ලොව කළඹන බොක්සිං ලෙජන්ඩ්ස් ගැටුම | සිළුමිණ

ලොව කළඹන බොක්සිං ලෙජන්ඩ්ස් ගැටුම

 

යකඩ මයික් රණශූර හොලිෆීල්ඩ් මැයි මාසයේ හමුවක්

එය එකල හැඳින්වූයේ සියවසේ ගැටුමක් ලෙසය. එහෙත් එය නිම වූයේ බොක්සිං ක්‍රීඩාවේ සටන්කාමීත්වයට නොමැකෙන කළු පැල්ලමක් එක් කරමිනි. 1997 වසරේ පැවැති මෙම බොක්සිං සටනට බොක්සිං ලොව දැවැන්තයන් ලෙස නම් දිනා සිටි අමෙරිකාවේ හෙවිවේට් ශූරයෝ දෙදෙනෙක් තරග වැදුණෝය. ඒ මයික් ටයිසන් සහ එවැන්ඩර් හොලිෆීල්ඩ් ය. එකී සිදුවීමට දැන් දසක දෙකකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇත. එහෙත් එය නැවතත් සිහිපත් වන්නේ එම කුප්‍රකට සංසිද්ධිය නැවත ආවර්ජනය කරවන සිදුවීමකට පණ ලැබී ඇති හෙයිනි. ඒ, අතරමඟ නතර වූ ටයිසන් -හොලිෆීල්ඩ් ගැටුම යළිත් වරක් පැවැත්වීමට තීරණය කර තිබීමත් සමඟය.

මේ පුවත කන වැකුණු සැණින් සියලු බොක්සිං ලෝලීන්ගේ මුවඟට නැංවෙන පොදු ප්‍රශ්නයක් ඇත. ඒ මේ ගැටුම පැවැත්වෙන්නේ කවදා ද? කොහේදී ද? යන්නය. එයට පිළිතුරු දැනටමත් ප්‍රකාශයට පත්කිරීමට මෙම තරගයේ සංවිධාකයන් කටයුතු කර ඇත. ඒ මෙම වසරේ මැයි මාසයේ 23 වැනිදා ය.

එහෙත් ඇරඹුමේදී ම සටන නොපැවැත්වෙන බවට මතයක් සමාජය තුළට කාන්දුවී තිබුණේ ය. ඒ හොලිෆීල්ඩ් පාර්ශ්වය විසින් ටයිසන් මෙම සටනට සහභාගි නොවන බවට පැවසීමත් සමඟ ය.

එසේ වුවත් ඊට දින කීපයකට පසුව ටයිසන් පාර්ශ්වය එකී අවිනිශ්චිතවාදී ප්‍රකාශයට පිළිතුරු ගොනු කළේ නිසැකයෙන්ම තම සටන්කරුවා හොලිෆීල්ඩ් ට එරෙහිව බොක්සිං පිටියට පැමිණෙන බව ප්‍රකාශ කරමිනි.

‘මට අවශ්‍යයි හැමෝම මා සහ හොලිෆීල්ඩ් අතර ගැටුම පැවැත්වෙනවා කියලා දැනගන්න එකට.’ ටයිසන් අන්තර්ජාතික මාධ්‍යයට අදහස් දක්වමින් කියා තිබුණේය.

එසේ කියන ටයිසන්ගේ දැන් වයස අවුරුදු 54 කි. හොලිෆීල්ඩ් ඔහුට වඩා අවුරුදු 4 කින් වැඩිමහලු ය. ‘ඔවුන් වයස තමයි. ඒත් ඔවුන් අතර තිබෙන ඉතිහාසය නිසා යළිත් එකිනෙකා සමඟ තරග වදින්න විශාල උනන්දුවක් තිබෙනවා. ඒ වගේමයි බොක්සිං ලෝලීනුත් ඔවුන් දෙදෙනා යළි එකිනෙකා හා සටන් වදිනවා දකින්න කැමතියි.’ තරග සංවිධායකයෝ පවසති.

ලෝක හෙවිවේට් බොක්සිං ඉතිහාසයේ ළාබාලතම ලෝක ශූරයා වනුයේ මයික් ටයිසන් ය. 1986 වසරේ දී හෙතෙම ලෝක ශූරතාව හිමිකර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 20 පසුවී මාස හතරක් හා දින 23ක් ගෙවී තිබිණි. ඉන් අනතුරුව 1987 සිට 1990 දක්වා උදාවූයේ ඔහුගේ අපරාජිත කාලය ය.

