
දින තිහක කාලයක් පුරා කෝවිඩ් තෙවැනි රැල්ලෙන් බැට කෑ ඉන්දියාව මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව කිසියම් අන්දමකින් පාලනය කර ගැනීමට සමත්ව ඇතැයි වාර්තා වේ. එහෙත් සිහි කැඳවිය යුතුව ඇත්තේ එය කිසියම් අන්දමක පාලනයක් මිස සාර්ථකත්වයක් නම් නොවන බවයි.
තින තිහක කාලයකට පසු මහාරාෂ්ට ප්‍රාන්තයෙන් පමණක් දිනකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 50,000 දක්වා අඩු වන විට පසුගිය මැයි 4වැනිදා දිනයේ පමණක් නවදිල්ලියෙන් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවීය. මේ ලියන මොහොත වන විටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවන අතර සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ දෙක ඉක්මවා තිබේ.
නවදිල්ලි නගරයෙන් පමණක් ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා දිනකට වාර්තා වන විට සමස්ත ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවා තිබේ.
බොහෝ රෝහල් වාර්තා කරමින් සිටින්නේ තමන් වෙතට පැමිණෙන අධික ආසාදිතයන් සංඛ්‍යාව හේතුවෙන් අසාධ්‍ය පුද්ගලයන්ට පවා මූලික ප්‍රතිකාර හෝ ලබා දීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි. දැඩි සත්කාර ඒකක සම්පූර්ණයෙන් පිරී පවතින අතර ඔක්සිජන් හිඟයද දැඩිව දැනෙමින් ඇතැයි වාර්තා වේ.
ඉන්දියාව තවමත් තමන්ට අවශ්‍ය වන ඔක්සිජන් ධාරිතාව තබා ගැනීමට අසමත් වී ඇති අතර ඒ සඳහා විදෙස් රටවලින් උපකාර බලාපොරොත්තු වෙමින් සිටී. රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයීම නොහැකි බැවින් මේ වන විට ගිනි නිවීම සඳහා භාවිත කිරීමට වෙන් කර තිබූ ඔක්සිජන් පවා රෝහල් වෙත ලබා දීමට ඇතැම් ප්‍රාන්ත කටයුතු කර ඇතැයි වාර්තා වේ.
එන්නත් නිපදවන ඉන්දියාවේ ජනතාවට එන්නත් නැත්තේ ඇයි?
ඉන්දියාව යනු මුළු ලෝකයටම බෙහෙත් සපයන ෆාමසියයි. ඉන්දියාවේ සීරම් ආයතනය යනු මේ වන විට ලෝකයේ දැවැන්තම ඖෂධ නිෂ්පාදකයා වේ. යුරෝපා රටවල පර්යේෂණාගාරලවලදී එම රටවල විද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වා සොයා ගත් කොවිඩ් එන්නත් තොග වශයෙන් නිපදවීම සිදු කෙරෙන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයේදීය.
එමෙන්ම ඉන්දියාව ද ලෝකයේ සෙසු ධනවත් රටවල් මෙන්ම තම රටේ ජනතාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය ඉතා විධිමත්ව ආරම්භ කළ රටකි. එය නිජනතාවට කොවිඩ් එන්නත ලබා දීම ආරම්භ කර සිටියේ 2021 ජනවාරි 16 වැනිදාය. එන්නත් ලබා දීම ඇරඹීමට පෙර විශාල භූමි ප්‍රමාණයක් සහ අධික ජනගහනයක් සහිත බැවින් විධිමත් වැඩපිළිවෙළක් යටතේ ශීතකරණ පහසුකම්ද සහිතව ඉන්දියාව එන්නත්කරණය සූදානම් වූයේය. ඒ අනුව පසුගිය ජනතාවරි 28වැනිදා වන විට ජනගහනයෙන් සියයට බින්දුවයි දශම තුනකට එනම් ලක්ෂ 38 ඉක්මවූ ප්‍රමාණයකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට ඉන්දීය බලධාරීන්ට හැකි විය. පෙබරවාරි 12 වැනිදා වන විට ජනගහනයෙන් සියයට 0.6 කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු කර තිබිණි. පෙබරවාරි 28වන විට ජනගහනයෙන් සියයට 0.9 කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර ජනගහනයෙන් සියයට 0.2 කට එනම් ලක්ෂ 25 ඉක්මවූ සංඛ්‍යාවකට එන්නතේ මාත්‍රා දෙකම ලබා දී අවසන් කර තිබිණි. පසුගිය මාර්තු 15වැනිදා වන විට ජනගහනයෙන් සියයට දෙකකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමට ඉන්දීය බලධාරීන්ට හැකිවූ අතර ජනගහනයෙන් සියයට 0.5ක් සම්පූර්ණයෙන් එන්නත් කර තිබිණි. අප්‍රේල් 15 වන විට ජනගහනයෙන් සියයට 7.5කට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබූ අතර සියයට 1.1කට මාත්‍රා දෙකම ලබා දී තිබිණි.
