ගම් දොස් සුන් කරන අං කෙළිය | සිළුමිණ

ගම් දොස් සුන් කරන අං කෙළිය

අතීතය විනිවිදුම-17

 

ආගමික ක්‍රීඩාවක් වූ අං කෙළිය වසංගත කාලවලදී පවත්වන ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව පත්තිනි දෙවියන් යැදීමට හා පිහිට ලබාගැනීමේ අපේක්ෂාවෙන් පවත්වන්නක්.

මේ ක්‍රීඩාව නිර්මාණය වන්නේ ඓතිහාසික පුරාවෘ තයක් උපයෝගී කර ගෙනයි. ඒ තමයි පත්තිනි දේවිය හා ඇගේ ස්වාමි පුරුෂයා වන පළඟ ගුරු එක්ව මල් නෙළන්න ගොස් දෙදෙනාගේ කෙකි දෙක එකට පැටලැවෙනවා. ඒ පැටලිල්ල ඇරගන්න ඔවුන් දෙදෙනාට සෑහෙන වේලාවක් ගත කරන්න සිදුවුණාලු. අන්තිමට දෙන්නා එක්ක තම තමන්ගේ කෙක්ක බේරාගන්න තරගයක් ආකාරයෙන් අනෙකා පරයා යමින් ගන්නා ලද උත්සාහය තරගයක් බවට පත්වුණා ලු. එය සැමරීම වෙනුවෙන් තමයි මේ අං ඇදීම කියන ක්‍රීඩාව බිහිවුණේ.

අං ගහ නමින් හඳුන්වන රූස්ස ගහක් පිහිටලා තියෙන අං පිට්ටනියේදී උඩුපිල හා යටිපිල විධිහට දෙපිලක් බෙදිලා තමයි අං කෙළිය සිද්ධ කරන්නේ.

ගජබා රජුගේ කාලයේ සිටම මෙම ක්‍රීඩාව පැවැතුණා කියලා පුරාවෘත්ත කතාවන්හි දැක්වෙනවා. රූස්ස ගහ තියෙන අං පිටියේදී ගහට යාර එකහමාරක් විතර ඈතින් දිගු හතරැස් වළක් හාරා එහි පැති ලෑලිවලින් වහලා ඔපකරන ලද පොල් ගහක කඳක ගෝලාකාර මුල උඩපැත්තට සිටුවනවා. අඳින කඹපොට පොල් කඳ මැද්දෙන් යැවීම සඳහා එහි සිදුරක්ද සාදා ගන්නවා.

මේ හෙණ කඳ හෙවත් වලි ගහ ඔබ මොබ වැනීම පහසු කරන්න වළ දිගින් වැඩියෙන් කපා ගන්නවා. හෙණ කඳේ මුලටත් විශාල පේරුහැවැල් වලලු කීපයක් යොදවනවා. තවත් වැලක් අරගෙන හෙන කදේ සිදුර මැද්දෙන් යවලා පෙරුහැ කියන වලල්ලෙන් ඇදලා මන්දක් ගහනවා. මේ මන්දෙ පහළ කෙළවරින් තමයි අං මෝල ඇතුළු කරලා හරස් කරන්නෙ අඟ අඳින කොට ගැලවිලා නොයන්නයි. උඩු පිලේ අඟේ අං මෝල මදු වළල්ලෙ අනිත් කෙළවරින් ඇතුළු කරලා හරස් කරනවා. යටි පිලේ අගත් එහෙමම අං ගහේ වැල් වළල්ලට එක් කරනනවා. ඊට පස්සේ තමයි අං දෙක එකට ගැටෙන්න සලස්වන්නේ. ඒ වළලු මත අයෙක් දෙපසින් සිටගන්නවා.

