අහිමි දකුණත වෙනුවට නුපුරුදු වමතින් ලොවක් දිනූ ටකාක්ස් | සිළුමිණ

අහිමි දකුණත වෙනුවට නුපුරුදු වමතින් ලොවක් දිනූ ටකාක්ස්

 

KAROLI takacs

ඔහු කැපවීමේ, අධිෂ්ඨානශීලීභාවයේ හා ඉවසීමේ අගය කියා දෙන ජීවිතයක ආදර්ශය ලොවට ඉතිරි කළ සදාකාලික අමරණීයයෙක්

‘යුද සෙබළෙක් කියන්නේ අපරාජිත මිනිසකුට. බරිස් පලොයිව් එහෙම මිනිසෙක්. පලොයිව් කියන්නේ පාද දෙකම අහිමිවී ප්‍රහාරක ගුවන් යානාවක් පදවන්න තරම් තම හැකියාවන් වැඩි වර්ධනය කළ මිනිසෙක්. සැබෑ මිනිසෙක් කියලා ඔහුට කියන්නේ ඒ නිසයි. මේ රුසියාවේ හිටපු පලොයිව් වගේ ‘රුසියෙක්’ නම් නෙවෙයි. හැබැයි ඔහු හංගේරියානුවෙක්. මේ ඔහු ගැනයි.’

අතීතයේ දී හංගේරියානු හමුදාව ලොව ප්‍රබල හමුදාවන්ගෙන් එකක් විය. එහි සිටි දක්ෂ සෙබළුන් අතරින් කැරොලි ටකාක්ස් එක් අයෙකි. 1930 ගණන්වල දී ඔහු වඩාත් කැපී පෙනෙන චරිතයක් ලෙස වැජඹුණේය. ඒ ඔහු එවකට සිටි දක්ෂතම වෙඩික්කරුවා වූ නිසාය. මේ විශිෂ්ට හැකියාව නිසා ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ඔහු ජාතික මට්ටමේ ශූරතා රැසක්ම දිනාගෙන තිබි‚.

හංගේරියානු හමුදාව පමණක් දැන හඳුනාගෙන සිය හැකියාව ලෝකය ඉදිරියේම පෙන්වීමේ සිහිනය කැරොලි නිරතුරුවම දකිමින් සිටියේය. ඒ සඳහා වන හොඳම හා එකම වේදිකාව ඔලිම්පික් ක්‍රීඩා පිටිය විය. එවකට ඔහුගේ එකම අරමුණ වූයේ 1940 දී ජපානයේ ටෝකියෝ නගරයේ පවත්වන්නට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමයි. ඔහු ඒ සඳහා වඩාත් කැපවීමෙන් හා උද්‍යෝගයෙන් යුතුව සූÞනම් වූයේය.

ටකාක්ස්ගේ ඔලිම්පික් සිහිනය එක් මොහොතකින් සුනු විසුනු විය. ඒ යුද හමුදා පුහුණුවක යෙදෙමින් සිටිය දී සිදුවූ බෝම්බ පිපිරීමකින් තමාට වඩාත් හුරු වූ දකුණත අහිමි වීමෙනි.

“ඉවරයි. ඉවරයි. මුලූ ජීවිතයම ඉවරයි. හමුදාවෙ රස්සාව කරලත් ඉවරයි. ඔලිම්පික් පදක්කම ගැන ආයෙ හිතලම ඇති ඵලක් නැහැ.” කැරොලි මනසින් කඩා වැටුණා. ඒ කඩා වැටීම උපරිම ඍණ අගය දක්වාම පහත් වුණා. එදා ඔහුට එය දැනුණේ දකුණත අහිමි වීම මුලූ ජීවිතයම අහිමි වීමක් ලෙසයි.

