
කැස්ත්‍රෝලා නැති වුවද කියුබාව වැටෙන්නේ නැති බව දැන් ලෝකය දන්නේය. කැස්ත්‍රෝලා ඒ බව ලෝකයට ඔප්පු කර පෙන්වා අවසන් බැවිනි. තම කාලය අවසන් වන බව කල්තබා හඳුනාගත් මේ පරිණත මිනිස්සු ඉතා නිවැරැදිව මීළඟ නායකත්වයට රට බාර කළහ.
ලෝක ඉතිහාසයේ විශේෂිතම පිටුවක් තම නමට වෙන් කර ගත් තවත් අසමසම යුගයක් පසුගියදා ඉතිහාස පොතේ අවසන් වාක්‍ය කිහිපය සටහන් කරමින් නැවතීමේ තිත තැබුවේය. ඒ අසමසම යුගය වෙන්වූයේ කියුබාවේ කැස්ත්‍රෝවරුන් වෙනුවෙනි. ලෝකය එසේය. එහි විවිධ රටවල නමින් බෙදී ඇති විවිධ භූ විෂමතා කලාපයන්හි වරින්වර විවිධ විශේෂතා සහිත මිනිස්සු බිහිවෙති. ඔවුහු නන් අයුරින් ලෝකය වෙනස් කරති. ඇතැම් අය සිදුකරන වෙනස්කම් ‘හොඳ ‘වශයෙනුත්, ඇතැම් අය සිදුකරන වෙනස්කම් ‘නරක’ වශයෙනුත් විවිධ නිර්වචනවලට ලක්වේ. මේ හොඳ සහ නරක නිර්වචන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ඇතැමුන්ට ‘හොඳ’ වන දේ ඇතැමුන්ට ‘නරකය’.
කැස්ත්‍රෝවරුන්ද එසේමය. කියුබාව ලෝකයේ සුවිශේෂ රටක් බවට පත් කළ කැස්ත්‍රෝවරු ඇතැම් අයට ‘හොඳ’ ය. ඇතැමුන්ට ‘නරක’ ය. ඒ නරක නිසාම කැස්ත්‍රෝවරු මරා දැමීමට දැරෙන උත්සාහයන්ද රාශියකි. කැස්ත්‍රෝ පාලනය බිඳ දැමීමට දැරෙන උත්සාහයන්ද රාශියකි. එහෙත් ඒ කිනම් වෑයමක් වුවද සිනාවකින් දරා ගත් කැස්ත්‍රෝවරු තම පරම සතුරන් වූ ඇමරිකාවේ නහය යට සිටිමින් තම රට වෙනුවෙන් කිරීමට අදිටන් කරගත් උපරිම සේවය ඉටු කළහ. එහෙත් ඒ සියල්ලටම වඩා විශේෂි ලෙස නියමිත කාලයේදී ඉතා විධිමත් ලෙස බලය අත්හැරීමට තරම් කැස්ත්‍රෝවරු පරිණත වූහ.
පසුගියදා කියුබාවේ කැස්ත්‍රෝ යුගය අවසන් කරමින් මේ සුවිශේෂී මිනිස්සු ලොවට පෙන්වා සිටියේ තමන් ආරම්භ කළ දේශපාලන දර්ශනය තමන් අවසානය තෙක්ම එලෙසින්ම ක්‍රියාත්මක කළ බවයි.
අතීතයේ එක් යුගයක කියුබාව යනු වළපල්ලට යමින් තිබූ තවත් එක් රටක් පමණක් විය. එවකට එරට නායකත්වය උසුලමින් සිටි බැටිස්ටා ඉතා සාර්ථක ලෙස කියුබාව ධනවාදී කඳවුරේ රූකඩයක් බවට පත් කරමින් සිටියේය. උපන්නාට ජීවත් වී මිය යාම නොකළ යුතු බව විශ්වාස කළ තරුණයන් පිරිසක් තම මවු රටට අනාගතයේ උදාවන කටුක ඉරණම කල් තබා අවබෝධ කර ගැනීමට තරම් පරිණත වූහ.