පසුගිය මැයි 2වැනිදා වන විටත් අඛණ්ඩව ඉන්දියාව පුරා ජනතාවට එන්නත් ලබාදීම සිදුවෙමින් පැවතියේ අති විශාල ලෙස කොවිඩ් පැතිර යමින් පවති වාතාවරණයක් මධ්‍යයේය. ඒ වන විට එන්නතේ පළමු මාතාව සියයට 9.2කට ලබා දී තිබිණි. ජනගහනයෙන් සියයට 2ක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් ආරක්ෂිතව පසු විය. එසේ වුවද ලක්ෂ 1300ක අති විශාල ජනගහණයක් සහිත ඉන්දියාවේ සමස්තයෙන් සියයට දෙකක් යනු නොසැලකිය හැකි තරමේ ඉතා සුළු සංඛ්‍යාවකි. මේ වන විටත් එන්නත්කරණය සිදුවෙමින් පවතින නමුදු වෛරසය පැතිරීම ඊට සාපේක්ෂව ඉතා වේගයෙන් සිදුවෙමින් පවතී.
පෙට්ටියෙන් නොව බයිසිකලයෙන් කොවිඩ් සිරුරු ගෙන යන මිහිපිට අපාය
මේ වන විට දෛනිකව ඉන්දියාවේ තුන්දහසකට අධික පිරිසක් කොවිඩ් හේතුවෙන් මියයමින් සිටිති. මේ අධික මරණ සංඛ්‍යාව අවම කර ගැනීම මෙන්ම මේ මරණ ආදාහනය කර ගැනීමද මේ වන විට ඉන්දිය බලධාරීන්ට අභියෝගයක් වී තිබේ. මේ ව්‍යසනයේ වඩාත් කනගාටුදායක කරුණ වී ඇත්තේ වසංගතය දරුණු ලෙස පහර ගසමින් සිටින්නේ දූගී ජනතාවට වීමයි. රෝහල් පහසුකම් නොමැති වීමෙන් මියයන වැඩි පිරිසක් දරිද්‍රතාවයේ අන්තිම අඩියේ පසුවන පරිස වන අතර ඔවුන්ට තම පවුලේ මියයන සාමාජිකයන් ආදාහනය කිරීම දක්වා ගෙන යෑමද ගැටලුවක් වී තිබේ.
මේ හේතුවෙන් රෙදිවල එතූ මළ සිරුරු පාපැදිවල තබා ප්‍රවාහනය කිරීම සුලබව සිදුවෙමින් පවතින බව වාර්තා වේ. නවදිල්ලියේ දේවස්ත නරේන්ද්‍ර සහ ඔහුගේ සොහොයුරා කොවිඩ් හේතුවෙන් මියගිය තම 50 හැවිරිදි මවගේ සිරුර මැදි කර ගනිමින් සැතපුම් නවයක් දුර ගමන් කළේ සිරුර ගෙන යෑමට වෙනත් රථයක් යොදා ගැනීම මුදල් නොමැති වීමෙනි. රජයෙන්ද ඒ සඳහා ජනතාවට කිසිඳු පහසුකමක් ලබා දී නැත. මේ වන විට ත්‍රී රෝද රථවලින් බොහෝවිට කොවිඩ් සිරුර ප්‍රවාහනය කෙරෙමින් තිබෙන අන්දමද දිල්ලි නුවර සුලබ දසුනක් වී තිබේ.
