අයිතීන් වෙනුවෙන් සටන් කළ ඕස්ට්‍රේලියානු ආදිවාසී මැන්ඩෙලා | සිළුමිණ

අයිතීන් වෙනුවෙන් සටන් කළ ඕස්ට්‍රේලියානු ආදිවාසී මැන්ඩෙලා

 

JOHNNY mullagh

'වර්ණ භේද වාදයට එරෙහිව, සමාජ සාධාරණත්වයට පක්ෂව ලොව පුරා හඬ නැඟූ දහස් ගණනක් මිනිසුන් අතර මොහමඩ් අලි ද එක් අයෙකි. එහෙත් බොහෝ දෙනෙක් නොදැන සිටිය ද බැරී රිචඩ්ස් ද වර්ණ භේද වාදයට වඩා ක්‍රීඩාත්මක අගය සැලකිල්ලට ගෙන ක්‍රියා කළ අයෙකු යැයි පිළිගත හැකි ය. වර්ණ භේද වාදය ආදිවාසිත්වයට ද එලෙසින්ම බලපෑම් කළේ ය. ඔස්ට්‍රේලියාව තුළ ද ජීවත් වූ ස්වදේශික ජනතාව මෙවැනි අරගලයකට මුහුණ පා සිටියේ ය.එරට ආදිවාසී ජනතාවට ජොනීමලගාන් යනු මැන්ඩෙලාම විය.'

 

හෙතෙම නමින් ජොනී මලගාහ්ය. ඒ අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට තෝරාගත් ප්‍රථම ආදිවාසි ක්‍රීඩකයා ජොනී ය.

එහෙත් ඔහු ක්‍රිකට් ක්‍රීඩා ලොවේ හුරු පුරුදු නමක් නොවේ. එපමණක් නොව ඔහු ටෙස්ට් වරම් ලැබූවෙක් ද නොවේ. සැබැවින්ම ජොනී ක්‍රීඩා කළේ ත් පළමු පෙළ තරග වෙනුවෙන් පමණි. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී සලකා බැලෙන අනිවාර්ය සාධකය වනුයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළී සිටීම ය. එහෙත් ජොනී මලගාහ් යනු එහි ව්‍යතිරේකයකි.

එසේ වුවත් ජොනී පෙර කීවාක් මෙන් එකදු ටෙස්ට් තරගයකටවත් ක්‍රීඩා කළේ නැත. එම නිසාම ඔහුට විශේෂත්වයක් කරමින් ඇතැම් සාධක වෙනස් කිරීමට කැන්ගරු බලධාරීන් ක්‍රියා කර තිබිණි.

එය එසේ වන්නේ නිකමට නම් නොවේ. එවැනි වාතාවරණයක් මඟින් කියැවෙන්නේ ජොනී යනු එරටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් විය යුතු බව ය.

සත්‍ය වශයෙන්ම ඔහු අතිශයින්ම වැදගත් ක්‍රීඩකයෙකි. එපමණක් ද නොව ඔහු එරට ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑම පෙරගමන්කරුවෙකු විය.

ක්‍රිකට් කණ්ඩායමක් විදෙස් තරග සංචාරයකට පළමුවරට සහභාගී වූයේ 1859 වසරේ දී ය. ඒ එංගලන්ත කණ්ඩායමක් අමෙරිකාවේ සහ කැන-ඩාවේ කළ සංචාරය යි.

දෙවැනි සංචාර දියත් වූයේ 1861-1862 සහ 1863-1864 වසරවල දී ය. ඒ ඔස්ට්‍රේලියාවටය. සිව්වැනි වරට කණ්ඩායමක් විදෙස් තරග සංචාරයකට එක් වූයේ 1868 වසරේ දී ය. එහිදී ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් කණ්ඩායමක් එංගලන්තයට පිටත්ව ගියේ ය.

එම කණ්ඩායමේ සුපිරිතම ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ජොනී මලගාහ් ය. තවත් ආකාරයකට බලන කල එම කණ්ඩායම සැලකෙන්නේ ඕනෑම ක්‍රීඩාවකින් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් විදෙස් සංචාරයක නිරත වූ ප්‍රථමයින් ලෙසට ය.

මේ කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරුවා ලෙසට ක්‍රියා කළේ චාර්ල්ස් ලෝරන්ස් ය. හෙතෙම මෙම තරග සංචාරයේ සංවිධායකයා ද විණි. ලෝරන්ස් යනු හිටපු එංගලන්ත පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ද විය. (ඔහු පසුව ජීවත් වූයේ සිඩ්නි නුවර ය.)

මේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අති විශේෂත්වයක් තිබිණි. එනම් නායක ලෝරන්ස් සුදු ජාතිකයෙක් වද්දී සෙසු සියලුම ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියානු ආදිවාසීන් වීම ය. (මෙම සංචාරය සිදුවන විට ලොවට ටෙස්ට් තරග හඳුන්වා දී තිබුණේ නැත.)

