න සමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වන්නත් ඉඩ තිබුණා. ඒ ඕනෑම විෂයක් සාර්ථකව ජයගන්න මා තුළ තිබුණු ඉලක්කය සහ අධිෂ්ඨානය නිසයි. නමුත් මට සොබාදහම, මේ මහා විශ්වය ලබා දුන් දායාදය තමයි සංගීතය කියලා කියන්නේ. මගේ හොඳම ආගමත් එයයි. ඒ තුළින් සමස්ත මිනිසාටම ප්‍රේම කරන්න අවසරය ලැබෙනවා.' දිනේෂ් කිව්වා.
ඔහුව වෙනත් මානයකට යොමු කරමින් කලාව ද ක්‍රීඩාව ද වඩා ආකර්ෂණීය කියා විමසුවා. 'කලාව තමයි වඩා චිත්තාකර්ෂණීය.' ඔහු කීවේ නිරායාසීව.
'කලාව මඟින් නරඹන්නා නැත හොත් ප්‍රේක්ෂකයාගේ එහෙමත් නැත්නම් ශ්‍රාවකයාගේ මනස පිනවීමක් කරනවා. ක්‍රීඩාව ශාරීරික ක්‍රියාකාරකමක්. නමුත් එයත් යම් ජන කණ්ඩායමක් තුළ මානසික බලපෑමක් කාන්දු කරවනවා. අපි සිරුරෙන් ලැබූ එවැනි ක්‍රීඩා මතකයන් තුළ අපි වසර ගණනක් ජීවත් වෙන අවස්ථාත් තිබෙනවා. ඒත් කලාව ඉන් එහා තැනකට අපව ගෙනියනවා. ලෞකික ජීවිතය වඩාත්ම බද්ධ වෙන්නේ ක්‍රීඩාවටයි. ඒත් ආධ්‍යාත්මික ජීවිතය වැඩිපුර සම්බන්ධ වෙන්නේ කලාව සමඟ.' ඔහු තමන්ගේ මතය ගෙනහැර දක්වනවා.
අනාගතයේ රටකට පහළ වන, ලොවකට පහළ වන නිර්මල පාලකයා ගොඩනංවන්නේ කලාව හා ක්‍රීඩාව තුළින් ලබාගන්නා අමිල ශික්ෂණය තුළයි. ඒක හදන්නේ නිදහස් අධ්‍යාපනය හා ක්‍රීඩාවයි. යහපත්, ගුණවත් අධිෂ්ඨානශීලි මිනිසාව අමතක වෙලා ගිහින් මමත්වයට මුල් තැන හිමිවුණු සමාජයක් තමයි අපි මේ පසු කරන්නෙ. කණ්ඩායම් හැඟීමක් නෑ. මමත්වය අස්සෙ එන මෝහය නිසා බොහෝ ක්ෂේත්‍ර කඩා වැටෙනවා. අපේ ක්‍රිකට් පසුගාමී වුණා කියලයි මට හිතෙන්නේ.' ඔහු තමා දරන ස්ථාවරය ගැන පැහැදිලි කරනවා.
'මම විශ්වාස කරන විදිහට අමාරු යුගයක පෑයූ ක්‍රිකට් තරුව තමයි අරවින්ද ද සිල්වා කියන්නේ. තරගයකට මුහුණ දෙන්න කලින් බෝල 1000 ක් ගහලා පුහුණු වෙලා ඔහු තරගයකට යනවලු. විවිධ කෝණවලින් එන පන්දුවලට මුහුණ
දෙනවාලු. ජයග්‍රහණය කරා යන්නෙ සිීරුමාරුවට. අරවින්ද දිහා බලලා තමන්ගෙ ඉරියව් සකස් කර ගත් ක්‍රීඩකයන් සිටිනවා. මම කියන්නේ අරවින්ද ශ්‍රී ලංකාවේ ක්‍රිකට්
ක්‍රීඩාවේ පරමාදර්ශය විය යුතුයි කියලයි. මම ක්‍රීඩාව රසවිඳින කලාකරුවෙක්. දැන් මගේ සිහිනය පෙර කිව්වා වගේ වසර දාහකට මගේ ඇඟිලි දිගහැරලා සංගීත වාදකයෙක් විදිහට මිහිරි තනු වයන්න, මගේ මනස විවෘත කරලා විශ්වයේ තිබෙන මිහිරි ස්වර ඝටනාව එක්කරලා සංගීත සංයෝග නිර්මාණය කරන්න.' දිනේෂ් සුබසිංහ කිව්වා. ඔහුගේ සුබ සිහිනවලට ආසිරි පතලා අපි කටුවාපිටියෙන් නික්මුණා. ඒත් කටුවාපිටිය තවමත් සුසුම් හෙළන නගරයක්. දිනේෂ් කියපු විදිහට 'බොදු කතෝලිකයන්ට' එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්ව සුසුම් හෙළන නගරයක්. ඒ සුසුම් හෙළන දියඹ ආසන්නයේ ඇහෙන ශෝකී තානයට දෙසවන් යොමු කරමින්ම අපි අධිවේගී මාර්ගයට වැදිලා කොළඹට පලා ආවා.
සුදම් ගුණසිංහ










