උතුරට ගැහුවේ දකුණෙන් නෙවෙයි බස්නාහිරෙන් | සිළුමිණ

උතුරට ගැහුවේ දකුණෙන් නෙවෙයි බස්නාහිරෙන්

 

චාල්ස් - 02

මට වොලිබෝල් ක්‍රීඩාවෙන් හොඳ නමක් දිනා ගැනීමට හැකිවූයේ මේ ක්‍රීඩාවට මගේ තිබුණු කැපවීම නිසා

උතුරේ වැඩ්ඩන්ට උන්හිටි තැන් නැතිකල චාල්ස්ගේ ගම්පහ කොල්ලෝ

‘වොලිබෝල් පිටියේ රහස් පොලිස් කාරයාගෙ කතාව පටන් ගත්තේ පසුගිය ක්‍රීඩා පුවත්පතෙන්. ඒ සිද්ධිය එක්ක වොලිබෝල් ශූරයෝ බොහෝ දෙනෙක් උනන්දු වුණා. මේ නිසා අපි ශ්‍රී ලංකාවේ පළමුවැනි වොලිබෝල් නායකයා වන චාල්ස් ගැන තවත් කොටසක් දිගහරින්න තීරණය කළා. චාල්ස් සමඟ කතා කරන්න ලැබුණු දුර්ලභ අවස්ථාව නිසා අපි මෙම කතාව ඔහුගේ හඬින් කියන්න ඉඩදීලා පසෙකින් සිටියේ වේදිකාව පමණක් නිර්මාණය කරමිනුයි. මේ ඒ කතාව.’

‘1950 පමණ ගම්පහ ප්‍රදේශය පුරා වොලිබෝල් ක්‍රීඩාව පැතිරිලා තිබුණත් සංවිධානාත්මකව සමස්ත ලංකා තරගවලට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබුණෙ නැහැ. මම මේ තත්වය හොදින් තේරුම් ගත්තා. ඒ සමඟම ගම්පහ ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩකයන් මට ආරාධනා කර සිටියා ප්‍රදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන කියලා. ඔවුන්ගේ යෝජනාවට ඇහුම්කන් දුන් මා හැම දෙනාගේම සහයෝගයෙන් ගම්පහ සෙන්ට්‍රල් පිලට ඉහළ ආරම්භයක් ලබා දුන්නා.’ සෙන්ට්‍රල් පිල පටන් ගත්ත ආකාරය ගැන චාල්ස් කිව්වේ එහෙමයි.

යාපනයේ වොලිබෝල්

‘මේ යුගය වන විට වොලිබෝල් ක්‍රීඩාවට වැඩි ප්‍රසිද්ධියක් ලබා තිබුණේ යාපනය ප්‍රදේශයයි. සමස්ත ලංකා ශුරතාව වැඩි වාර ගණනක් තමන් සතු කර ගැනීමට උතුරු ප්‍රදේශය සමත් වුණා. මෙවන් වාතාවරණයක් තුළ වොලිබෝල් ක්‍රීඩාව පැවතෙද්දී මගේ නායකත්වය යටතේ ගම්පහ සෙන්ට්‍රල් පිල සමස්ත ලංකා වොලිබෝල් ශුරතා තරගාවලියට ඉදිරිපත් වී ශුරතාව දිනා ගත්තා. 1951 සමස්ත ශුරයින් වූ අපි ඉන්පසුව කිසිමදාක උතුරුකරයට වොලිබෝල් ශුරතාව දිනා ගැනීමට අවස්ථාවක් දුන්නේම නැහැ. ඒ කාලයේ වොලිබෝල් ක්‍රීඩාවට ගම්පහ මෙන්ම හංවැල්ල, වග, තුඩැල්ල, පොතුපිටිය, බොරලැස්ගමුව, මීගොඩ හොඳ ප්‍රසිද්ධියක් ලබා තිබුණා.’ පනහේ දසකය වනවිට රටේ වොලිබෝල් පැති-රුණු ආකාරය ගැන චාල්ස් කීවේ එහෙමයි.

‘1955 වසරෙදි තමයි ලංකාවෙන් ප්‍රථම වරට වොලිබෝල් කණ්ඩායමක් මදුරාසිය බලා පිටත් වුණේ. ඒ ස්වර්ණමය අවස්ථාව උදාවුණේ ගම්පහ සෙන්ට්‍රල් පිලටයි. මගේ නායකත්වයෙන් මදුරාසියේදී රටට ගෞරවයක් අත්කර දෙමින් ඉහළ දක්ෂතා දක්වන්න අපට හැකිවුණා. මදුරාසියේ දී අපේ කණ්ඩායම ප්‍රාන්ත ජනතාවගේ පැසසුමට ලක්වීම තවමත් මගේ මතකයෙන් ගිලිහිලා නැහැ. ඉන් අනතුරුව මෙරටට පැමිණි විදේශීය පිල් සමඟ තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම අවස්ථා ගණනකදී සිදු කළේ මමයි. මට මතකයි අපි විදේශීය කණ්ඩායම් සමඟ තරග කරද්දී බපර් ක්‍රමයට බෝලය හැසිරවීම සම්බන්ධයෙන් විදෙස් ක්‍රීඩකයෝ පවා මවිතය පළ කළා. ඒ වගේම ඩෑෂ් ප්‍රහාර වලදී දැක්වූ දක්ෂතා වලින් අප ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටියා. වොලිබෝල් තරග සඳහා මම උතුරු ඉන්දියාවලදකුණු ඉන්දියාව, පකිස්ථානය යන රටවල සංචාරය කරල තිබෙනවා.

