
ධනවත් රටවල් තම ජනතාවට හොඳම දේ දෙන විට දුගී රටවල ජනතාව ධනවතුන්ගේ අනුකම්පාව හිමි වන තුරු බලා සිටීමේ රටාව ලොව පුරා ක්‍රියාත්මක වූයේ ඈත අතීතයේ සිටමය. එහෙත් එය සමස්ත ලෝකයක් වශයෙන් මේ වන විට අන් කවරදාකටත් වඩා වැඩියෙන් අත්විඳිමින් සිටී. ලොව දුප්පත් පොහොසත් බේදයක් නොමැති වයිරසය සැමට එක සමානව පැතිරගියද වයිරසයට එන්නත් ලබා ගැනීමේදී නම් පොහොසත් රටවල් දුප්පත් රටවල් පසෙකට තල්ලු කරමින් මුල්තැන ගෙන සිටිනා අන්දමක් දැකගත හැකිය.
මේ වන විට ලොව ධනවත් රටවල් රාශියක් තම ජනගහණයෙන් අර්ධය ඉක්මවා ඉතා විධිමත්ව එන්නත් ලබා දෙමින් සිටින නමුදු ලොව සමස්ත දුගී රටවල් එක්ව ගත් කළ ඒ සියලුම රටවල ජනහගනයෙන් එන්නත් හිමිවී ඇත්තේ සියයට 9කට තරම් අඩු ප්‍රමාණයකට බව සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු වී තිබේ.
කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඇතැම් රටවල් මුදල් ආයෝජනය කළ අතර නිෂ්පාදිත තොගවලින් මුල් තොග එම රටවලට යැවීමට සිදුවූයේ එම ආයෝජනවලට හිලවු වශයෙනි. උදාහරණයක් ලෙස ඇමරිකාව ඩොලර් බිලියන 1.2ක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත නිපදවීමේ පර්යේෂණ කටයුතු සඳහා ලබා දීම දැක්විය හැකිය. එසේ ලබා දෙනු ලැබුවේ 2020 මැයි මාසයේදීය.
කෙසේ වුවද මේ ආයෝජන මෙන්ම ධනවත් රටවල කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා සිදුකරන ලද මුදල් වෙන් කිරීම් හේතුවෙන් 2021 වසර අවසාන වන තෙක්ම ඇතැම් එන්නත්වල නිෂ්පාදන ධාරිතාව ලොව බලවත් රටවල් විසින් වෙන් කරගෙන අවසන් බව පැවසෙනවා . ඒ අනුව ෆයිසර් ඇන්ඩ් බයෝටෙක් එන්නතේ 2021 වසරේ නිෂ්පාදන ධාරිතවෙන් සියයට 95ක් සඳහා ධනවත් රටවල් කිහිපයක් ඉල්ලුම් කර මුදල් ගෙවා අවසන් බව පැවසෙනවා. මොඩේර්නා එන්නතේ 2021 වසරේ සමස්ත නිෂ්පාදන ධාරිතාවයම ධනවත් රටවල් මුදල් ගෙවා වෙන්කරගෙන අවසන්. ඒ අනුව මේ වන විටත් දුගී රටවලට තම සම්පූර්ණ එන්නත් අවශ්‍යතාව කෙසේ වෙතත් සුළු වශයෙන් හෝ එන්නත් ලබා ගැනීමේ අවස්ථාව පවා නොලැබී ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ විෂමතාව අවම කිරීම බොහෝ උත්සාහ දරමින් සිටින බවද වාර්තා වේ.
ලොව පුරා රටවල් අතර කොවිඩ් එන්නත්කරණ ප්‍රතිඵල
කොවිඩ් වංසගතයෙන් ආරක්ෂා වීමට ගත හැකි එකම ක්‍රියාමාර්ගය එන්නත්කරණය පමණක්ම බව මේ වන විට මුළු ලෝකයම පිළිගෙන අවසන්ය.
ඒ අනුව ලොව පුරා රටවල් තමන්ට හැකි අන්දමින් තම රටවල ජනතාව එන්නත්කරණයට ලක් කරමින් තිබේ. මේ වන විට කොවිඩ් එන්නත්කරණය ලොව පුරා රටවල් අතර තරගයක් බවට පත්වී තිබේ.
