කුසල්ලාට බංගලි වළලු රැගෙන එන්නට කුසල් තිබේවි ද? | සිළුමිණ

කුසල්ලාට බංගලි වළලු රැගෙන එන්නට කුසල් තිබේවි ද?

 

මෙම මස 23 දින බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් තේරීම් කමිටුව විසින් පසුගිය දා නම් කරනු ලැබීය. මෙහි විශේෂත්වය දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් වැනි පළපුරුදු ක්‍රීඩකයන් මෙම කණ්ඩායමට ඇතුළත් නොවීමයි.

“දිගු කාලින සැලැස්මක් කෙරෙහි තමයි අපි මෙවර අවධානය යොමු කළේ. විශේෂ-යෙන්ම 2023 ලෝක කුසලාන ඉලක්ක කර ගනිමින් තමයි අපි වැඩ කටයුතු කරන්නේ.” ඒ බංග්ලාදේශ සංචාරය සඳහා තෝරා ගනු ලැබූ කණ්ඩායම ගැන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ දක්වා තිබූ අදහස ය. කෙසේ වුව ද මෙමඟින් පැරණි ක්‍රීඩකයන් ගේ එක්දින ක්‍රිකට් ක්‍රීඩා ගමන් මඟ අවසන් නොවන බව තේරීම් කමිටුව ප්‍රකාශ කර තිබේ.

“තරුණ ක්‍රීඩකයන්ට සමාන ලෙස ප්‍රවීණයන් ගේ ශාරීරික යෝග්‍යතාව, වගේම දස්කම් අඛණ්ඩව රඳවාගත හොත් කණ්ඩායමේ ශක්තියට ඔවුන් අවශ්‍ය යැයි හැඟුණ විට දිමුත්, චන්දිමාල් හෝ මැතිව්ස් කණ්ඩායමට යළි කැඳවීමේ අවකාශය තිබෙනවා”තේරීම් කමිටු සභාපතිවරයා වැඩි-දුරටත් පැවසීය.

මෙම බංග්ලාදේශ එක් දින තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ජයගත යුතු තරග මාලාවකි. එය එසේ වන්නේ අවසන් වරට කොදෙව් පිල ඉදිරියේ පැවැති එක්දින තරගාවලිය 0-3 ලෙස පරාජය වීම ය. එම පරාජය සමඟින් මීළඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් අත්කර ගැනීමේ සුපර් ලීග් වටයේ තමන් ට හිමි තරග මාලා අටෙන් ශ්‍රී ලංකාවට එකම ප්‍රසාද ලකුණක් හෝ නොමැතිව එක් තරගමාලාවක් නිමාවී අවසන් ය. මේ අනුව අවසන් කණ්ඩායම් අට අතරට එක්වීම (සත්කාරක රට වීම හේතුවෙන් ඉන්දියාව නිතරගයෙන් තෝරා ගැනේ.) සඳහා ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ තරගමාලා හතක් පමණි.

බංග්ලාදේශය හැරුණු විට ශ්‍රී ලංකාව ඉදිරියේදී එංගලන්තය, ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, සිම්බාබ්වේ, නවසීලන්තය යන රටවල් සමඟ තරග 21 ක ට සහභාගි වීමට නියමිත ය. මේ අතරින් තරමක පහසු කණ්ඩායම් සේ දිස්වන, සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය යන කණ්ඩායම්වලට එරෙ-හිව සම්පූර්ණ ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ ගත යුතු ය.

යම් හෙයකින් මුල් කණ්ඩායම් අට අතරට පැමිණීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුව හොත් මීළඟ තෝරා ගැනීමේ වටයට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය වෙයි.