1953 ජුනි මාසයේ 01 වෙනිදා ගම්පහ විද්‍යාසේකර විද්‍යාලයට ආධාර සඳහා පැවැත්වූ තරග මාලාවේ දී අප කණ්ඩායම ජයග්‍රහණය කළා.එපමණක් නොවෙයි, එවකට මුදල් ඇමතිව සිටිලජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් විශේෂ ත්‍යාග ලබා ගැනීමත් මෙහිදී සඳහන් කළ යුතුයි. පන්දු එසවීම, පන්දුවට පහරදීම, පන්දුව ගොඩනැගීම යන

තුන් ඉරියව්වෙන්ම දක්ෂකම් පෙන්-වීමට මට හැකියාව තිබීම මා ලබාගත් ජයග්‍රහණයක්. මට වොලිබෝල් ක්‍රීඩාවෙන් හොඳ නමක් දිනා ගැනීමට හැකිවූයේ මේ ක්‍රීඩාවට මගේ තිබුණු කැපවීම නිසා කියලා කිව්වොත් එය වැරදි නැහැ. මගේ ගුරුහරුකම් ලබාගෙන මගෙන් පසුව වොලිබෝල් පිටියේ නම රැන්දූ ක්‍රීඩකයින් අතර එල්.ඩී.ඒ. ගුණවර්ධන, ඩබ්ලිව්. එල්. පියරත්න, ඩබ්ලිව්. එල්. සිරිවර්ධන, එම්.ඊ. ඇල්ප්‍රඩ්, ඩබ්ලිව්.එල්. පියරත්න, නිමල් ද සේරම්, සූරියප්පෙරුම, වින්සන් පෙරේරා සහ අබේරත්න හඳුන්වා දෙන්න පුළුවන්. එසේම සිය ගණන් ක්‍රීඩකයෝ ගම්පහ ප්‍රදේශයෙන් මගේ උපදෙස් හා ගුරුහරුකම් මත බිහිවෙලා තිබීම මට සතුටක්.’ චාල්ස් කිව්වා.

ටී.ඩීඑල්. චාල්ස්ගේ ජීවිතයේ වොලිබෝල් වෙනුවෙන් ඔහු ලැබූ උසස්ම භාග්‍ය ලැබුවේ 1952 වසරේදී පැවැති තරගයකදී. මොහු වොලිබෝල් ක්‍රීඩාවට කොතරම් දක්ෂයෙකු වී සිටියේ ද යත්, මුළු දිවයිනේන්ම සිටින දක්ෂතම වොලිබෝල් ශුරයා වශයෙන් තේරී එවකට ලංකා ආණ්ඩුකාර ධූරය ඉසුලූ සෝල්බරි සාමිවරයාගෙන් ඒ සඳහා පිරිනැමුණු විශේෂ රන් පදක්කම ලබා ගත්තේය.

චාල්ස් විසින් මේ අවස්ථාව සමරනු ලැබුවේ ඉමහත් භක්තියකින් හා ගෞරවයෙනි. වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් රන් පදක්කම දිනූ ක්‍රීඩක-යෙකු ලෙස ලංකා ඉතිහාසයට ඔහු එක්වූයේ එලෙසිනි. 1959 දී ජනතා පත්‍රයේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ හොඳම වොලිබෝල් ක්‍රීඩකයා තේරීමේ අවස්ථාවේ දී ද චාල්ස් සම්මානය හිමිකර ගත්තේය.

මේ අයුරින් 1938 සිට 1960 ගණන් දක්වා වොලිබෝල් ක්‍රීඩා පිටියේ නොමියන මතක සටහන් තැබූ ගම්පහ ටී.ඩී.එල්. චාල්ස් ක්‍රීඩකයා ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරය ඉසුලූ අතර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ ද සභාපති ලෙස විශාල සේවාවක් ප්‍රදේශයට ඉටු කෙළේය.

එදා ගම්පහ පාපන්දු සංගමයේ ද උප සභාපති ලෙස කටයුතු කරමින් චාල්ස් මහතා තමාගේ සේවය තවත් ක්‍රීඩාවක් වෙනුවෙන් කැප කර තිබීම ප්‍රශංසනීයයි. මෙවන් ක්‍රීඩකයින් වොලිබෝල් අතීතය තුළින් වර්තමානයට හා අනාගතයට උපකාර වන බොහෝ දෑ දායාද කොට තිබීම අපේ අනාගත ක්‍රීඩකයන්ගේ භාග්‍යක් ලෙස පෙන්වා දිය හැකි වේ. එසේ නම් මෙවන් විශිෂ්ට ගණයේ කුසලතා පූර්ණ අතීත ක්‍රීඩකයින්ට අප සැමගේ උපහාරය නිතැතින්ම හිමිවිය යුත්තේ එහෙයිනි.

 

චාල්ස් සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරිනි

 

 

ඡායාරූප අනුග්‍රහය -  සුසිල් රණසිංහ

Comments