සමව බෙදුණු පුරපති හොකී කුසලානය | සිළුමිණ

සමව බෙදුණු පුරපති හොකී කුසලානය

 

‘හොකී නිහඬත්වය බිඳහල පුරපති කුසලාන හොකී තරගාවලිය පසුගියදා ප්‍රථම වතාවට පැවැත්වුණේ කඩතොළු වී ජරාජීර්ණ වෙමින් පැවැති කොළඹ කෘතිම හොකී පිටියේදී ය. හරිත පැහැ කෘත්‍රිම තණතීරුවට පැලැස්තර දමමින් ආරම්භ කළ මෙම තරගාවලිය දේශීය හොකී කෙළිබිමට ප්‍රබෝධයක් එක් කළේ ය. මේ ඒ ගැනය.’

පරිසර පවිත්‍රතාව මුසු වූ අලංකාරත්වය මෙන්ම වරිපණම් ගෙවන්නා වූ ජනතාවගේ සෞඛ්‍යය නගාසිටුවීම නගර සභාවේ මූලික වගකීම් අතර වේ. අගනුවර ක්‍රීඩාපිටි 28 ක් පාලනය කිරීමේ වගකීම කොළඹ මහනගර සභාව සතුය. එහෙත් හොකී තරගාවලියක් පැවැත්වීමට තරම් සුදුසු ක්‍රීඩාං-ගණයක් කොළඹ මහ නගර සභාව සතු නොවීම මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීම ය.

පුරපති කුසලාන හොකී අවසන් මහා තරගයේදී ගුවන් හමුදාව සහ යුද හමුදාව සම ශූරතා හිමිකරනිමින් පසුගියදා අවසන් විණි. මෙම තරගයේ ප්‍රථම කාර්තුව සහ දෙවැනි කාර්තුව අවසන් වන තෙක් දෙපිලටම ගෝල් රැස් කර ගැනීමට නොහැකි විය. එහෙත් තෙවැනි කාර්තුව ඇරඹී 10 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ගුවන් හමුදා පිල තරගයේ පළමු ගෝලය ලබා ගත්තේය.

වම් ආන්තික ක්‍රීඩක ප්‍රමෝද්‍ය උදයශාන් සිදු කළ ක්ෂණික ආක්‍රමණයකින් අනතුරුව ලබා දෙන ලද පන්දු පහර මැනවින් පිළිගනිමින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට චානක මෙල්ඩර් ට හැකිවිය. ඒත් සමඟම වඩාත් උද්‍යෝගයෙන් තරගයට අවතීර්ණ වූ යුද හමුදාව තෙවන කාර්තුවේ 16 වැනි මිනිත්තුවේ දී ගෝල් තත්ත්වය සම කළේය. ඉසංක කුමාර ජයසුන්දර ගේ පිත්තෙන් එම ගෝලය වාර්තා විණි.

තෙවන කාර්තුව නිමාවීමත් සමඟම ගුවන් හමුදා කණ්ඩායමේ ඉල්ලීම වූයේ පවතින විදුලි ආලෝක ධාරා ප්‍රමාණය ක්‍රීඩා කිරීමට තරම් උචිත නොවන බවයි. ඒ අනුව තරගය ඉදිරියට පවත්වා ගෙන යෑම අත්හිටුවීමට තීරණය කළ විනිශ්චයකරුවන් සහ සංවිධායක මණ්ඩලය දෙපිලට සම ශූරතාව ප්‍රදානය කිරීමට පියවර ගත්තේය.

මෙම අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ ප්‍රමෝද්‍ය උදයශාන් නම් කෙරුණි.

ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී කොළඹ ආදි නාලන්දීය පිල පරදා ගෝල් 05 - 02 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

අර්ධ අවසන් පූර්ව වටයේ දී යුද හමුදාව හමුවේ කොළඹ ආදි සේනානායක පිල ගෝල් 08 - 00 කින් ද ගුවන් හමුදා පිල හමුවේ කොළඹ බී.ආර්.සී. පිල ගෝල් 02 -01 කින් ද නාවික හමුදා පිල හමුවේ කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ගෝල් 02 - 00 කින් ද, ආදි නාලන්දීය පිල හමුවේ පොලිස් ක්‍රීඩා සමාජය ගෝල් 02 -01 කින් ද පරාජය ලැබීය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ගෝල් රකින්නා යන සම්මාන දෙකම ශ්‍රී ලංකා යුද හමුදාව සතු විය. ඒ අනුව තරිඳු හේන්දෙනිය දක්ෂතම ගෝල් රකින්නා ලෙසත් රජිත් කුලතුංග දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් නම් කෙරුණි.

අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයාට හිමි සම්මානය ආදි නාලන්දීය පිල නියෝජනය කළ බෝධික ඩයස් ට පිරිනැමුණි.

මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමේ දී කොළඹ කෘත්‍රිම ක්‍රීඩාංගණයේ කටයුතු කරන ක්‍රිෂ්ණ සාමි රාමන් මහතාගෙන් සිදුවූ සේවය අවතක්සේරු කළ නොහැකිය. මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන ලද කෘත්‍රිම තණ පලසේ කැබලි කිහිපයක් ගෙනවිත් කඩතොළු වී ගොස් තිබුණ තැන් මකා දමන්නට පෙරදින ඔහු දැරූ උත්සාහය අගය කළ යුතුය. එම කාර්යයේ දී කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු අංශයෙහි සේවකයින්ගෙන් සහ යුද හමුදා භටයින්ගෙන් ලැබුණු නොමද සහයෝගය නොවන්නට මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීම අසීරු වන්නට ඉඩ තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර තරගාවලියේ වාර්තා වුණු අනතුරු සංඛ්‍යාව අවම මට්ටමක වීම විශේෂත්වයකි.

අප්‍රේල් 01 ආරම්භ කර 04 දින අවසන් කිරීමට නියමිතව තිබුණු මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග යුගලය සහ අවසාන මහා තරගය හදිසියේ අප්‍රේල් 10 දින දක්වා කල් දමන්නට කටයුතු කිරීම සංවිධානයේ දී දුටු දුර්වලතාවයක් ලෙස දිස්විය. පූර්ව සංවිධානයට හා අනුමැතියට අනුව එය අප්‍රේල් 04 වන දින නිමා වීමට නියමිතව තිබුණි.

 

Comments