“එක්දින තරගවලදී තවදුරටත් ලකුණු 300 ට අඩු ඉලක්ක මත යැපීමට හැකියාවක් නෑ. ඒ වගේ ම ලකුණු 350 ට වැඩි සංඛ්‍යාවක් තමයි අපගේ ඉලක්කය විය යුත්තේ. ඒ සඳහා සුදුසු ජවසම්පන්න තරුණ ක්‍රීඩකයන් උවමනායි.” තේරීම් කමිටු සභාපතිවරයා පවසයි. ඔහු නඟන එම අදහසේ කිසිදු වරදක් නැත. එය තවත් පැහැදිලි කරන්නට නිමාවට පත්වූ

කොදෙව් තරග මාලාවේ ලකුණු පුවරු නිදසුන් කර ගත හැකි ය. එහිදී වරක්

මුලින්ම පන්දුවට පහර දී ලකුණු 270 ඉක්මවා යෑමට ශ්‍රී ලංකාව සමත් වුව ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

කොවිඩ් වසංගතය හමුවේ බංග්ලා-දේශයේ සංචාරය කරන දෙවැනි ක්‍රිකට් කණ්ඩායම වනුයේ ශ්‍රී ලංකා කණ්ඩායම ය. මීට පෙර කොදෙව් පිල එහි සංචාරය කළ අතර එවර එක්දින තරග තුනම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ලෝක කුසලාන සුපර් ලීග් වටය යටතේ කොදෙව් පිල පැරද වූ බංග්ලාදේශ පිල නවසීලන්ත යේ දී තරග 0-3 ක් ලෙස පරාජය ලැබීය. මේ අනුව ඔවුන් දැනට ලකුණු සටහනේ පසු වන්නේ හයවැනි ස්ථානයේ ය. එක් තරග මාලාවකට

පමණක් සහභාගි වූ ශ්‍රී ලංකාව පසුවන්නේ 12 වැනි ස්ථානයේ ය. මෙම තරගාවලිය 3-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්

වුව හොත් සුපර් ලිග් වටයේ නව වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමේ අවස්ථාව බොහෝ විට ශ්‍රී ලංකාව සතුව තිබේ.

ලැබෙන වාර්තාවනට අනුව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක නිශාම්දින් චෞද්‍රි පවසන පරිදි ඔවුනට එරට රජයේ නිරෝධායන ක්‍රියා පටිපාටිය හේතුවෙන් යම් ගැටලුවකට මුහුණ දීමට සිදු වී තිබේ. විශේෂයෙන් ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයන් හට දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකට අවතීර්ණ වීමට සිදු වී ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝ-ජනය කර මැයි මස 06 දින යළි මව් රට පැමිණි ෂකිබ් අල් හසන් හා මුෂ්තිෆිකර් රහමන් මේ වන විට ඩැකාහි හෝටල් තුළ නිරෝධායන කාලයක් පසුකරමින් සිටී. ඒ අනුව මෙම මස 20 වැනි දා දක්වා දින 14 ක කාලයක් ගත කිරීමට ඔවුනට සිදුවුව හොත් මැයි 23 වැනි දින ඇරඹෙන තරගාවලිය සඳහා සූදානම් වීමට ලැබෙනුයේ දින තුනක කාලයක් පමණි.

“මෙය ඇත්තෙන්ම අභියෝගාත්මක කරු-ණක්. ඒ වගේම අසීරු ක්‍රියා පටිපාටියක්. කොහොම වුණත් අප රජයෙන් යම් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා.” ඔහු පවසා තිබේ.

ඒ අනුව චෞද්‍රි බලාපොරොත්තු වන්නේ

මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ නිරෝධායන

කාල සීමාව අඩු කර ගැනීමට රජයෙන්

සහනයක් ලැබෙනු ඇතැයි කියාය. එමෙන්ම මෙහිදී ඔවුනට මෙම තරග විකාශය සම්-බන්ධයෙන් ද යම් ගැටලුවකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ කලින් එරට තරග විකාශන අයිතිය හිමිව තිබු සමාගම සමඟ වූ ගිවිසුම

අහෝසිවීම මත නව හිමිකරුවකු සොයා-ගැනීමේ අර්බූදය ය. ඒ සඳහා ඔවුන් දැනට සති කිහිපයකට පෙරම මිල ගණන් යෙදූ

ඉල්ලුම්පත් කැඳවා තිබිණි. එහෙත් එහි විකාශන අයිතිය කාට හිමි වුවද මෙම ක්‍රියා පිළිවෙත ආරම්භ විය යුත්තේ මෙම මස 17 දින සිට වන අතර ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් රැගෙන ආ යුතුව ඇත්තේ ඉන්-දියාවෙන් හෝ දකුණු අප්‍රිකාවෙනි.

