හිට්ලර්ගේ සිහිනය ප්‍රජාතන්ත්‍රවාදීව සැබෑ කළ ඇන්ජලා මර්කල් | සිළුමිණ

හිට්ලර්ගේ සිහිනය ප්‍රජාතන්ත්‍රවාදීව සැබෑ කළ ඇන්ජලා මර්කල්

හිට්ලර් යුදෙව්වන් ලක්ෂ ගණනින් ඝාතනය කරමින් තම සිහිනය සැබෑ කර ගනැීමට වෙර දැරුවේය. ඒ අන් කිසිවක් නොව ජර්මනිය ලොව ශක්තිමත්ම රාජ්‍යය බවට පත් කිරීමය. ඔහු ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග අසාධාරණ වූ බැවින්ම සිදුවූයේ කනගාටුදායක අවසානයක් අත්විඳීමටය.

එහෙත් එයින් සියවසකට පසු ඇනජලා මර්කල් එම සිහිනය සැබෑ කිරීමට සමත් වූවාය. වඩාත් වැදගත් වන්නේ ඇය ඒ සඳහා හිට්ලර් ගත් මඟට වඩා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමය.

මේ වන විට බ්‍රිතාන්‍යයද ඉක්මවා ජර්මනියේ ආර්ථිකය ශක්මත් වී ඇති අතර එය යුරෝපයේ වඩාත්ම වර්ධනය වන ආර්ථිකය බවටද පත්ව තිබේ. මේ සියල්ලේ ප්‍රශංසාව නිසැකෙයන්ම හිමි විය යුතු වන්නේ එරට චාන්සලර් ධූරය හොබවන ඇන්ජලා මර්කල් නම් වන ශක්තිමත් ගැහැනියටය.

ඇන්ජෙලා 2005 වසරේදී ප්‍රථමයෙන් ජර්මන් චාන්සලර් ධූරයට පත්වන අතර එතැන් සිට ඇයට අලගු තැබීමට එකද නායකයකු හෝ ජර්මනියෙන් බිහිවන්නේ නැත. ඇන්ජලා ක්‍රමයෙන් ජර්මනිය යුරෝපයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම උසස් ස්ථානයට ගෙන එන අතර එහිදී ඇය ‘අනුන්ගේ වැඩවලට ඇඟිලි නොගැසීමේ’ ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන්නීය.

ඇමරිකාව සමඟ සැම විටම හොඳ හිත පවත්වා ගත්තද බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මෙන් ඇමරිකාව පැටලෙන හැම යුද්ධයකටම හොට දැමීමේ පිළිවෙත ඇනජලා අනුගමනය කරන්නේ නැත. යුරෝපයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම හොඳම සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට සමත් වන ජර්මනිය කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නේද දැඩි විශ්වාසයෙන් යුතුවය.

එබැවින්ම ආසාදිතයන් කෙසේ වුවද මරණ සංඛ්‍යාව යුරෝපයේ සෙසු රටවලට සාපේක්ෂව විශාල ලෙස අඩු කර ගැනීමට ජර්මනියට හැකි වන්නේය.

කොතෙක් රට දියුණු කළද තමාගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන කිසිවිටෙක නොතැකූ ඇන්ජලා ඉතාම සරල ජීවිතයක් ගෙන ගියාය. ඇය සැමවිටම සිතුවේ තමා රජයේ සේවකයෙක් පමණක් වන බවය. එය සැබවින්ම එසේ වන නමුදු ගැටලුව වන්නේ සෙසු බොහෝ රටවල රාජ්‍ය නායකයන් එසේ නොසිතිමය.

නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා චාන්සලර්වරිය ඇන්ජලා මර්කල්  
 

තම සැමියා සමඟ චාන්සලර් වීමට පෙර සිටම ඔවුන් වාසය කළ මහල් නිවාස සංකීර්ණයේ දිගටම වාසය කළ ඇන්ජලා නිවසේ වැඩකටයුතු, රෙදි සේදීම්, ඉවුම් පිහුම් තනිවම කර ගත්ත‌ාය.

රාජ්‍ය නායකයකු ලෙස ඉතාම සාර්ථක වූ ඇය මේ වන විට දේශපාලන දිවියෙන් සමු ගැනීමට කටයුතු කරමින් සිටින්නීය.

ඒ අනුව මීළඟට පැවැත්වෙන මැතිවරණයට මර්කල් තරග නොකරනු ඇත. අවස්ථා කිහිපයකදීම තම පක්ෂය විශිෂ්ට ජයග්‍රහණ කරා මෙහෙයවූ ඇන්ජලා දැන් විශ්‍රාම දිවියට සූදානම් වන්නේ තම වගකීම් ඉටු කළ උදාරම් සිතෙන් යුතුවය.

Comments