
ලෝකයේ උසම මැරතන් එකටත් දිවුව කැලණියේ 'බෙයා ෆුට් මැරතන් රනර්' විමලේ
උඹලා උඹලගේ තාලෙට දුවපල්ලා, මම මගේ තාලෙට දුවන්නම් කියලා අධිෂ්ඨාන කරගත්තා.
මගේ තාත්තත්, අම්මත් ඒ තරඟය බලන්න ආපු එක මට ලොකු ආශිර්වාදයක් වුණා.
'ඔහු දයාර්ද්‍ර මිනිසෙකි. නොසැලෙන මානසික ශක්තියක් ඇත්තෙකි. ගෞරව පූර්වකත්වය, කෘතඥභාවය ජීවිතය පතුලෙන්ම උත්පාදනය කරගත්තෙකි. තනතුරු ලැබුණ ද නොලැබුණ ද අට ලෝ දහමෙන් කම්පා නොවී ජීවිතයට මුහුණ දෙන්නට කැමැත්තක් ඇත්තෙකි. කලක් මෙරට අංක එකේ මැරතන් ධාවකයා වූ ඔහු පුහුණුකරුවකු නොමැතිව එම ක්‍රීඩාවේ නියැළී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගත්තෙකි. මේ රටක් හඳුනන, රටක ආදරය දිනාගත්, ක්‍රීඩකයන් අතර ගෞරවය හිමිකරගත් කැලණියේ 'විමලසේන පෙරේරා' ගැන ය.
'මම ජීවත් වෙන්නේ ගමක. දැන්නම් ගමක් කිව්වට ඒක නගරය ක්. වානිජමය වශයෙන් වැඩිදියුණු වුණු නගර අතර උප නගරයක්. ඒත් මම ඉන්න ඒ ගම ප්‍රසිද්ධ හැමදේකටමත් වැඩිය ආගමික නගරයක් වශයෙනුයි. ඒ තමයි බුදු පා පහස ලද ඓතිහාසික කැලණිය පුරවර ය.' සුපුරුදු කලබලකාරී කතාවෙන් ඔහු කියාගෙන යනවා. අසිරිමත් මතක ගොන්නක් සිරකරගෙන ඉන්න ඔහුට කතාකරන්න ඉඩදීලා අපි අහගෙන ඉන්නවා.
'එදා අද තරම් පහසුකම් තිබුණේ නෑ. පුංචි පාරවල්, ගැමි ලකුණු පිරුණු ගම. කැලණි පුද බිම වුණත් පුංචි තැනක්. මම ක්‍රීඩාවට අත්පොත් තැබුවේ අවම පහසුකම් එක්ක. ඒ ගැන අද හිතෙද්දී ක්‍රීඩාවට පෙළඹවුණු ආකාරය ගැන පුදුම හිතෙනවා. හැබැයි මුදල් බලාගෙන ක්‍රීඩා කළේ නෑ කියලා හිතෙද්දී ඇතිවෙන්නේ නිහතමානී ගෞරවයක්.' විමලසේන පෙරේරා, හැමෝම කියන ආකාරයට 'විමලේ' කියනවා.
'ඒ කාලේ මම දිව්වේ සපත්තු නැතිව. ඒක අපිට අරුමයක් වුණෙත් නෑ. තාර කට්ටෙ පිච්චි පිච්චි දිව්වා. වැලි, බොරළු රළු මාවත්වල දිව්වා. යටිපතුල් සම මේ හැම දෙයකටම පදම් වෙලා තිබුණා. ඇත්තෙන්ම ඒක හරි අපූරුයි. දැන්නම් ඉතින් සපත්තු නැතිව කොහොමද දුවන්නේ,' ඔහු කියයි.
ඒ අනුව බලන කල අද ක්‍රීඩකයෙක් වෙන එකම මිල අධික ක්‍රියාවලියකි. එදා මෙන් අද හිතුණු පමණින්, ධෛර්යය තිබූ පමණින් දුවන්නට නොහැකි ය.
