පාපන්දු ලෝක සිතියම ඉරා අලුත් සිතියමක් අඳින්න සැරසෙන ඉරාන ළන්දු | සිළුමිණ

පාපන්දු ලෝක සිතියම ඉරා අලුත් සිතියමක් අඳින්න සැරසෙන ඉරාන ළන්දු

 

කාන්තාව වනාහි මහපොළොව මෙන් සියල්ල දරා ගැනීමේ ශක්‍යතාවය ඇති ජීව කොට්ඨාසයක් වන අතර ඇය නිමැවුමක් නොව නිමැවුම්කාරිනියක් ය

'ඉස්ලාම් ලෝකයේ සීමාවන් බොහෝයි. ඒක ඔවුන්ගේ සමාජ සංස්කෘතික උරුමයකටත් වැඩිය ආගමික සංස්කෘතික උරුමයක්. අයතුල්ලා කුමේනි වැනි ආගමික ආධ්‍යාත්මික නායකයින් සිටියත් ඉරානය ලෝකය තුළ සෙසු ඉස්ලාම් රාජ්‍යයන්ට වඩා තරමක් විප්ලවකාරී භාවයක් රැකගන්න උත්සාහ ගන්න රටක්. ලෝකෙට ලොක්කා ඉදිරියේදී පවා එකවර හිස නොනමන දඩබ්බරයෙක් වුණු ඉරානය, ගෝලීය දේශපාලන සටන කරන්න ඉරාන කාන්තා විමුක්තිය ලබා නොදී නොහැකි යැයි සිතන නිසා එහෙම විප්ලවවාදී හැසිරීම් පෙන්වනවා වෙන්නත් පිළිවන්. ඒ උපක්‍රම මොනවා වුණත් මේ ඉරානයේ ළන්දු එක්ව පාපන්දු ලෝක සිතියම ඉරා අලුතින් සිතියමක් අඳින්න ගන්න උත්සාහයක කතාවයි.'

ඉරානයේ පාරම්පරික ජාතික ක්‍රීඩාව ලෙස “ෆ්‍රී ස්ටයිල් මල්ලව පොර” සලකනු ලැබුවත් අද වන විට පාපන්දු ක්‍රීඩාවද ඉරානයේ ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත්ව ඇත. ඉරානයේ පිරිමි පාපන්දු කණ්ඩායම “ටීම් මෙල්ලි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර එය අන්තර්ජාතික පාපන්දු පිටිය තුළ ඉරානය නියෝජනය කරනු ලබන නාමය වේ. 2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම ආසියාවේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස ඉරානය විරුදාවලිය ලැබීය. නොකඩවාම එතරම් කාලයක් තම නාමය රඳවාගත් එකම කණ්ඩායම ලෙස ඉරානය සලකනු ලබයි.

ආසියාවේ තිබෙන හොඳම පාපන්දු කණ්ඩායම් අතරින් ඉරානයද එකකි. තුන්වරක්ම (1968, 1972, සහ 1976) ආසියානු ශූරතාව දිනාගැනීමේ ගෞරවය ඔවුන් සතුය. 1976 වර්ෂයේ පැවති මොන්ට්‍රියල් ඔලිම්පික් තර-ගාවලියේ ඉරාන කණ්ඩායම සතු සුවිශේෂී දක්-ෂතාවයන් හේතුවෙන් අවසාන වටය දක්වා ම ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවස්ථා උදාවිය. ඉරානය ලෝක පාපන්දු ශූරතාව උදෙසා පස් වතාවක් ( 1978, 1998, 2006, 2014, සහ 2018) සුදුසුකම් ලැබීය.

අද ඉරාන කාන්තාවෝ, පිරිමින් තම විස්කම් පෙන්වන පාපන්දු ක්‍රීඩාව තුළ ඔවුන් සමඟ කරට කර සිටිමින් ස්වකීය දක්ෂතාවයන් විදහා දක්වමින් සිටිති. හුදෙක් පිරිමින් ක්‍රීඩා කිරීම නැරඹීම සඳහා කාන්තාවන්ට අවකාශය ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යය පමණ ඉක්මවා කෑ මොර දුන්න ද ක්‍රීඩා පිටිය තුළ තම හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යන කාන්තාවගේ නියම දක්ෂතාවයන් ගෙනහැර දැක්වීමෙහි ලා කාර්යක්ෂම වී නොමැත.

2020 නොවැම්බර් මස 13 වන දින තායිලන්තයේ පැවැති තරගයේදී ඉරාන කාන්තා කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසු-කම් ලැබීය. තවද අවුරුදු 19 න් ඉහළ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ආසියානු පාපන්දු තරගාවලියේ තම දක්ෂතාවයන් උපරිමයෙන් පෙන්නුම් කරමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගනිමින් හිනිපෙත්තටම ගමන් කෙළ්ය. කාන්තා පාපන්දු කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරන කඩයෝන් කොස්රෝව්යාර් විසින් ඉරානීය කාන්තාව තුළ සැඟවුණු ක්‍රීඩා කුසලතාවයන් එළියට ගෙන අන්තර්ජාතික තලය දක්වාම ඉහළට නැංවීමේ මෙහෙයුම FIFA කමිටුව විසින් මනා ඇගයීමකට ලක්කර ඇත.

සියලු අංශවලින් පෙරටම පැමිණෙන්නා වූ ඉරාන කාන්තාව අද වන විට පිරිමින් තම ආධිපත්‍ය පතුරවන පාපන්දු අංශයෙන් ද පෙරට පැමිණීමට සමත්ව තිබීම ඉරාන කාන්තාව ලද ජයග්‍රහණයකි.