ඔවුන් අතර එවකට ඉතා තරුණ වියේ පසු වූ ෆිදෙල් අලෙජන්ද්‍රෝ කැස්ත්‍රෝ රූස් ද වූයේය. ඔහු සමීපයේම ඔහුගේ සොහොයුරු රාවුල් මොඩෙස්ටෝ කැස්ත්‍රෝ රූස් ද වූයේය. මේ සහෝදරයෝ දෙපළ සතු වූයේ මනා අවබෝධයකි. වැඩිමලා වූ ෆිදෙල් සැම අතින්ම දක්ෂයා විය. ඒ සම්බන්ධව ගැටලුවක් රාවුල් සතු නොවූ අතර තමා සෑම විටම ෆිදෙල් ගේ සමීපතම විශ්වාසවන්තයා වීම රාවුල්ට ප්‍රමාණවත් විය. මුල් කාලයේදී ෆිදෙල්ගේ සමීපතමයන් වූ අති ආකර්ෂණීය චේ ගියුවේරා ඇතුළු තවත් පිරිස ෆිදෙල් සමඟ කරටකර පසුවුවද රාවුල්ට තම සහෝදරයා මනාව වටහා ගැනීමේ හැකියාව තිබූ බැවින්ම වාමාංශික දේශපාලන ක්‍රියාධරයකු සතු විය යුතුම වන මනා ඉවසීමෙන් යුක්තව කල් යල් බැලූ රාවුල් අවසන කැස්ත්‍රෝ භූමිකාවේ අවසන් රංගනය දක්වාම තම කාර්යභාරය මැනවින් ඉටු කළේය.
ෆිදෙල් සහ රාවුල් දෙදෙනාම ධනවත් පවුලක හිතුවක්කාර සහෝදරයෝ වූහ. මේ තරුණයන් දෙදෙනාට යහමින් මුදල් හදල් දෙන්නට කියුබාවේ ඔරියන්ට් හි ධනවත් ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඔවුන්ගේ පියාට හැකියාව තිබිණි. එහෙත් එවන් ජීවිතයක් මේ තරුණයන්ට අවශ්‍ය වූයේ නැත. ඔවුන් සතුව දැක්මක් විය, බලාපොරොත්තුවක් විය, අපේක්ෂාවක් විය. අභිප්‍රායක් විය. එමෙන්ම මේ සියල්ලටම ගැළපෙන ලෙස ඔවුන් සතුව අනුගාමිකයන් පිරිසක්ද වුහ.
කියුබානු සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අවදියේදී මනසට කා වැදුණු මාක්ස් - ලෙනින් දේශපාලනයෙන් අහ්ලාදයට පත් ෆිදෙල් වාමාංශික දේශපාලනය තරයේ ඇදහූවේය. එමෙන්ම සමකාලීනව අසල්වැසි ඩොමිනිකානු ජනරජයේ සහ කොලොම්බියාවේ ඇතිවූ වාමාංශික පාලනයෙන් උද්දාමයට පත්වූ ෆිදෙල් කියුබාවේද වාමාංශික පාලනයක් ස්ථාපිත කළ යුතු බව තරයේ විශ්වාස කළේය.
අසාර්ථක උත්සාහකින් වසරක් බන්ධනාගාරයේ ගත කළ ඔහු මෙක්සිකෝවට ස්වයංව පිටුවහල් වන්නේ තම අභිප්‍රාය ස්ථාපිත කර ගැනීමේ පදනම දමා ගැනීමේ අරමුණෙනි. එය එසේම වන්නේ ඒ වන විට ලතින් ඇමරිකානු කළාපයේ විප්ලවීය අදහස්වලින් පෝෂණය වී සිටි තරුණයන් රැසකගේ සහය ඔහුට හිමිවීම නිසාවෙනි.
1956 නොවැම්බර් මස එක් රැයක කුණාටු ගහන මුහුදේ කිලෝමීටර් 1900ක දුරක් ‘යුනමා’ නම් වූ කුඩා යාත්‍රාවේ නැගී ෆිදෙල් සහ රාවුල් ඇතුළු වාමාංශික දේශපාලන උණ සහිත තරුණයන් 81 දෙනෙකු යාත්‍රා කරන්නේ මුහුදු අසනීපයෙන් පෙළෙමින් දැඩි සේ වමනය දමමින් සිටි අර්නස්ටෝ චේ ගියුවේරා ද සමඟිනි.
එදා ඒ කුඩා යාත්‍රාවෙන් මහ මුහුද ජයගත් මේ තරුණ පිරිස ඉන්පසු ජයගත්තේ බැටිස්ටාගේ පාලනයට ඒ දක්වා නතුව තිබූ කියුබාවය. ලෝක ඉතිහාසයේ අලුත් පිටුවක් කියුබාව වෙනුවෙන් වෙන් වන්නේ එතැන් සිටය. එය ඇත්ත වශයෙන්ම හිතුවක්කාර තරුණයන් පිරිසකගේ අති දැවැන්ත පිම්මක් විය. එහෙත් සැබෑ සාර්ථකත්වය වූයේ රටේ බලය අල්ලා ගැනීම නොවීය. රට සාර්ථකව තම දේශපාලන දර්ශනය මත ඉදිරියට ගෙන යෑමය. එසේ කිරීමට හැකියාව ලැබීමය. කැස්ත්‍රෝලා සැබෑ දක්ෂයන් වන්නේ එහිදීය.
වසර ගණනාවක් පුරා පාලනය පෙරළා දැමීමේ සීඅයිඒ උත්සාහයන්ට මුහුණ දෙමින් එහෙත් නොවැටෙමින් කියුබාව පාලනය කළ ෆිදෙල්ට කාලයේ තාලයට අනුව පාලනය නම්‍යශීලී කිරීමේ හැකියාව විය. කියුබාවේ කැස්ත්‍රෝවරුන්ගේ සැබෑ සාර්ථකත්වය එයම විය. හණමිටිය වෙනුවට නව ලෝකයට ගැළපෙන ලෙස තම වාමාංශීක පාලනය වරින්වර සංශෝධනයන්ට ලක් කළ කැස්ත්‍රෝවරු ඇමරිකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළේ වරක් දෙවරක් නොවේය. එහෙත් නයි රෙද්ද අස්සේ දා ගැනීමේදී වඩාත් ආරක්ෂිත පියවර මත එසේ කිරීමට තරම් ඔවුහු නුවණැති වූහ.
වයස අවුරුදු 90 සම්පූර්ණ වී තමන් පැතූ ලොවක තම අනුප්‍රාප්තිකයන් තම පාලනය ඉදිරියට ගෙන යනු දකිමින් මියෙන්නට තරම් ෆිදෙල් කැස්ත්‍රෝ වාසනාවන්ත වූයේ ඔහු මරා දැමීමේ සීඅයිඒ උත්සාහයන් 800කට ආසන්න සංඛ්‍යාවක් පරාජය කරමිනි. එපමණක් ද නොව තමන් වියපත් බව වටහා ගත් ෆිදෙල් තමාගෙන් පසු බලය පැවරීමට තෝරා ගන්නේ තම සොහොයුරු රාවුල්ය. ලෝකය බලා සිටියේ ෆිදෙල් ගෙන් පසු කියුබාව අසාර්ථක වන තෙක්ය. එහෙත් රාවුල් ෆිදෙල්ගේ තේරීම නිවැරැදි බව සනාථ කරන්නේය. එපමණක්ද නොව තම ඉදිරි පරම්පරාවෙන් රට ඉදිරියට ගෙන යා හැකි නිවැරැදි නායකත්වය තෝරා ගැනීමට තරම් රාවුල් පරිණත වන්නේය. අර්ධ ශතකය ඉක්මවූ කැස්ත්‍රෝ පාලනය අවසන් වන්නේ එකී සහතිකය අතින් දරා ගනිමිනි.
සහෝදරවරු දෙදෙනෙක් රට පාලනය කළද ඔවුන් කිසිදා තම නමට කිසිවක් ගොඩගසා නොගත්තෝය. ඔවුහු කිසිදා බලය අයුතු ලෙස භාවිත නොකළෝය. තම පවුලේ කිසිවකු පාලනයට දායක කර නොගත්තහ. ඒ වෙනුවට ඉතා සූක්ෂ්ම ලෙස තෝරා ගත් දක්ෂයන් අතට රට බාර දුන්නේ තමන් දිවි කැප කරමින් දිනා ගත් රට තමන් සමඟම වැළලී නොයා යුතු බවට තරයේ විශ්වාස කළ බැවිනි.
පසුගියදා තමන්ගේ දේශපාලන භූමිකාව අවසන් බව රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කරන්නේ එවන් වූ පසුබිමක් මත සිටිමිනි.
කැස්ත්‍රෝලා නැති වුවද කියුබාව වැටෙන්නේ නැති බව දැන් ලෝකය දන්නේය. ඒ කැස්ත්‍රෝලා ඒ බව ලෝකයට ඔප්පු කර පෙන්වා අවසන් බැවිනි. තම කාලය අවසන්වන බව කල්තබා හඳුනාගත් මේ පරිණත මිනිස්සු ඉතා නිවැරැදිව මීළඟ නායකත්වයට රට බාර කළහ. දැන් කැස්ත්‍රෝලා නැතත් රට පීල්ලේ යන්නේය. ඇතැම් විට දෙවියන් ලෙනින්ටත් නොදුන් අවස්ථාවක් ෆිදෙල්ට දුන්නා විය හැකිය.
රාවුල්ගේ මඟ පෙන්වීම යටතේ මේ වන විටත් වසර කිහිපයක් කියුබාව පාලනය කළ ජනාධිපති මිගුවෙල් දියෙස් කැනැල් ඒ මඟ ඉදිරියටත් ඒ ලෙසින්ම යනු ඇත. කෙසේ වුවද ලෝකයම නොහැකි නම් තම රට වෙනස් කිරීමට, තමන් විශ්වාස කළ සාධාරණත්වය තමන්ට පමණක් නොව තම රටේ ජනතාව වෙනුවෙන්ද එක ලෙස ලබා දිමට තම ජිවිතය කැප කළ කැස්ත්‍රෝලා වැනි අසාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් අකුරු කරන්නට ලැබීමද වාසනාවක් බව ලියා තැබිය යුතුමය.