මේ වන විට සමස්ත ලෝකය මට්ටමින් බැලූ විට සමස්ත ජනගහනයෙන් සියයට 15.1ක ප්‍රමාණයක් එන්නත්කරණය ලක් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. රටවල් වශයෙන් සැලකූ විට තම සමස්ත ජනගහනයෙන් සියයට 99.8කට එන්නත් ලබා දෙමින් කොවිඩ් එන්නතකරණ තරගයේ මේ වන විට ජය හිමිකරගෙන ජිබ්රෝල්ටාවයි. සීෂෙල්ස් දූපත් දෙවැනි ස්ථානය හිමි කර ගනිමින් තම ජනගහනයෙන් සියයට 60කට එන්නත් ලබා දී තිබේ. තුන්වැනි සාර්ථකම රට ලෙස ඊශ්‍රායලයත්, ඉන්පසුව පිළිවෙළින් තවත් දූපත් රාජ්‍ය ගණනාවකුත් වේ.
චිලී සහ බහරේන් රාජ්‍ය සියයට 30 ඉක්මවා ජනතවා එන්නත් කර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය සමස්ත ජනගහනයෙන් සියයට 31.1ක් මේ වන විට එන්නත්කරණයට ලක් කර තිබේ. බ්‍රිතාන්‍ය සියයට 22.8කි. දකුණු ආසියාවේ වැඩිම එන්නත් ලබා දී ඇති රට බවට පත්වන්නේ මාලදිවයිනයි. එය සමස්ත ජනගහණයෙන් සියයට 19කට එන්නත් ලබා දී තිබේ. සිංගගප්පූරුව සියයට 17.5ක්ද, ප්‍රංශය සියයට 9.7ක්ද, ජර්මනිය සියයට 7.9ක්ද, රුසියාව සියයට 5.3ක්ද, ඉන්දියාව සියයට 2.1ක්ද , බංග්ලාදේශය සියයට 1.8ක්ද වශයෙන් එන්නත් ලබා දී තිබේ.
මේ වන විටත් ලොව පුරා එන්නත් නිෂ්පාදනය කෙරමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ කොවිඩ් වයිරසයට ශක්තිමත්ව මුහුණ දීමට තරම් ප්‍රමාණවත් එන්නත්කරණයක් සිදුකර ගත හැකි වන්නේ 2024 වසර පමණ වන විට බවයි.
චීනය සැබවින්ම කොවිඩ් පාලනය කළාද?
2019 ඔක්තෝබර් යනු ලෝකය අද මේ මොහොතේ මුහුණ දී සිටින දරුණුතම ව්‍යසනය ආරම්භ වූ යුගයයි. ඒ චීනයේ වූහාන් නගරයෙනි. 2020 වසරේ ජනවාරි මාසයේදී වූහාන් නගරය වසා දමනු ලැබූ අතර ලොව සෙසු රටවල් සියල්ලම සිතුවේ වූහාන් නගරයෙන් හෝ චීනයෙන් පිටට මේ වසංගතය පැතිරෙණු නැති බවයි.
එහෙත් ඒ සිතිවිලි සිතිවිලිම පමණක් වූ අතර මේ වන විට චීනය හැර ලෝකයේ සෙසු රටවල් සියල්ලම පාහේ කොවිඩ් වංසගතයෙන් පීඩා විඳිමින් සිටී. සැබවින්ම කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනය කොවිඩ් පාලනය කළේ කෙසේද යන පැනය සැමගේ සිත්වල ඇතිවෙමින් තිබේ. චීනය වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා වාර්තා කර ඇත්තේ රෝගීන් 90,000 යන්තම් ඉක්මවූ සංඛ්‍යාවක් පමණි. වරින් වර බීජිං ඇතුළු ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වුවද චීනය ලොව අන් කිසිඳු රටක් ලෙස වයිරසයේ බරපතල පැතිරයෑම්වලට යළි මුහුණ දුන්නේ නැත. චීනයේ වූහාන් හැර අන් කිසිඳු නගරයක් වසා නොදැමූ අතර ආර්ථික කටයුතුද වෙනදා මෙන් සිදුවෙමින් තිබේ. මෙවැනි ජයග්‍රහණයක් චීනය අත් කර ගැනීමට හේතුවූවා යැයි සැලකෙන කරුණු අතර ඉහළින්ම පවතින්නේ චීන ජනතාවගේ විනය බව පැවසිය හැකිය. චීන ජනතාව යනු කොමියුනිස්ට් විනයක් යටතේ දශක ගණනාවක් හැඩ ගැසුණු ජීවිත සහිත ජනතාවකි. ඔවුන්ට වසංගතයකින් බේරීමට අවශ්‍ය සමාජ දුරස්ථතාව, මුඛ ආවරණ පැලඳීම වැනි ක්‍රියා අඛණ්ඩව සිදුකිරීමට කටයුතු කිරීම ඉතා පහසු දෙයකි. ඒ අනුව චීනය තුළ වසංගතය පාලනය වීමට අංක එකට බලපෑ කරුණ ලෙස ජනතාවගේ විනය දැක්විය හැකිය. එමෙන්ම චීන සිනෝෆාම් එන්නතද මේ වන විට රටේ ජනනතාවගෙන් සියයට 15කට පමණ ලබා දී ඇතැයි වාර්තා වේ.එයද චීනය තුළ කොවිඩ් පාලනයට හේතු වන්නට ඇත.
