දින 225 ක් වසර හතක් බලාපොරොත්තු බැඳීම | සිළුමිණ

දින 225 ක් වසර හතක් බලාපොරොත්තු බැඳීම

 

මංගල තරගයේ පළමු ඉනිමේ දී ම ඔහු ලකුණු පුවරුව අර්ධ ශතකයකින් සැරසුවේ දිගු ගමනක මුල් පියවර තබමිනි.

'ඔහු විටෙක මීමැස්සෙක් මෙන් කාර්ය ශූර ය. තවත් විටෙක ගුමු ගුමු නඟන පුංචි මීමැස්සකු සේ ම භයංකර ය. තවත් විටෙක බලාපොරොත්තු සුන් කරගනිමින් නික්ම ගිය අවස්ථා ද නැතුවා නොවේ යැයි කිව යුතුම ය. රොමේෂ් කළුවිතාරණගෙන් පසු කඩුල්ල පිටුපස වගකීම් ගත් වෙඩිලි අතර අවසානයේ ස්ථිර වගකීම් පැවරුණේ ඔහුට ය. මේ ඔහු පිහිටු වූ වාර්තාවක් ගැනය.'

 

ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසුණෙකි. ටෙස්ට් වරම් හිමිවන්නේ හරියටම වසර හතකට පෙර එනම් 2014 ජුලි මස කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණ යේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අකුරු කියැ වූ දික්වැල්ල ටෙස්ට් වරම් දිනා ගත්තේ දිනේෂ් චන්දිමාල් ගේ හිස්තැන පිරවීමට ය. මංගල තරගයේ පළමු ඉනිමේ දී ම ඔහු ලකුණු පුවරුව අර්ධ ශතකයකින් සැරසුවේ දිගු ගමනක මුල් පියවර තබමිනි.

එදා සිය කිරි කෝඩු ටෙස්ට් තරගයේ දී ලකුණු 72 ක් ලබාගැනීමට ඔහුට හැකිවිණි. එපමණක් නොව ඔහු ජාතික කණ්ඩායමේ ස්ථානයක් ද තම නමින් තහවුරු කර ගත්තේ ය. ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය 2014 වසරේ නොවැම්බර් 16 වැනි දා පැවැති අතර 2016 පෙබරවාරි 09 වැනි දා පළමු විස්සයි විස්ස තරගයට ද මුහුණ දුන්නේ ය. ඒ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිවය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසර 7 ක පමණ අත්දැකීම් ඇති යොවුන් දික්වැල්ලගේ නම ඉදිරියෙන් මේ වන විටත් ක්‍රිකට් වාර්තා කිහිපයක්ම ලියැවී අවසන්ය.

‍ශතකයේ සිහිනය

ටෙස්ට් ශතකයක් ලබා ගැනීම ඕනෑම පිතිකරුවකුගේ ප්‍රධාන අභිමතාර්ථය ය. නමුත් එකදු ටෙස්ට් ශතකයක් වත් ලබා නොගෙනම දික්වැල්ල ලෝක වාර්තාවක් පිහිටුවා ඇත්තේ ය. ඒ තරග 45 ක් තිස්සේ එසේත් නැතහොත් දින 225 ක් තිස්සේ ටෙස්ට් ශතකයක් හඹා යමිනි. ඒ වෙනුවෙන් ඔහු ටෙස්ට් ඉනිම් 80 ක දී අර්ධ ශතක 18 ක් ලබාගනිමින් ශතක අභිමතාර්ථයට ළංවී තිබේ. නමුත් ලකුණු 96 ක ට සහ 92 ක ට ශතකය පෙනි පෙනී දැවී ගිය අවස්ථා ද්විත්වයක් ද ඒ අතර වෙයි.

එසේම පසුගිය දා අවසන් වූ බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවන විට දික්වැල්ල නොදැවී ලකුණු 77 ක් ලබා ගෙන සිටියේ ය.

ලෝක ටෙස්ට් පිටියෙහි ශතකයක් නොලබා වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් ලබා ගෙන ඇති ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පළමු තැන හිමිවන්නේ ද දික්වැල්ලට ය. එසේම එකදු ශතකයක් හෝ නොලබා ටෙස්ට් ලකුණු 2000 සීමාව පසු කර ඇති ක්‍රීඩකයන් තිදෙනා අතරින් එක් අයකු වන්නේ ද දික්වැල්ල ය. එහිදී ඔහු දෙවැනි වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන්ට පමණ ය.

