ජය ගත යුතු ආපසු හැරිය නොහැකි ටෙස්ට් තරගාවලිය | සිළුමිණ

ජය ගත යුතු ආපසු හැරිය නොහැකි ටෙස්ට් තරගාවලිය

 

2001 සැප්තැම්බර් මාසයේ දිනෙක කොළඹ එස්.එස්.සී.ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව දිස්වුණේ 555/05 ලෙසිනි. එහි මාවන් අතපත්තු 201 (පිටියෙන් ඉවත්වී දැවී ගියා), මහේල ජයවර්ධන 150 (පිටියෙන් ඉවත්වී දැවී ගියා) ලෙස සටහන් වූයේය. ඊට හේතු වූයේ මාවන් හා මහේල ප්‍රතිවාදී පන්දු යවන්නන් ඉදිරියේ රිසි පරිදි ලකුණු ලබා ඊළඟට සිටි පිතිකරුවන්ට අවස්ථාව ලබා දී ක්‍රීඩා පිටියෙන් ඉවත්වීමය. පිටියේදී තුවාල ලබා ඉවත් නොවීම, එමෙන්ම නැවත පන්දුවට පහර දීමට අපේක්ෂා නොකිරීම, තම කැමැත්තෙන් පිටියෙන් ඉවත්වීම යන හේතු මත මෙය ඉවත්වීම මත දැවී යාම් (retired out) ලෙස සැලකිණි. එම සිදුවීම දැක ගැනීමට ලැබුණේ එදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති මංගල ටෙස්ට් තරගයේදී ය. තරගයෙන් ඉනිමක පහසු ජයක් ශ්‍රී ලංකාව සතුවිණි.

ඉන් වසර 15 කට පසු 2017 වසරේ දිනෙක කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේ ලකුණු පුවරුව දිස් වූයේ මෙලෙසිනි. ශ්‍රී ලංකාව මුල් ඉනිම 338 දෙවැනි ඉනිම 319. බංග්ලාදේශය මුල් ඉනිම 467 හා දෙවැනි ඉනිම 191/06 ක් ලෙසය. ඒ අනුව බංග්ලාදේශයට කඩුලු 04 ක ජයක් හිමිවිණි. ඒ ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු ටෙස්ට් තරග ජය වීම කැපී පෙනෙයි. එසේම එය ඔවුන්ගේ 100 වන ටෙස්ට් තරගයද විය.

කෙසේ නමුත් මෙවර එනම් පසුගිය 21 දා ආරම්භ වූ ටෙස්ට් තරගමාලාවට පෙර දෙරට අතර පැවැති ටෙස්ට් තරග 20 න් ශ්‍රී ලංකාව තරග 16 ක් ජයගෙන තිබිණි. බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එකම තරගයක් පමණි.

"තණතීරුවේ සහයෝගය අනුව අපි වේග පන්දු යවන්නන් දෙදෙනකු, තිදෙනකු හෝ සිව්දෙනෙකු යොදා ගෙන තරග වදින්නට සූදානම් "

මෙවර තරගමාලාව ආරම්භ වීමට ප්‍රථම බංග්ලාදේශ නායකයා සඳහන් කර තිබුණේය. ඒ අනුව ඔවුන්ගේ අරමුණ මේ අනුව පැහැදිලිය. ඒ පසුගිය කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ටෙස්ට් තරගවල දී වැඩි තර්ජනයක් එල්ල වූයේ ප්‍රතිවාදී වේග පන්දුයවන්නන් විසින් බව ඔහු අවබෝධ කරගෙන ඇති හෙයිනි. එහෙයින් ශ්‍රී ලංකා පිල මෙල්ල කිරීමට නම් හොඳ වේග පන්දු බලඇණියක් සිටිය යුතු බවත් අනාගතයේ ටෙස්ට් පිටියේ සාර්ථක විමට නම් වේග පන්දු යවන්නන් හය හත්දෙනෙකු තමන් සතුව සිටිය යුතු බවත් බංග්ලාදේශ ක්‍රිකට් නායක මොමිනුල් හක් ගේ අදහසය.

ඔහුගේ ප්‍රකාශය කෙසේ වුව ද මෙම තරගමාලාව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් නම් ජයග්‍රහණය කළ යුතුම තරගමාලාවකි. ජගත් ටෙස්ට් ශුරතා තරගාවලියේ මේ වනවිට අටවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එහි නව වන ස්ථානයේ සිටින බංග්ලාදේශයට එරෙහිව සමස්ත තරගාවලියම ජය ලැබුවහොත් හයවැනි ස්ථානය දක්වා උසස්වීමට හැකියාව උදාවී ඇත. දැනට හත්වන ස්ථානයේ දකුණු අප්‍රිකාව හා හයවැනි ස්ථානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුවෙයි.