අවුරුදු 16 න් ඉහළ කාන්තා පාපන්දු කණ්ඩායම තජිඛිස්ථානයේ පැවැති AFC කුසලානය සඳහා වන තරගාවලියේ පළමු වටයේ සිට දෙවැනි වටය දක්වාම පැමිණියේ ඒ අනුවය. රටේ විවිධ අංශවලින් ඉදිරියට එන්නා වූ ඉරාන කාන්තාව අද වන විට අනෙක් ඉස්ලාම් රටවල් අභිභවා ඉදිරියෙන් සිටී.

ඇය 2006 වර්ෂයේ ඉංජි-නේරු අංශයෙන් ලොව පළමු ස්ථානයට පත්වූවාය. උතුරු ඉරානයේ කැස්පියන් මුහුදු සීමාවේ "බන්දර් අන්සලි" යන නමින් නගරයක් පිහිටා ඇත. එහි වසර කීපයක් අඩපණව තිබූ මලවාන් නමැති කාන්තා පාපන්දු ක්‍රීඩා කණ්ඩායම නැවතත් හිස එසවීමට පටන් ගෙන ඇත.

ගිලාන් පළාතේ කැස්පියන් මුහුදු සීමාව ආසන්නයෙහි පිහිටා ඇති "බන්දර් අන්සාලි" නගරයේ ඇති සුවිශේෂීත්වය වනුයේ ඉන් දක්ෂ පාපන්දු ක්‍රීඩකයින් රැසක් බිහිවී තිබීමය.

මලවාන් බන්දර් අන්සාලි පාපන්දු ක්‍රීඩා පිල ටෙහ්රානයට එපිටින් ඇති තරගකාරී පිලක් ලෙස සලකනු ලබයි. 2002 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර නවකයින් සඳහා ද මනා අත්වැලක් ලබාදේ.

බන්දර් අන්සාලි නගරය පාපන්දු ක්‍රීඩාවට මහත් ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර විශාල කාන්තා ප්‍රේක්ෂක පිරිසක් ඒ වටා එක්රොක් වී ඇත. තවද විශාල යොවුන් කාන්තා පිරිසක් වෘත්තියමය වශයෙන් ක්‍රීඩා කිරීමට උනන්දු වෙමින් පවතී.

ගෙවුණු මාස කිහිපය ඇතුළත ඉරාන කාන්තා කණ්ඩායම් ක්‍රීඩා අංශයෙන් අන්-තර්ජාතික තලයේ ඉහළට ගොස් ඇත්තේ එලෙසය.

ඔලිම්පික් සහ ජාත්‍යන්තර කුසලානයන් සඳහා පුරුදු පුහුණු වන ඉරාන කාන්තාව ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් බොහෝ දුර ගමන් කිරීමට පෙරමඟ සකස් කරමින් සිටියි.

කාන්තා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වන මරියම් ඊරාන්දොස්ත් තම වෘත්තියමය වශයෙන් තම කණ්ඩායම මෙහෙයවනු ලබන අතර අලුතින් පිහිටුවන ලද කණ්ඩායමට නායකත්වය ද සපයන්නීය.

මරියම් ඊරාන්දොස්ත් වනාහි 1976 වර්ෂයේ මලවාන් පාපන්දු පිල නියෝජනය කරමින් "හාෆිස්" කුසලානය ලබා ගැනීමට දායක වූ නුස්රත් ඊරාන්දොස්ත් නමැති ක්‍රීඩකයාගේ දියණිය ය.

මරියම් කුඩා කල සිටම තම පියා සහභාගි වන පාපන්දු තරග නැරඹීමට මහත් රුචිකත්වයක් දැක්වූ අතර, තමා කුඩා කාලයේ සිටම පාපන්දු ක්‍රීඩාවේ මහත් වූ රසිකාවියක් යැයි සතුටින් කියා සිටියි.

අද්විතීය ක්‍රීඩිකාවක වශයෙන් මෙන්ම අත්දැකීම් බහුල පුහුණුකාරියක වශයෙන් ද වසර 14 ක් වැනි කාලයක් මලවාන් පාපන්දු සමාජය තුළ තම දක්ෂතාවය පළකළ මරියම් දැනුදු නව පරපුරේ ක්‍රීඩිකාවන් බිහිකර ඔවුන්ගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමෙහි ලා මනා කාර්යභාරයක් ඉටුකරමින් සිටියි.

2016 වර්ෂයේ මලවාන් ක්‍රීඩා කණ්ඩායමේ හටගත් අභ්‍යන්තර අර්බුදය හේතුකොටගෙන අවුරුදු දෙකක්ම එය සක්‍රීයභාවයකින් තොරව ගෙවුණි. ඒ අවස්ථාවේදී මරියම් කියා සිටියේ තමන් කොන්ක්‍රීට් බිත්ති හතරකින් කොටුවූ සිරකාරියක් මෙන් ක්‍රීඩා කිරීමට නොහැකිව ලත වූ බවයි.

නැවත තමන් ක්‍රීඩා පිටියට අවතීර්ණව ඇති බව උද්දාමයෙන් ප්‍රකාශ කරන මරියම් තම ඒකායන අරමුණ ජාතික සහ අන්තර්ජාතිකව ශූරතාවයන් ලබාගැනීම බැව් අවධාරණයෙන් කියා සිටියි.

මවුලානා රූමි මෙසේ පැවසීය. "කාන්තාව වනාහි මහපොළොව මෙන් සියල්ල දරා ගැනීමේ ශක්‍යතාවය ඇති ජීව කොට්ඨාසයක් වන අතර ඇය නිමැවුමක් නොව නිමැවුම්කාරිනියක් ය" යන්නය.

අද ඉරාන කාන්තාව එම ප්‍රකාශය සත්‍යයක් බවට පරිවර්තනය කරමින් සිටියි.

 

Comments