මෙම රටවලින් පැමිණෙන පුද්ගලයන් දින 14 ක නිරෝධායනයට යටත් වුව හොත්

තරග විකාශයට එය සුවිශාල බාධාවකි.

“මේ ගැටලු නිසා තරගාවලියේ දින කිසි ලෙසකින්වත් වෙනස් වන්නේ නෑ, කොහොම වුණත් මෙය ඇත්තෙන්ම අභියෝගයක්.” බංගලිදේශ ක්‍රිකට් විධායක තැන පවසා තිබේ. එහෙත් ඔහු අවධාරනය කරන්නේ එම තත්ත්වය තරගාවලියට බාධාවක් කර නොගන්නා බව ය.

“මේ සඳහා අප රජයත් සමඟ එක්ව කටයුතු කරනවා. සමහර විට මෙම රටවල් දෙකට විකල්පයක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවල්වලින් පිරිසක් ගෙන එන්න

අපට හැකි වේවි.” මේ සියලු අර්බුද සම්-බන්ධයෙන් ඔහු සිටින්නේ සුබවාදී අපේක්ෂා පෙරදැරිවය.

1996 අප්‍රේල් මස 02 දින මහනුවර අස්ගිරිය පිටියේ දී ආරම්භ වූ බංග්ලාදේශ-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පැවත් වී ඇති තරග 48 න් ශ්‍රී ලංකාව තරග 39 ක් ජය ගෙන ඇති අතර බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 07 ක් පමණි.

තරග දෙකක් තීරණයකින් තොරව නිමාවී තිබේ. ඉතිහාසය එසේ වුවද වත්මන් බංග්ලාදේශ කණ්ඩායම එක්දින පිටියේ අප අතීතයේ තරග වැදුණු කණ්ඩායම නොවේ. තරගාවලිය ඔවුන්ගේ රටේ පැවැත්වීම මෙන්ම මෙහි පැවැති ටෙස්ට් තරගාවලිය නියෝජනය නොකළ ෂකිබ් අල් හසන් මෙන්ම මුෂ්තිෆිකර් රහමන් කණ්ඩායමට එක්වූ කල ඔවුන් වඩාත් ශක්තිමත්ය.

තවද අවසන් වරට කොදෙව් පිල සමඟ එහි පැවැති තරගාවලිය ඔවුන් ජය ගත්තේ 0-3 වශයෙනි. මේ අනුව නායක කුසල් ජනිත් පෙරේරා හා උපනායක කුසල් මෙන්ඩිස් හට මෙහිදී පැවරෙන්නේ විශාල වගකීමකි. ඔවුන් දෙදෙනා වටා පිතිහරඹය කේන්ද්‍රගත යුතු වන අතර ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා යන පිතිකරුවන් ලකුණු අතරට පැමිණිය යුතු වේ.

තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස වනිඳු හසරංග, දසුන් ශානක, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන යන ක්‍රීඩකයන් මෙන්ම පළපුරුදු දඟ පන්දු යවන්නන් වන ලක්ෂාන් සඳකැන් හා අකිල ධනංජය කණ්ඩායමේ සාමාජිකයන් වීම ශක්තියකි. වේග පන්දු යවන්නන්ගෙන් වැඩි වගකීම පැවරෙනු ඇත්තේ වඩාත් පළපුරුදු වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර ට ය. ඔහුට අමතරව අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, බිනර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු යන නවක වේග පන්දු යවන්නන්ට තමන් කෙරෙහි තේරීම් කමිටුව තැබූ විශ්වාසය රැක ගැනීමේ අභියෝගය රඳා පවතී. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ ජයග්‍රහණය, නවකයන්ගේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීමට හැකි වන තවත් එක් සුවිශේෂී තරගාවලියක් සේ දැක්වීමට පිළිවන.

 

අනිල් වීරසිංහ

Comments