
මේ වන විට මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි ජනතා විරෝධතා එරට අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක් දක්වා දිග් ගැස්සෙමින් තිබේ. දිනෙන් දින හමුදා වෙඩි පහරට ලක්ව ජනතාව මිය ගියද මේ වන විටත් දහස් ගණනින් ජනතාව මරණ බිය යටපත් කරමින් විරෝධතාවලට එක්වෙමින් සිටිති. මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය දක්වන ජනතාවට තම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට සහය දෙන මෙන් විදේශයන්ගෙන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීම්වලට යම් යම් ප්‍රතිචාර මේ වන විට ලැබෙමින් තිබේ.
එහෙත් එම ප්‍රතිචාර ජනතාව බලාපොරොත්තු වෙමින් සිටින තරමේ සාධනීය නොවන බව නම් කිව යුතුය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයකු වන බැන් කී මූන් මියන්මාරය සම්බන්ධව මැදිහත් වන ලෙස පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන මහලේකම්වරයා වන අන්තෝනියෝ ගුයිටරේස්ගෙන් ඍජුවම ඉල්ලා සිටියේය.
මේ වන විටත් අන්තෝනියෝ ගුයිටරේස් විසින් මියන්මාරය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස ක්‍රිස්ටීන් ස්ක්‍රේනර් බග්නර්ව පත් කළ නමුත් ඇයට මියන්මාරයට ඇතුළු වීමට හමුදා පාලනය ඉඩ ලබා දුන්නේ නැත.
මේ සම්බන්ධව තම අදහස් ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මුන් පවසා ඇත්තේ මේ වන විට මහ ලේකම් ලෙස තමන් සතු බලතල පාලනය කරමින් මියන්මාරය තුළ සිදුවන මනුෂ්‍ය ඝාතන වැළැක්වීමට කටයුතු කිරීමට මහලේකම්වරයා කටයුතු කළ යුතු බව තමන් විශ්වාස කරන බවයි.
බැන් කී මුන් 2007 සිට 2016 දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තනතුර හෙබවූයේය. වර්තමාන එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුයිටරේස් මියන්මාරයේ තත්ත්වය සම්බන්ධව පසුගියදා ආරක්ෂක කවුන්සිලය සමඟ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වූ බව වාර්තා වී තිබේ.
මේ අතර සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුක්ත ගිනිකොන දිග ආසියා සංවිධානයේ (ආසියාන්) රටවල් මියන්මාරයේ අභ්‍යන්තර සිදුවීම්වලට මැදිහත් විය යුතු ක්‍රමවේදයක් සම්බන්ධව සාකච්ඡා පවත්වමින් සිටින බවද ප්‍රකාශිතය.
මේ සම්බන්ධව මේ රටවල සාමාජිකයන්ගේ විශේෂ හමුවක් අප්‍රේල් 24වැනිදා ඉන්දුනීසියාවේදී පැවැත්විණි.
මේ සම්බන්ධව තම මතය දක්වමින් බැන් කී මුන් වැඩිදුරටත් පවසා ඇත්තේ ආසියාන් සංවිධානය තවදුරටත් මියන්මාර අර්බුදය එරට අභ්‍යන්තර අර්බුදයක් වශයෙන් දැකිය යුතු නොවන බවයි.
මේ වන විට මියන්මාරයෙන් ලැබෙන වාර්තා අනුව විරෝධතාවලට සහභාගී වීම නිසා මියන්මාර හමුදාව විසින් මරා දමා ඇති සංඛ්‍යාව 737කි. සිර ගත කර ඇති සංඛ්‍යාව 3,229කි.
මියන්මාරය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කිරීමට එහි ප්‍රධානීන් කොතරම් උත්සාහ දැරූවද චීනය සහ රුසියාව එම අදහස්වලට එරෙහිව දැඩි මතයක සිටින බවද වාර්තා වී තිබේ.
කෙසේ වුවද මියන්මාර ජනතාව තවදුරටත් හමුදා පාලනයට එරෙහිව අඛණ්ඩ විරෝධතාවන්හි නිරත වෙමින් සිටින අතර මීට පෙර 1970 දශකයේදී මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව ඇතිවූ ජනතා උද්ඝෝෂණ පාලනය කළ අන්දමින්ම මේ ජනතා උද්ඝෝෂණද පාලනය කර ගනිමින් දිගටම හමුදා පාලනය ඉදිරියට ගෙන යෑමට ජුන්ටාවේ නායකයන්ට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන පළ කළ හැකිය.