
'ඩඩ්ලි සේනානායක කියන්නෙ කීර්තිමත් දේශපාලනඥයකුට. මෙරට දේශපාලනයේ ප්‍රතාපවත් සංස්කෘතියේ මුල් බල කණු අතර ඔහුටත් ස්ථානයක් හිමිවෙනවා. පසුගිය අප්‍රේල් 13 වැනිදා ඔහු මෙලොවින් සමුගෙන වසර 48 ක් සම්පූර්ණ වුණා. මේ ඔහුගේ දේශපාලනය ගැන නොවෙයි ක්‍රීඩාව ගැන කතාවක්.'
ඩඩ්ලි අධ්‍යාපනය ලැබුවේ දිවයිනේ ප්‍රසිද්ධ විදුහලක් වන ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් වන අතර, මෙම පිය පුතු දෙපල තම විදුහල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බව මෙහිදී අමතක කළ නොහැක.ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට්, හොකී, බොක්සිං යන ක්‍රීඩාවලදීද මොහු දස්කම් දැක්විය.
පසු කලෙක එංගලන්තයේ වැඩිදුර අධ්‍යාපනය ලත් මොහු එංගලන්තයේදී ක්‍රිකට් තරගයක යෙදී සිටියදී මුහුණ දුන්නේ අපූරු අත්දැකිමකටය. ඒ එක්දහස් නවසිය තිස් ගණන්වලදී ය.
ඔහු එදින ඉන්දීය ජිම්කානා ක්‍රිකට් සමාජයීය කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණු දිනයකි. ඉන්දියාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ සි.කේ. නායිදු මෙම තරගයේ දී ඉන්දීය ජිම්කානා පිලේ නායකත්වය දැරූ අතර ප්‍රතිවාදීන් වුයේ එංගලන්තයේ ප්‍රබල ප්‍රාන්ත කණ්ඩායමක් වන මිඩ්ල්සෙක්ස් කණ්ඩායමය. මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩා පිටිය වශයෙන් සැලකෙන ඓතිහාසික ලෝර්ඩ්ස් පිටියේ පැවති මෙම තරගයේදී අප කතානායකයා පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට මොහු මහත් හිසරදයක් වී තිබිණි. එමෙන්ම ඒ වන විට ඔහු විශාල ලකුණු ගණනක් ලබා ගන්නා ආකාරයක් දිස්විය. මැනවින් ලකුණු රැස් කරමින් සිටි ඔහුට මහත් ගැටලුවක්ව තිබුණේ එකල එංගලන්තය නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නෙක්ව සිටි මිඩ්ල්සෙක්ස් පිලේ ඉයන් පිබල්ස් කොයි මොහොතක හෝ තමාට එරෙහිව පන්දු යැවීම පිණිස කැඳවාවිද යන්නයි.
පිබල්ස් මෙම තරගයට ක්‍රීඩා කරන බව ඔහු දැන සිටි බව වාර්තා වන නමුත් ඔහුට මෙම පන්දු යවන්නාගේ ස්වරූපය සම්බන්ධව එතරම් මතකයක් තිබී නොමැත.එමෙන්ම තමා මේතාක් පිටියේ හතර අතට පහර එල්ල කරමින් ප්‍රතිවාදී පිලට එරෙහිව ලකුණු ලබා ගනිමින් සිටියදීත් ඔවුන් තම හොඳම පන්දු යවන්නා තමාට එරෙහිව යොදා නොගැනීම ද මේ වන විට ඔහුට මහත් ප්‍රශ්නයක් විය.
තවදුරටත් ඉවසාගත නොහැකිවූ තැන ඔහු තමා අසල සිටි කඩුලු රකින්නා දෙස බලා ඇසුවේ,
“ඇයි නුඹලා පිබල්ස්ව පන්දු යැවිමට නොකැඳවන්නේ” යනුවෙනි.මෙහිදී මවිතයෙන් මෙන් ඔහු දෙස බැලූ කඩුලුරකින්නා, "පිබලස්" යනුවෙන් ප්‍රතිරාව නංවා, "ඇයි ඔබ දැන් ටිකකට කලින් දිගට හරහට පහර දුන්නේ පිබල්ස්ට නේ" යනුවෙන් පැවසුවේ ඔහු මහත් පුදුමයට මෙන්ම සංත්‍රාසයට ද පත් කරමිනි.
අවසානයෙහි ඔහුගේ විස්මය හා තිගැස්ම කෙතෙක්දැයි කිවහොත් පිබල්ස්ගේ ඊළඟ පන්දුවෙන්ම ඔහුට තම කඩුල්ල අහිමි විය.
නමුත් එදා දිනය මෙන්ම ඔහු සම්බන්ධ එදින තරගයෙහි සිදුවීම් ද නිමා වුයේ එතෙකින් නොවේ. ඔහුගේ පිල පන්දු රකින අවස්ථාවේ නායක නායිදු පන්දු යැවීම සඳහා ඔහු කැඳවූ අවස්ථාවේ ඔහුට පන්දු යැවීමට සිදුවූයේ පස්ටි හැන්ඩර්සන් යන පිතිකරුවාට එරෙහිවය.
ඔහු යැවූ පළමු පන්දුවම ඉතාමත්ම දුර්වල පන්දුවක් වූ අතර ඒ සම්බන්ධ සමහර වාර්තා පෙන්වා දෙන්නේ එය ක්‍රිකට් ඉතිහාසයේ දැක ගැනීමට ලැබුණු දුර්වල පන්දු අතරිනුත් දුර්වලම පන්දුවක් විය හැකි බවය. මෙතරම් දුර්වල පන්දුවක් තමා වෙත යොමුවෙතැයි කිසිසේත් අපේක්ෂා නොකළ පිතිකරු මහත් උද්දාමයට පත්වෙමින් එමෙන්ම හොඳින් සූදානම් වී පන්දුව පිළිගත්තේ උපරිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අටියෙන් ස්වීප් පහරක් එල්ල කරමිනි. අවාසනාවක මහත එම පහර උඩ පන්දුවක් ලෙස ඇදී ගොස් සුරැකිව නතර වූයේ පන්දු රකින්නෙකුගේ දෑත් තුළය. මේ අනුව අනපේක්ෂිත කඩුල්ලක් ඩඩ්ලිට හිමිවිය.
එදින තරගයේ ඔහු පන්දු යැවූ අයුරු මෙන්ම පිත්ත හසුරුවන ලද ආකාරය ගැන මෙසේ සටහන් තැබිය හැකිවාක් මෙන්ම පන්දු රකින ලද ආකාරය ගැන කතා නොකළහොත් එය අඩුවකි. එදින ඔහු පන්දු රැකීමේදී උඩ පන්දු දෙකක් අතහැරියේය. ඒ ඩඩ්ලිගේ ක්‍රිකට් පුරාණයේ රස මතකයන් ය. පසුකලෙක ඔහුගේ මේ උඩ පන්දු අතහැරීම සේම ආණ්ඩු බලය හා පක්ෂ නායකත්වයත් අතහැර ගත්තේ දේශපාලන ලෝකය තුළ සුවිශේෂී මතකයන් සනිටුහන් කරමිනි.