ඊට පස්සේ කරන්නේ ගස්සමින් දෙපස සිට කඹ අදින එකයි. එවිට සිදුවන්නේ හෙණ කඳ වැනිලා අං දෙක එකින් එක ගැලවීම වළක්වනවා. දැන් මෙහෙම කඹය අදින අතරේ ඔවුන් එකවර ඇදීම නවත්වලා බලනවා අං පුපුරලා තිබෙන්නේද යන්න. යම් හෙයකින් අං පුපුරලා තිබෙනවා නම් පුපුරපු පැත්තට පරිහාස කරමින් අනෙක් කණ්ඩායම ජයග්‍රහණය සමරමින් අවට සැරිසරනවා. මෙහෙම දිනපු අඟ පරිස්සමට අරං තියන්නේ ඊළඟ වාරයේදී අං කෙළියට එය ප්‍රයෝජනයට ගන්න බලාගෙනයි.

අ ංකෙළිය පැවැත්වෙන දිනයට ගමේ මස්, මාළු, පිලී ආහාර කිසිවක් ළිප තැබෙන්නේ නෑ. ඒ වගේමයි එවැනි ආහාර භුක්ති විඳින්නත් ගම් වැසියන්ට තහංචි දානවා. ඒ වගේම කාන්තාවන්ට අං කෙළිය පැවැත්වෙන භූමියට යෑමට නො-හැකි බවට තීන්දුවක් තිබෙනවා. ඒ විතරක් නම් මදෑ? ගමේ ගෙවල් ඇතුළේ තෙල් තාච්චි තියන්න තහනම්. පිටි කොටන්න බෑ. අං කෙළියට එන පිරිමින්ට හිස තෙල් ගාන්න තහනම්. ඒ වගේම තමයි ගම් ගෙදරක ආහාර ගන්නකොට අලුත් මැටි භාණ්ඩවල කන්න බොන්නත් බෑ. ඒ වගේමයි අං කෙළිය බලන්න පිටියට යන්නේ නම් ඔහු හොඳින්, නාලා පිරිසිදු වෙලා තමයි එතැනට එන්න ඕනෑ.

ඒ වගේමයි ඔවුන් එහිදී භාවිත කරන වදන් මාලාවකුත් තිබීම. උදාහරණයකට වලිමල, අං ගහ, පේරුහැ, අං මැඩිල්ල, අං කෙළිහින්න, වාරම්, වෙළුව, වෙළු පොල්ල, රුකුල් පොල්ල, අං රිකිල්ල, වාසි පහ, අංහෙට්ටියා වැනි වාං මාලාව ගත හැකියි.

අං කෙළින දිනයේ ගමට එන්නත් බෑ. ගමේ ගෙදරකට යන්නත් බෑ. කෙළිය පවත්වන වෙලාවේ සිට ඉවර වෙන තුරු අවේලාවේ ආහාර ගැනීම වගේම අං කෙළිය පවත්වන පිට්ටනියේ කොනක තාවකාලික ලැගුම් මඩු දෙකක් තනලා තිබෙන්නේ පිල් දෙකක් සහිතවයි.

මේ වැඩේ අවසන් වෙන්නෙත් ගමේ දේවාලයට දේවායුධ වඩම්මවලා යාතිකා කරලා ආපහු ඒමෙනුයි. පස්සේ දේව දානයක් සැලසුම් වෙනවා. ඒක පැණි මුහු කරපු කිරිබතක් හදලා දෙවියන්ට පූජා කරන්නක්. ඊට පස්සේ ඉතිරි පැණි කිරිබත් ගමේ සෙසු සියලු දෙනාටම දෙනවා. ඒකෙන් අපේක්ෂා කරන්නේ ගමට දේවාශිර්වාදය ලබාගැනීමයි. ඊට පස්සේ අං කෙළියට සහභාගි වූ දෙපිලේ ක්‍රීඩකයන්ට ආචාර සමාචාර කරලා ඒක බලපු පිරිසටත් ආචාර පුදකරලා තමයි අං පිටියෙන් සමුගන්නේ. ඒ අං කෙළිය පැවැත්වූ වළට පැන් වැඩීම සිරිතක් වශයෙන් පවතින පිළිවෙතක් වුණා.

 

 

Comments