මෙම තරගමාලාවට පෙර දෙපිල සහභාගි වූ තරග දෙස බලන විට බංග්ලාදේශය ජයග්‍රාහී ස්ථාවරයක සිටි කොදෙව් පිල ඉදිරියේ 0-2 ලෙස පරාජය වූ අතර ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග හයෙන් තරග හතරක් පරාජය වී එකදු තරගයක් හෝ ජය හිමි කර ගෙන නැත. මේ අනුව කණ්ඩායම් දෙකම පසුවන්නේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙනි.

තරගමාලාව ශ්‍රී ලංකාවේ පැවැත්වීමත් සංචාරක කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් වන සකිබ් අල් හසන් හා මුෂ්ෆිකර් රහමන් මෙවර කණ්ඩායම නියෝජනය නොකිරීමත් ශ්‍රී ලංකාව පැත්තෙන් බලන විට වාසිදායක ය.

"ඔවුන් දෙදෙනාගේ අඩුව අපට එතරම් බලපෑමක් වන්නේ නෑ." බංග්ලාදේශ නායකයා පවසා තිබුණේය. ඔහුගේ අදහස ද ප්‍රතික්ෂේප කළ නොහැක. මන්ද අන්තර්ජාතික කණ්ඩායමක් යනු ක්‍රීඩකයින් කීපදෙනෙකු මත පමණක් යැපීමට නොහැකි බැවිනි.

මේ අතර කොදෙව් පිලට එරෙහිව පිත්තෙන් දස්කම් දැක්වූ පැතුම් නිශ්ශංක හා ඔෂද ප්‍රනාන්දු දෙදෙනා එම දක්ෂතා මෙම තරගාවලියේ දී ද ඉදිරියට රැගෙන යනු ඇතැයි මෙරට සමස්ත ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

අත්දැකීම් සපිරි ඇන්ජලෝ මැතිව්ස් ද යළි කණ්ඩායමට එක්ව තිබේ. කෙසේ වුවද මෙම තරගාවලිය දිනේෂ් චන්දිමාල් හට තීරණාත්මක තරගාවලියක් වෙයි. ඒ කලෙකින් ඔහුගෙන් දිගු ඉනිමක් දැක ගැනීමට නොහැකි වූ නිසාවෙනි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු අතර පසුවීම සත්කාරක රාජ්‍ය පාර්ශ්වයෙන් වාසිදායක තත්ත්වයකි. එනමුත් අත්දැකීම් සපිරි දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියගේ අඩුව සත්කාරක කණ්ඩායම පාර්ශ්වයෙන් බෙහෙවින් බලපාන කරුණක් වීමට ඉඩ තිබේ.

කෙසේ නමුත් ඔහු වෙනුවට කැඳවා ඇති ප්‍රවීන් ජයවික්‍රම හට මෙය මහගු අවස්ථාවකි. දෙරට අතර ටෙස්ට් ඉතිහාසය තුළ ලකුණු දහසේ සීමාව පසුකළ පිතිකරුවන් අතර සංක්කාර, මහේල, ඩිල්ශාන් හා මොහොමඩ් අෂ්රෆුල් සිටිති.

වැඩිම ලකුණු ලාභී ඉනිම් ද්විත්වයේ හිමිකරුවන් වනුයේ කුමාර් සංගක්කාර හා මුෂ්ෆිකර් රහීම් ය. කඩුලු 89 ක් දවා ගනිමින් මුත්තයියා මුරලිදරන් දෙරට අතර වැඩිම කඩුලු ලාභියා වන අතර ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කර ඇත්තේ රංගන හේරත් (89/7) ය. සංචාරකයන්ගේ පාර්ශ්වයෙන් එහි හිමිකරුවා (70/5) ශකීබ් අල් හසන් ය. ශ්‍රී ලංකාව වාර්තා කර ඇති ඉහළම කණ්ඩායම් ඉනිම (730/06) වන අතර බංග්ලාදේශය ලබා ඇත්තේ ලකුණු 638 කි. දෙරට අතර ටෙස්ට් තරගවල වාර්තාවී ඇති අඩුම ලකුණු ගණන 62 කි. ඒ බංග්ලාදේශය පී.සරා පිටියේ දී වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකාව එය සටහන් කරගෙන ඇත්තේ 222 ක් ලෙසිනි.

කෙසේ නමුත් සත්කාරක රාජ්‍ය වන්නාසේම පළපුරුද්ද, ජයග්‍රාහී දත්ත වාර්තා යන සියල්ල සලකන කල්හි මෙම තරගාවලිය ජය ගැනීමේ වැඩි අවස්ථාව කෙසේ වෙතත් අවශ්‍යතාව යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාව කෙරේ බව අවසන් වශයෙන් පැවසිය යුතුය.

 

 

Comments