ඔහු පිටියෙන් විශ්‍රාම ගන්නා විට වෘත්තීයමය බොක්සිං වාර්තාව තරග 58 යි ජයග්‍රහණ 50, නොකවුට් ජයග්‍රහණ (ප්‍රතිවාදියා බිම දමා ලැබූ ජය) 44, පරාජ 06 අවලංගු තරග 02 ක් ලෙස සටහන් වුණේ ය.

හොලිෆීල්ඩ්ගේ වාර්තාව අතිවිශිෂ්ට ය. වෘත්තීය බොක්සිං ක්‍රීඩාවේ සිව් වසරක් ලෝක හෙවිවේට්

ශූරයා වූ ඔහු සමස්ත තරග 57 කට සහභාගි වී

ජයග්‍රහණ 44 ක්, නොකවුට් ජයග්‍රහණ 29 ක්, පරාජ 10 ක්, ජය පැරුදුමක් නැති 02 ක් හා අවලංගු වූ තරග 01 ක් වශයෙන් ඔහු එම වාර්තාව පවත්වාගෙන ගොස් ඇත. ඊට අමතරව 1984 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලයිට් හෙවිවේට් අංශයෙන් තරග වදිමින් ඔහු ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

හොලිෆීල්ඩ්ගේ උස අඩි හයයි අඟල් දෙකකි. ටයිසන් අඩි පහයි අඟල් දහයකි. දෙදෙනා වෘත්තීයමය වශයෙන් මුල්වරට හමුවූයේ 1996 වසරේ නොවැම්බර් මාසයේ නව වැනිදා ය. එම සටන පැවැත්වූයේ ලෝක බොක්සිං සංගමයේ හෙවිවේට් ලෝක ශූරතාව වෙනුවෙන් ය. එහිදී සත්-කාරකත්වය ලාස් වේගාස් නුවර වයි.ඒ.එම්. ක්‍රීඩාංගණය සතුවිය.

එම සටනේ එකළොස් වැනි වටයේ දී හොලිෆීල්ඩ්ට ජයග්‍රහණය අත් විය. එහිදී ටයිසන් පාර්ශ්වයෙන් විරෝධතා මතුව ආවේ ය. ඒ තරගය අතරතුර හොලිෆීල්ඩ් විසින් හිසින් ටයිසන්ට පහර දුන් බවය. එසේ වුවත් විනිසුරුවරයා වූ එච්. හැල්පර්න් එය ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ තීරණය වූයේ එය අත්වැරදීමකින් සිදු වූ බවය.

තවත් මාස කීපයක් ගත විය. ඒ 1997 වසරේ ජුනි මස 28 වැනිදා ය. යළිත් වතාවක් ඉහත සටන පැවැති ස්ථානයේදීම ටයිසන් සහ හොලිෆීල්ඩ් නැවතත් තරග කළහ. එයත් පැවැත්වූයේ ලෝක බොක්සිං සංගමයේ හෙවිවේට් ලෝක ශූරතාවයටයි. මෙවරත් විනිසුරු ලෙසට මුලින්ම තෝරාගෙන තිබුණේ එච්. හැල්පර්මය. එහෙත් ඔහුව ඉවත් කළ යුතු බවට ටයිසන් පාර්ශ්වය පැවසූහ.

පසුව හැල්පර්ම් විනිශ්චයෙන් ඉවත් වූයේය. ඒ අනුව එවර එම කාර්ය පැවරුණේ විල්ස් ලේන්ටය. එවර තරගයේ තෙවැනි වටය අතරතුරදී තාවකාලිකව එය නතර කිරීමට විනිසුරු විල්ස්ට සිදුවිය. ඒ ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ කන් පෙති දෙකම සපා කෑම නිසාවෙනි. දැඩි ලෙස ටයිසන්ට අවවාද කළ විල්ස් ප්‍රසාද ලකුණු දෙකක්ද ඔහුගෙන් අඩු කිරීමට තීරණය කළේය.

ඉන් අනතුරුව යළිත් වතාවක් තරගය ඇරඹිණි. නමුත් වැඩි වේලාවක් ගත වූයේ නැත. නැවතත් ටයිසන් විසින් හොලිෆීල්ඩ්ගේ දකුණු කන් පෙත්ත දැඩිව සපා කෑවේය. එහි ප්‍රතිඵලය හොලිෆීල්ඩ්ට සිය දකුණු කන් පෙත්තේ කොටසක් අහිමි වීමය. පසුව එම කොටස බොක්සිං වළල්ල තුළ වැටී තිබියදී සොයාගත්තේය.

වහාම ටයිසන් තරගයෙන් නුසුදුස්සකු බවට පත්කළ විල්ස් හොලිෆීල්ඩ්ට ජයග්‍රහණය පිරිනැමීය. එවකට වසර පනහකට අධික හෙවිවේට් බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ ලෝක ශූරතා තරගයක් මේ ආකාරයට නිමාවූයේ පළමු වරට ය.