එහෙත් බටහිර මාධ්‍ය නම් පෙන්වා දෙන්නේ චීනය දිගින් දිගටම තොරතුරු වාරණයක නිතර වූ බවයි. චීනයම මාධ්‍ය වෙත නිකුත් කළ එක් වාර්තාවක වරක් වාර්තා ක සිටියේ වූහාන් නගරයේ පමණක් රෝගීන් ලක්ෂ 7 ඉක්මවා සිටි නමුත් සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීමේදී යම් යම් අඩුපාඩු සිදුවී ඇති බවයි.
නිමාවක් නොපෙනන කොවිඩ් ව්‍යාප්තිය
ඇතැම් රටවල් සංචරණ සීමා මඟින්, එන්නත් ලබා දීම මඟින් කොවිඩ් පැතිරීම යම් තරමකට පාලනය කර තිබුණද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට ලෝකය කොවිඩ් වසංගතයේ දරුණතම වාතාවරණයට මුහුණ දෙමින් සිටියි.
මේ වන විට සමස්ත ලෝකයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 155 ඉක්මවා තිබේ. සමස්ත මරණ මිලියන 3.2 ඉක්මවා තිබේ.
ඇමරිකාව මේ දක්වා ලෝකයේ වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා කරමින් සිටින අතර මේ වන විට එන්නත්කරණය හේතුවෙන් එරට කොවිඩ් පැතිරීමේ කිසියම් පාලනයක් දැකගත හැකිවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියට අනුව මේ වන විට ඇමරිකාවේ කොවිඩ් ව්‍යප්තිය දක්වන රේඛාවන් පහළට වක්‍රවෙමින් තිබේ. එහෙත් ඉන්දියාව සහ බ්‍රසීලය මෙන්ම ප්‍රංශය, ඇතුළු යුරෝපා රටවල් රැසකද කොවිඩ් ව්‍යප්තිය අඩුවක් පෙන්වන්නේ නැත.
අප්‍රිකා කලාපය සැලකූවිට බොහෝ රටවලින් නිවැරැදි තොරතුරු වාර්තා නොවන බව පෙනේ. එම රටවල් කොවිඩ් රෝගීන් සම්බන්ධව සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීම අත්හැර දැමූ අතර ඇතැම් රටවල රාජ්‍ය නායකයා කොවිඩ් රෝගයෙන් මියයන තෙක්ම රටපුරා කොවිඩ් ව්‍යප්ත ව ගොස් ඇති තරම වටහා ගත හැකිය. හොඳම උදාහරණය ටැන්සානියාවයි.
නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව දැඩි සංචරණ සීමා පනවමින්, සංචාරකයන් සඳහාද දැඩි නීති පනවමින් තම රටවල කොවිඩ් ව්‍යප්තිය අවම කර ගැනීමේ සාර්ථකත්වය අත් කර ගැනීමට සමත් වී ඇති බව පෙනේ.
කෙසේ වුවද මේ මොහොත වන විට කොවිඩ් වසංගතයේ වැඩි බර දැරීමට ආසියාවට සිදුවී තිබේ.