එම සිදුවීමෙන් කැරොලි ඉදිරියේ දෙමංසන්ධියක් විවර විය. ඉන් එක් මාර්ගයක් වූයේ සියළු දෙයින් ඉවත් වී අක්‍රීය මිනිසකු විලස මරණය තෙක් ජීවත් වීමය. දෙවැන්න වමතින් වෙඩි තබන්නට හුරු වීම ය. කැරොලි කවදත් අභියෝගවලට අභියෝගයක් වූවෙකි. ඒ නිසා ඔහු දුෂ්කර වූ දෙවැනි මාර්ගය තෝරාගත්තේය.

කැරොලි කෙටි කලක් තුළ වමතින් පිස්තෝලයෙන් වෙඩි තැබීමට ඉගෙනගෙන එහි අතිදක්ෂයකු බවට පත්විය. ඒ, ඉතාමත් දුෂ්කර පුහුණුවීම් රැසක නිරත වෙමිනි. කැරොලි මේ කැපවීම් සියල්ලම පාහේ කළේ 1940 දී ජපානයේ ටෝකියෝ හි දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම වෙඩික්කරුවා වීමටය. එහෙත් දෙවැනි ලෝක මහා යුද්ධය ඇරඹියෙන් ඔලිම්පික් තරගාවලිය අවලංගු කෙරිණි.

එහෙත් කැරොලි නොඉවසිලිමත් විය. ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව 1944 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියයි. එහෙත් ඒ වන විටත් ලෝක යුද්ධය අවසන් වී නොතිබිණි. ඒ හේතුවෙන් ඔලිම්පික් තරගාවලිය එවර ද අවලංගු කෙරිණි.

“කමක් නෑ. මගේ දක්ෂකම් ලෝකෙට පෙන්නන්න කොයි වෙලාවෙ හරි අවස්ථාවක් එයිනෙ. ඒ වෙනකම් ඉන්නවා.” කැරොලි ඉවසුවේ එලෙසිනි.

බොහෝ කාලයක් පුරා ඉවසීමෙන්, බලාපොරොත්තු සහගතව සිටි මේ අවස්ථාව කැරොලිට උදාවූයේ 1948 දී එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවැත්වුණු ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදීය. එවකට ඔහු 38 වියැති ය.

එහි දී තමාට වඩා ඛෙහෙවින් ළාබාල, අතිදක්ෂ දකුණත හිමි තරග-කරුවන් සමඟ කරට කර තරග වදිමින් මි.මි. 25 පිස්තෝලයෙන් වෙඩි තැබීමේ තරග ඉසව්වෙන් කැරොලි රන් පදක්කම දිනාගත්තේ කලක් පුරා හිතේ තිබූ බලාපොරොත්තුවක් වමතේ හුරුවෙන් සඵල කර ගනිමිනි.

ඉන් නොනැවතුණු කැරොලි 1952 දී ෆින්ලන්තයේ හෙලිසින්කි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී වමතින් වෙඩි තබා තවත් රන් පදක්කමක් දිනාගත්තේය.

“මොකක් හරි දෙයක් කරන්න තියෙන්නෙ එකම විදිහයි කියලා හිතන්න හොඳ නෑ. ඒකට තවත් මාර්ග තියෙන්න පුළුවන්. අපි කරන්න ඕන හිතලා මතලා ඒ මාර්ගය පාදගන්න එකයි. එහෙම නොවුණානම් කවදාවත් මට මේ තරම් දුරක් එන්න වෙන්නෙ නෑ.” කැරොලි තමා ආ මග ආපසු හැරී බලන්නේය.

1910 ජනවාරි 21 වැනිදා උපන් කැරොලි ටකාක්ස් 1976 ජනවාරි 05 වැනිදා අවසන් ගමන් ගියේය. ඒ නිකමෙක් ලෙස නොවේ. ඔහු කැපවීමේ, අධිෂ්ඨානශීලිභාවයේ හා ඉවසීමේ අගය කියා දෙන ජීවිතයක ආදර්ශය ලොවට ඉතිරි කළ සදාකාලික අමරණීයයකු ලෙසය.

Comments