උත්තර ප්‍රදේශ්හි එක් පුද්ගලයකු තම කොවිඩ් හේතුවෙන් මියගිය තම බිරියගේ සිරුර පාපැදියක පටවාගෙන ආදාහනය සඳහා ගන ඒමට උත්සාහ දරන අති සංවේදී ඡායාරූප සමාජ මාධ්‍ය පුරා සංසරණය වනු දැකගත හැකි විය. ඔහුට එක් අවසථාවකදී ඇයගේ සිරුර සමබර කර ගැනීමට නොහැකි වීමෙන් එම සිරුර මහගම ඇද වැටෙන අන්දමද මේ ඡායාරූපවල දැකගත හැකි විය. පසුව ප්‍රාන්ත පොලීසිය මැදිහත්ව එම සිරුර ආදාහන ස්ථානය දක්වා ප්‍රවාහනය කර දෙනු ලැබීය.
තවත් ඡායාරූප මගින් දැකගත හැකිවූයේ තම මියගිය සොහොයුරා රෙද්දක ඔතා පාපැදියෙන් ආදාහන ස්ථානය කරා ගෙන යන සහෝදරයෙකි. කොවිඩ් වංසගතයේ බියකරු බවත් යුද්ධයකදී මෙන්ම එය තදින්ම දැනෙනු ඇත්තේ දුප්පතුන්ට බවත් පැවසීමට මෙයට වඩා තවත් උදාහරණ අනවශ්‍යය.
ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදි පසුබැස්සේ කොවිඩ් නිසාද?
පසුගියදා පැවති ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය කෙරෙහි මෙතෙක් පැවති ජනතා ආකර්ෂණය අඩුව යමින් පවතින බව පැහැදිලි විය. මේ දක්වා ඉන්දියාව ලෝකයේ බලවත් රටවල් සමඟ කරටකර තැබීමට සමත් නායකත්වය ලෙස මෝදි හඳුනාගෙන සිටි ඉන්දීය ජනතාව මෙලෙස මෝදි පිටුදැකීමට හේතු වූයේ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට ඔහුගේ පාලනය අසමත් වීම හේතුවෙන්දැයි යන පැනය මතු වී තිබේ.
ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම අගමැති මෝදිට සහ ඔහුගේ පාලනයට විරුද්ධ ජනතා ක්‍රියාකරකම් දක්නට ලැබුණු අතර ඇතැම් අවස්ථාවට ජනතාව අගමැතිවරයාගේ රුව සහිත පෝස්ටර්වලට සෙරෙප්පු පහර දෙන අන්දම දැක ගන්නට ලැබිණි. පසුගියි අප්‍රේල් හය වැනිදා ඇරඹී මැයි 2 දක්වා බටහිර බෙංගාලය, තමිල්නාඩුව, කේරළය, ඇසෑමය සහ පොන්ඩිචෙරි යන ප්‍රාන්තවල මැතිවරණය ක්‍රියාත්මක වූ අතර සමස්ත ප්‍රතිඵලය මෝදිට හිතක වූයේ නැත. විශේෂයෙන්ම වසර ගණනාවක් තමිල්නාඩුවේ බලය රඳවාගන සිටි බීජේපී හිතවාදී අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය පරාජයට පත්වූ අතර ඒ වෙනුවට කොංග්‍රසයට හිතවාදී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය බලය ලබා ගැනීමට සමත් විය. කොවිඩ් වසංගතය අති දරුණු ලෙස ඉන්දියාව වෙළා ගනිමින් පවතින මේ අවස්ථාවේදී නිසි පරිදි එය කළමනාකරණය කර ගැනීම නොහැකි වීම සම්බන්ධව ජනතාව එල්ල කරන චෝදනාවලින් පලායෑමට අගමැතිවරයාට නොහැකි බව කිව යුතු වන්නේ රජය මඟින් නිසි පරිදි සීමා පැනවීමක් සිදු කළේ නම් වසංගතය මෙවන් ව්‍යසනයක් නොවන ලෙස පාලනය කර ගැනීමේ හැකියාව පැවති බැවිනි.
ස්වකීය දෙවැනි ධූර කාලය සඳහා බලය ලබා ගැනීමේ මෝදි පකිස්තානය සමඟ නැති අර්බුදයක් මවා ගනිමින් ජාතිකත්වය ඉස්මතු කරමින් ඡන්ද ලබාගත් බව සිහිපත් කළ යුතුය. ඇතැම් විට අර්බූදයක් මඟින් බලයට පැමිණි මෝදිට අර්බූදයක් හේතුවෙන්ම බලයෙන් ඉවත් වීමට වුවද සිදුවුවහොත් පුදුම විය යුතු නැත.