ටයිසන් අදාළ සිදුවීම ගැන පැවැසුවේ හොලිෆීල්ඩ් විසින් දිගින් දිගටම හිසින් තමන්ට පහර දුන් නිසා එවැන්නක් සිදුවූ බවය. කෙසේ වෙතත් පසුව ටයිසන්ට තාවකාලිකව තරග තහනමක් පැනවිණි.

මහත් ආන්දෝලනාත්මක මෙම සිදුවීම සිදුවී වසර ගණනාවක් ගතවී ඇත. පසුව ඔවුහු මිතුරු වූ හ. එපමණක් ද නොව පසුකාලීනව සජීව රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගි වූහ.

දැන් උදාවී ඇත්තේ ටයිසන් සහ හොලිෆීල්ඩ් බොක්සිං සංග්‍රාමයේ තෙවැන්නයි. දැනට 2-0 ක් ලෙස ඉදිරියෙන් සටින්නේ හොලිෆීල්ඩ්ය. ඔහුට පටබැඳුණු එක් නාමයක් වනුයේ රණශූරයා යන්නය. ටයිසන් හැඳින්වෙන්නේ ‘යකඩ මයික්’ කියාය.

මෙවර තරගය පැවැතුණහොත් කවුරුන් විසින් ජය ලබනු ඇත්ද? ටයිසන්ට නම් ජයග්‍රහණය ස්ථිරය. ‘හොලිෆීල්ඩ් නිහතමානී මිනිසෙක්. ඒක මම දන්නවා. ඔහු දෙවියන්ගේ මිනිසෙක්. නමුත් මම එහෙමයි. අහන්න. මැයි 23 වැනිදා මම සාර්ථක වෙනවා.’ ටයිසන් පවසන්නේ එලෙසය.

එහෙත් ටයිසන් අවසන් වරට වෘත්තීයමය තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළේ 2005 වසරේදීය. එය එසේ වුවත් ගිය වසරේ නොවැම්බර් මාසයේදී ඔහු ප්‍රදර්ශන තරගයකට සහභාගි විය. ඒ පනස් එක් වියේ පසුවන හිටපු ශූරයෙක් වන අමෙරිකානු ජාතික රෝයි ජෝන්ස් (කනිෂ්ඨ) සමඟය. එය නිමාවූයේ ජය පැරදුමෙන් තොරවය.

හොලිෆීල්ඩ්ගේ අවසන් වෘත්තීයමය තරගය 2011 වසරේදී ය. ඔහු ගතවූ සති කීපය තුළ පුහුණුවීම්වල නිරත වූයේ මෑත කාලීන හෙවිවේට් ශූරයකු වූ යුක්රේනයේ ව්ලැද්මීර් කලි-ව්ස්කෝ සමඟිනි. ඔහු හතළිස් පස් හැවිරිදි හිටපු ලෝක ශූරයෙකි.

බොහෝ මැදිහත් බොක්සිං ක්‍රීඩා විචාරකයන්ට අනුව මෙවරත් වැඩි වාසිය ඇත්තේ හොලිෆීල්ඩ්ට ය. ඔවුන්ට අනුව ටයිසන් සිය ක්‍රීඩා දිවිය තුළ බියවූ ක්‍රීඩකයකු වේ නම් ඒ හොලිෆීල්ඩ් පමණය.

ඊට ගැළපෙන අතීතයක් තිබේ. 1984 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන අමෙරිකානු බොක්සිං කණ්ඩායම තෝරා ගැනීමට තරගමාලාවක් පැවැත්විණි. එහිදී තරගයකදී ටයිසන් සහ හොලිෆීල්ඩ් එකිනෙකා මුණ ගැසී තිබිණි. ඒ වනවිට අත්දැකීම් අනුව හොලිෆීල්ඩ් ඉදිරියෙන් විය. ප්‍රතිඵලය වූයේ ටයිසන්ට දරුණු පාඩමක් උගන්වමින් හොලිෆීල්ඩ් එම තරගය ජයගැනීම ය. ඊට දශක එකහමාරකට ආසන්න කාලයකට පසුවත් ටයිසන්ට හොලිෆීල්ඩ් ඉගැන්වූ පාඩම අමතකව නොතිබුණේ එහෙයිනි. එය අදටත් වලංගු වීමට ඉඩ නැතැයි අප කිසිවකුටත් තිරලෙස පැවැසිය නොහැක්කේ එහෙයිනි.

 

Comments