බිංදුවේ වාර්තාව

බිංදුවකට දැවී යාම මානසික තැවුලකි. ඕනෑම දක්ෂයකුට නොසිතූ විරූ අති සාර්ථක පන්දුවක් වැටෙන්නේ නම් ලකුණු බිංදුවකට වුව දැවී යාමට පිළිවන. එය මංගල තරගයේ කියා විශේෂයක් නැත. කෙසේ නමුත් දික්වැල්ල පළමුවෙන්ම ලකුණු නොලබා දැවීයන්නේ සිය 58 වැනි ටෙස්ට් ඉනිමේදීය. එම දස්කම අන්තර්ජාතික ටෙස්ට් වාර්තාවක් වන අතර එම සටහනේ ඔහුට හිමිවී ඇත්තේ නව වැනි තැනය.

ස්ථානීය සාර්ථකත්වය

ජාත්‍යන්තර පිටියේ අත්දැකීම් ඇති ක්‍රීඩකයකු වුවද දික්වැල්ල කණ්ඩායමේ විවිධ ස්ථානවල ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරග රටා ත්‍රිත්ව යේ දී ම 9, 10, 11 යන පිතිකරු ස්ථාන හැර සෙසු සෑම ස්ථානයකටම ක්‍රීඩා කර තිබීම සුවිශේෂී කරුණකි එහිදී 1 වැනි ස්ථානයට ක්‍රීඩා කරමින් තරග 52 ක දී ලකුණු 1540 ක් දෙවැනි ස්ථානයට ක්‍රීඩා කරමින් තරග 4 ක දී ලකුණු 81 ක් තෙවැනි ස්ථානයට ක්‍රීඩා කරමින් තරග 5 ක දී ලකුණු 183 ක් ද සිව්වැනි, පස්වැනි සහ අටවැනි ස්ථානයන් හි තරග 7ක දී ක්‍රීඩා කරමින් පිළිවෙලින් ලකුණු 188ක්, 82 ක් සහ 213 ක් ද 6 වැනි ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 924 ක් ද 7 වැනි ස්ථානයේ ක්‍රීඩා කරමින් ලකුණු 1269 ක් ද රැස් කර ගෙන තිබේ.

ඒ අතරින් එක්දින පිටියේ ඔහු වඩා සාර්ථක වී ඇත්තේ පළමු ස්ථානයේ ක්‍රීඩා කරමිනි. එහිදී ඔහු තරග 35ක දී ලකුණු 1190 ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ටෙස්ට් තරගයන් හි හයවැනි සහ හත්වැනි ස්ථානවල වැඩි වශයෙන් ක්‍රීඩා කර ඇති දික්වැල්ල එම ස්ථානයන්හි දී වැඩි සාර්ථකත්වයක් ‍පෙන්නුම් කරයි. විස්සයි විස්ස තරගවල දී ඔහු වැඩිවශයෙන් සාර්ථක වී ඇත්තේ පළමුවැනි ස්ථානයේ ක්‍රීඩා කරමිනි.

2017 වසරේ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණ යේ දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමඟ පැවැති එක්දින තරගයේ දී දික්වැල්ල එදා ධනුෂ්ක ගුණතිලක සමඟ ලකුණු 229 ක් ලකුණු පුවරුවට එක් කළේ ආරම්භක පිතිකරුවෙක් ලෙස එක්දින කණ්ඩායමේ තමන්ගේ ස්ථානය තහවුරු කරගනිමිනි.

නමුත් දික්වැල්ල ටෙස්ට් තරගවලදී වඩාත් සාර්ථකත්වයට පත්ව ඇත්තේ 6 සහ 7 යන ස්ථානවල ක්‍රීඩා කරමිනි. ඒ අතරින් 7 වැනි ස්ථානයේ දී ඔහු වඩාත් සාර්ථක වී ඇතැයි පෙණේ. පසුගිය දා අවසන් වූ බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දී 7වැනි ස්ථානයේ ක්‍රීඩා කරමින් දික්වැල්ල ලකුණු අතරට පිවිසිියේ පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 77 ක් රැස්කරමිනි.

ඔහු මංගල ටෙස්ට් තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගත්තේ ත් ඉහළම ටෙස්ට් ඉනිම වන ලකුණු 96 රැස් කළේ ත් හත්වැනි ස්ථානයේ ක්‍රීඩා කරමින් වීම විශේෂත්වය කි.

පසිඳු මිහිරාන් රැටියල

Comments