'මාව ජනප්‍රිය හැටේ දශකයට. එදා විමලේ කියන්නේ මැරතන් තරගයක් අතනොහැර දුවපු ක්‍රීඩකයකුට.' ඔහු සිනාසෙයි. අපි ද සිනාසුණෙමු. ඒ සිනාවන්ගේ ඇත්තේ අතීතයේ සිට එන අව්‍යාජ භාවයකි.
'මගේ මුළු නම රූපසිංහ ආරච්චිගේ විමලසේන පෙරේරා. ඉපදුණේ නම් 1945 අවුරුද්දෙ දි යි. මගේ පාසල කැලණියේ ධර්මාලෝක විද්‍යාලය. පාසල් කාලේ ඉඳලම ක්‍රීඩාව පැත්තෙන් සුරු විරුකම් තිබුණා. හැබැයි මලල ක්‍රීඩාවට මගේ ජීවිතය සින්න කළේ පාසල් ජීවිතයෙන් පසුවයි. ඒ මම ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනාට පසුවයි. යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට තමයි මම ඒ විදිහට එක්වුණේ.'
ඔහු විශ්‍රාම ගියේ එම රෙජිමේන්තුවේ බලලත් නිලධාරියෙක් ලෙස කටයුතුකරමින් සිටියදී ය. එම කාලය තුළ දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද 'විමලේ' ජයග්‍රහණ උපයා ගත්තේ ය. 'මට දැන් හැත්තෑ හයක්. ඒත් තවමත් ක්‍රීඩාවට හිතයි. ආදරෙයි.' විමලේ හිනැහෙයි.
ළමා කාලය
'මගේ ළමා කාලය ගෙවුනේ අවට පරිසරයත් එක්කයි. අද වගේ නෙමේ ඒ කාලේ මේ පරිසරය හරිම සුන්දරයි. ගොයම් කපලා ඉවර වුණ ගමන් වෙල් පිටිය, වට පිටාවේ ඉන්න අපේ වයසේ කොලු රෑන භාර ගන්නවා. ඉස්කෝලේ නිවාඩු කාලෙට උදේ ඉඳලා හවස ගොම්මන වැටෙනකම්ම වෙල් පිටියේ සෙල්ලම් කරන එක තමයි අපි කළේ. ඒ නිසා ගෙදරින් දඬුවම් විඳපු වාරත් අපමණයි. හැබැයි පුංචි විසේට ඒ ලැබුණු දඬුවම් ඒ තරම් සැර නැහැ,' ඔහු කියන්නේ අතීත ස්මරණයේ අපූර්වත්වයෙන් දෙනෙත් පුරවමිනි.
'ඉස්සෙල්ලා කිව්වා වගේ මම ඉගෙන ගත්තේ කැලණියේ ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙයි. කුඩා කාලයේ ඉඳලම මගේ වැඩේ දුවන එක තමයි. කොහේ ගියත් යන්නේ දුවගෙන. ඒකත් හෙමින් නෙවෙයි, හැල්මේ දුවනවා. සමහරු කීවේ මට 'ගාය' හැදිලා කියලා.' ඔහු සිනාසෙයි.
'ඒ තරම් විසයක් මගේ කකුල් දෙකේ තිබුණා. ඒ හැකියාව නිසාම මාව පාසල් පාපන්දු කණ්ඩායමට තෝරාගත්තා. දුවන්න පුළුවන් නිසා මම එතැනදී ගෝල් සංඛ්‍යාවක් ගැහුවා. ඒ නිසා මම තමයි ධර්මාලෝකයේ පාපන්දු නායකයා බවට පත්වුණේ. එ් 1962 අවුරුද්ද.
පාසැලේ විවිධ ක්‍රියාකාරකම් වලට මම නිතරම උද්යෝගයෙන් ඉදිරිපත් වුණා. බාල දක්ෂ කණ්ඩායම ඒ අතරින් මම වඩාත් ප්‍රිය කළා. එයට හේතුවක් තියෙනවා බාල දක්ෂයින්ගේ බාහිර ක්‍රියාකාරකම් මගේ සිත් ගත්ත, ජීවිතයේ ක්‍රියාශීලීත්වය වගේම තනියම යමක් කරගැනීමේ පුහුණුව බාල දක්ෂයෙක් ලෙසට මා හොඳට ප්‍රගූණ කළා, ඒ පුහුණුව මගේ හමුදා ජීවිතයට විශාල පිටුවහලක් වුණා කිව්වොත් නිවැරැදියි,
පැනය : ඔබ පාපන්දුව අතහැරලා මලල ක්‍රීඩකයෙක් වුෙණ් ඇයි ?