තවත් අතකින් බලන කල එම යුගය ඔස්ට්‍රේලියානු ආදිවාසීන්ට යහපත් කාලයක් වූයේ ද නැත. සෑම දෙයකින්ම ඔවුන්ට හිමි වූයේ කුඩම්මාගේ සැලකිලිය. එවැනි වාතාවරණයක් මැද ලෝරන්ස් නමැති සුදු ජාතිකයා ආදිවාසීන්ගේ කණ්ඩායමක් පිහිටුවමින් මෙම සංචාරය සංවිධානය කර තිබීම සුවිශේෂී විය.

එම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග 47 ක ට සහභාගී විණි. එහිදී ජොනී දකුණත් පිතිකරුවෙකු වශයෙන් හා දකුණත් පන්දු යවන්නෙකු වශයෙන් එම සංචාරයේ දී දක්ෂතා දැක් වූයේ ය. ඔහු පිතිකරුවකු වශ-යෙන් ලකුණු 1698 ක් රැස් කළ අතර පන්දුයවමින් කඩුලු 245 ක් දවා ගත්තේය. එතැනින් නොනැවතී කඩුලු රකිමින් දවාලීම් 04කට ද දායක විණි. ජොනීගේ දස්කම් ගැන පැහැදුණු සුප්‍රකට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) විසින් 1869-1870 තරග වාරයට වෘත්තීමය ක්‍රීඩකයෙකු ලෙසට ඔහුව තෝරා ගත්තේ ය.

ජොනී මලගාහ්ගේ උපන් නාමය යුනාරිමින් ය. පසුව මලගාහ් නම ඔහුගේ නමට එක්කෙරුණේ ඔහු උපන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ හැරෝ නුවර පිහිටි මලගාහ් දුම්රිය ස්ථානයට ආසන්නව බැවිනි.

හෙතෙම 1841 වසරේ දී උපත ලැබීය. මිය ගියේ 1891 වසරේ අගෝස්තු මස 14 වැනිදා ය. ඒ තම 50 වැනි උපන් දිනය සමරා දින දෙකකට පසුවයි.

එවකට බොහෝ ආදිවාසීන්ට විවිධාකාරයේ නම් පට බැඳුණි. ජොනීි බ්ලැක් ජොනී’ විය. ඔහු මුලින්ම ක්‍රිකට් ක්‍රීඩා කළේ කෘෂිකාර්මික භූමියක දී ය. එංගලන්ත කණ්ඩායම 1879 වසරේ දී ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වද්දී ඔහු වික්ටෝරියා ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ ය. එවිට ඔහු රැස් කළ

ලකුණු 36 සැලකුණේ එම ප්‍රාන්තය වෙනුවෙන් වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ය.

කෙසේ නමුත් ජොනී ආදිවාසීන්ට වැදගත් වූයේ ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකු නිසාම නොවේ. හෙතෙම සැම විටම ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලද්දෙක් වූ නිසාය. හෙතෙම මියගිය විට ඇතැම් පුවත්පත් ඔහුව හැඳින්වූයේ ඇබොරිජින්වරුන්ගේ ඩබ්.ජී.ග්‍රේස් සහ වික්ටෝරියාවේ සුපිරිතම පිතිකරුවා මිය ගිය බව කියා ය.

පසු කලෙක ඔහු කළ සේවය වෙනුවෙන් විශේෂ කටයුතු ද්විත්වයක් ක්‍රිකට් බලධාරීන් විසින් සිදු කරන ලදී.

එනම් ඔහුගේ උපන්ගම පිහිටි ක්‍රීඩාංගණය ජොනී මලගාහ් ඕවල් නමින් නම් කිරීමය. එමෙන්ම ඔහු වෙනුවෙන් අනුස්මරණ ක්‍රිකට් තරගමාලාවක් දේශීය ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වීමයි. 2012 වසරේ දී ගෞරවණීය වික්ටෝරියානු ආදිවාසීන් 20 ක් ප්‍රථම වරට තෝරා ගත්තේය. ඊට ජොනී ගේ නම ද අයත් විණි.

2019 වසරේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවත් ඉතා වැදගත් තීරණයක් ගත්තේය. එනම් ඊළඟ වසරේ සිට සුප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ වීරයාට පිරිනමන පදක්කම ජොනී මලගාහ් නමින් නම් කිරීමට ය. ජොනී වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ක්‍රිකට් තරගයටත් ක්‍රීඩා කර ඇත්තෙකි.

ගිය වසරේ දෙසැම්බර් මස පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයේ වීරයා වූයේ ඉන්දියාවේ අජින්ක්‍යා රෙහානේ ය. ඒ අනුව ජොනී මලගාහ් මංගල පදක්කම්ලාභියා බවට රෙහානේ පත් වූයේ ය. ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් අතරට ජොනී මලගාහ් තෝරා ගත්තේ ද එම මාසයේ දී ම වීම විශේෂිත ය.

 

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments