හතළිස් දෙවතාවක් මඟ පෙන්වීම | සිළුමිණ

හතළිස් දෙවතාවක් මඟ පෙන්වීම

 

යමෙකුට හෝ යමකට එසේත් නැත්නම් කණ්ඩායමකට මඟ පෙන්වීම යනු බැරෑරුම් කටයුත්තකි. ඒ අන්කිසිවක් නිසා නොව මඟ පෙන්වන්නට ඉදිපත්වන්නෝ සැමවිටම නිසි මඟ දැන සිටිය යුතු නිසාය.

ඒ අනුව බලන කල වරක් දෙවරක් නොව හතළිස් දෙවතාවක් අඛණ්ඩව යම් ක්ෂේත්‍රයක් තුළ මඟ පෙන්වන්නට යමෙක් සමත්වන්නේ නම් එය වෙසෙසින් ඇගයිය යුත්තකැයි කිවයුතු නොවේ. ඒ මඟ පෙන්වීම එතරම් අසීරු වන්නේ නම් එය හතළිස් දෙවතාවක් අඛණ්ඩව සිදුකිරීම මහමෙරක වෙහෙස, කැපවීම අවශ්‍ය කාර්යාවලියක් වන හෙයිනි.

අප එකී මහමෙර පරදන වෙහෙස හතළිස් දෙවැනි වතාවටත් අති උත්කර්ෂවත් ආකරයෙන් සමරන ආකාරය පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දුටුවෙමු. ඒ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර විශිෂ්ට දක්ෂතා දැක්වූවන් ඇගයීම වෙනුවෙන් මෙවරත් නායකත්වය ලබාදී තිබුණේ පුවත්පත් මහගෙදර විශිෂ්ටතම සති අන්ත ඉංගිරිසි පුවත්පතවන 'සන්ඩේ ඔබ්සවර්' පුවත්පත විසිනි.

ඊට අවශ්‍ය ආර්ථික පිටුබලය 'එස්.එල්.ටී. මොබිටෙල් ' ආයතනය විසින් ලබාදී තිබුණේය.

මෙම සම්මාන උළෙලකදීම වරක් වසරේ හොඳම පිට පළාත් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ලොව හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සැලකෙන සනත් ජයසූරිය මෙම සම්මාන උළෙලේ හතළිස් දෙවැනි වතාවේ ප්‍රධාන ආරාධිතයා වූයේය.

එහි උත්සව සභාව ඇමැතූ ප්‍රධාන ආරාධිතයා ප්‍රකාශ කළේ කලකට පෙර තමන්ද ඇගයුම් ලැබූ වේදිකාවේ සිට ඊට දසක කීපයකට පසු ක්‍රිකට් ලොව දිදුලන්නට වෙර දරන යොවුන් පරපුර ඇගයුම් ලබන මොහොතක ප්‍රධාන ආරාධිතයා වීමට ලැබීම සතුටට කරුණක් බවයි. එමගින් ඔහු කියන්නට උත්සහ කළේ මෙම 'ඔබ්සවර් -එස්.එල්.ටී. මොබිටෙල් සම්මාන උළෙලේ වැදගත්කමය.

සැබැවින්ම 'ඔබ්සවර් -එස්.එල්.ටී. මොබිටෙල් සම්මාන උළෙල යනු පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය අරභයා ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරෙන ප්‍රශස්තම සම්මාන උළෙල වන හෙයින් එවැනි ඇගයීමක් ලැබීම පුදුමයට කරුණක් වන්නේ නැත. විශිෂ්ට විනිශ්චය මණ්ඩලයක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ තියුණු ලෙස සිදුකරන කිරා මැන බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන ලබාදීම සිදුකරන හෙයිනි. සැබැවින්ම එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සම්මාන අරභයා නිර්දේශ කරනවාට වඩා පාසල් ක්‍රීඩකයන් ඇගයීමේ කටයුත්ත වඩා බැරෑරුම් වන්නේ එය යොවුන් ක්‍රීඩකයාගේ සමස්ත ක්‍රීඩා ජීවිතයටම බලපෑම් කළ හැකි තීන්දුවක් වනහෙයිනි.

ඒ එවැනි සම්මානයක් මගින් ක්‍රීඩකයාගේ මානසිකත්වය සුවිශාල ඇගයීමකට ලක්කරයි. එය එසේ වන්නේ පසුගිය හතළිස් එක් වතාවේදීම 'ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල්' වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මානය හිමිව ඇති ක්‍රීඩක ලැයිස්තුව පරික්ෂා කිරීමේදී එම සම්මානය ප්‍රශස්තම ක්‍රීඩකයන් අරභයා පිරිනමා ඇතිබව දක්නට ලැබෙන හෙයිනි. තවත් අතකින් බැලූ කල එය මෙම සම්මාන උළෙලේ විශිෂ්ටත්වයේ කැඩපතය. ඒ අයුරින් සම්මානිත වූ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූහ.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැන එයට අවශ්‍ය පොහොර, ආලෝකය, ජලය සම්පාදනය කරදීම මෙන්ම, අවට වටපිටාවේ ඇති කුණු රොඩු, වන බූටෑවන් ඉවත්කර, එම ගස වඩාත් අවධානයට පාත්‍රකිරීමට, මෙවැනි සම්මාන උළෙලක් සමපාත කර දැක්විය හැකිය.

රටේ අනාගත ක්‍රිකට් ක්‍රීඩාව බාරගැනීමට සිටින අංකුර හැකියාවන් සහිත ක්‍රීඩකයන් අතරින් විශිෂ්ටතමයන් සොයා මේ අයුරින් ඔවුන් ඇගයීමට බඳුන් කිරීම ආවාට ගියාට කළ හැකි කටයුත්තක් ද නොවේ. ඒ අතින් බලන කල 'ඔබ්සවර්- එස්.එල්.ටී.මොබිටෙල්' ඒකාබද්ධව පාසල් ක්‍රිකට් සංගමයේ ද සහයෝගය සහිතව හතළිස් දෙවතාවක් තිස්සේ ඉටුකරමින් සිටින මෙම සේවය ප්‍රශස්තය, විශිෂ්ටයැයි කිවහැක්කේ එහෙයිනි.

ලොව හොඳම පාසල් ක්‍රිකට් ව්‍යූහය සහිත රාජ්‍ය වන ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ඇගයුම් සම්මාන උළෙල වන්නේද මෙයමය.

ඒ විශිෂ්ටත්වය මෙම සම්මාන උළෙලට හිමිව ඇත්තේ මෙමගින් බිහිවූ සුප්‍රකට ක්‍රීඩකයන් දෙස යළි යළිත් විමසා බැලීමේදී ය. මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සනත් ජයසූරිය ප්‍රකාශ කළේ සෑම ක්‍රීඩකයෙක්ම තම පාසල් ක්‍රිකට් ජීවිතය තුළ 'ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල්' සම්මාන උළෙලේ මහා වේදිකාව මත සිට ඇගයීමට පාත්‍රවීමට සිහින දකින බවය.

'අපිත් අපි ක්‍රීඩා කරන කාලේ මේ සිහිනයම දැක්කා. ඒ සිහිනය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න යන ප්‍රමුඛ සිහිනයක මුල් අවස්ථාවයි. ඒක තමයි මෙම සම්මාන උළෙලේ දී සම්මානිත විම.' ඔහු කීවේය.

එමගින් පැහැදිලි වන්නේ 'ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල් සම්මාන උළෙල යනු නිකම්ම නිකං තවත් එක සම්මාන උළෙලක් නොවන බවය. එය අප පෙර සඳහන් කළාක් මෙන් පාසල් ක්‍රිකට් සම්මාන උළෙල අතර ප්‍රමුඛතම සම්මාන උළෙලය. අඛණ්ඩව සංවිධානය කෙරෙන සම්මාන උළෙලය. පෞද්ගලික න්‍යාය පත්‍රවලින් තොරව ජාතික මෙහෙවරක පූර්ණ වගකීම සහිතව, වානිජ්‍යය අරමුණුවලින් තොරව සංවිධානය කරන සම්මාන උළෙලක්ය.

එවන් විශිෂ්ට සම්මාන උළෙලක් අවසන් වී ඇති මෙවන් මොහොතක පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සිතට ගත යුතු කාරණයක් තිබේ. එය මෙවර සම්මාන උළෙලේ සම්මානිත වූ ක්‍රීඩකයන් මෙන්ම සම්මානයන්ට නිර්දේශ නොවූ ක්‍රීඩකයන්ට ද පොදුය. ඒ අන්කිසිවක් නොව සම්මාන ලැබුණද, නොලැබුණද යම් දිනෙක ජාතික තලයේ විශිෂ්ට දක්ෂතා අතරට පැමිණ ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකා නාමය බැබළවීමට තරම් තමන්ගේ කුසලතා වැඩිදියුණු කරගන්නේය යන තිර අදිටන ගොඩනගා ගැනීමය.

හතළිස් දෙවතාවක් තිස්සේ අඛණ්ඩව 'ඔබ්සවර්' පුවත්පත විසින් ජාතික ඇගයුම් සම්මාන උළෙලක් වශයෙන් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල සංවිධානය කරන්නේ උතුරු, දකුණ, නැගෙනහිර හෝ බටහිර කියා භේදයකින් තොරව සමස්ත ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ එකී මතය තිරලෙස ගොඩනංවනු රිසියෙන්ම බව අවසන් වශයෙන් තේරුම්ගත යුතුය

 

Comments