පිළිතුර : ඒක අහම්බෙන් වුන සිදුවීමක්. 1962 අවුරුද්ද. ඒ අහඹුව මගේ ජීවිතේ හැරවුමක් අති කළා. එතකොට මගේ වයස අවුරුදු 17 යි. ඒ අවුරුද්දේ අපේ විද්‍යාලයේ අන්තර් නිවාස මලල ක්‍රීඩා තරඟයේ මම නියෝජනය කරපු ධර්මපාල නිවාසය වෙනුවෙන් මට
මීටර් 800, 1500, ගම හරහා දිවීම සහ බයිසිකල් ධාවන තරඟය සඳහා ඉදිරිපත් වෙන්න සිදුවුණා. මේ තරඟ හැම ඉසව්වකින්ම මම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. එතෙක් පාපන්දු ක්‍රීඩකයෙක් ලෙසට දක්ෂතා පෙන්නපු මම මේ පෙරළියෙන් පස්සේ මලල ක්‍රීඩාවට
මගේ හිතයි, ගතයි නිරායාසයෙන්ම ඇදිලා ගියා. අපේ විද්‍යාලයේ විදු-හල්පතිතුමා වගේම උපාලි පෙරේරා
සහ ආර්. එම්. ඩී. කොටුවැල්ල ගුරු පියවරු දෙදෙනාත් මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මාව උනන්දු කළා. නිවාසාන්තර තරඟයෙන් පස්සේ බස්නාහිර පළාතේ මහා විද්‍යාල හා මධ්‍ය මහා විද්‍යාල අතර රාජකීය විද්‍යාල පිටියේ පවත්වපු තරඟයට මම ධර්මාසෝකය වෙනුවෙන් මීටර් 1500 ධාවන තරඟයට ඉදිරිපත් වුණා. ඒ
තමයි මගේ මුල්ම පළමු පෙළේ තරගය. එදා අපේ විදුහලේ ගුරුවරු කිහිප දෙනෙකුත් ළමයිනුත් බස් එකක් අරගෙන ඒ තරගය බලන්න ඇවිත් හිටියේ මාව උනන්දු කරවන්නයි. මගේ තාත්තත්, අම්මත් ඒ තරඟය බලන්න ආපු එක මට ලොකු ආශිර්වාදයක් වුණා.
බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ විද්‍යාල හැම එකක්ම වගේ එදා තරග බිමේ හිටියා. එක වෙලාවකට මම ගලිවර්ල මැද්දේ ඉන්න ලිලිපුට්ටෙක් වගේ මටම දැනුණා. මොනවා වුනත් කමක් නැහැ කියලා හිතාගෙන මම තරඟයට සූදානම් වුණා. ඇතැම් ප්‍රධාන පෙළේ විදුහල්වල ක්‍රීඩකයෝ බොහොම උජාරුවට රනින් සූට් ගහලා, කැන්වස් සපත්තු දාල. මා දිහා බැලූවේවත් නැහැ සමහරු බැලූවේ මගේ කකුල් දිහා මොකද මට සපත්තු තිබුනේ නැහැ. ඒ කාලේ අද වගේ සපත්තු දැමීම අනිවාර්ය වුනේ නැහැ. සමහරු මා දිහා බැලූවේ ඔලොක්කුවට වගේ. කමක් නැහැ මගේ මොකෝ උඹලා උඹලගේ තාලෙට දුවපල්ලා, මම මගේ තාලෙට දුවන්නම් කියලා අධිෂ්ඨාන කරගත්තා.
සපත්තු නැතුව දුවපු දිවිල්ලට මොකද වුනේ ?
අතුල රංජිත් වේදමිස්ත්‍රිගේ










