රටට ණය නැති මියන්මාර් රූ රැජින | සිළුමිණ

රටට ණය නැති මියන්මාර් රූ රැජින

රූප රැජිනියන් ගැන කතාබහ සිදුවන මේ දිනවල මග හැර යා නොහැකි තවත් රූ රැජිනක් පිළිබඳ කතා කළ යුතුවම තිබේ. ඒ මියන්මාර් රූ රැජින ලෙස කිරුළු පැළඳි හැන් ලේ සම්බන්ධයෙනි. හැන් ලේ පසුගියදා තායිලන්තයේ ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්’ තරඟයට සහභාගී වෙමින් එම අවස්ථාව ඉතා සූක්ෂ්මව ලොවක් ඉදිරියේ මියන්මාර් හමුදා පාලනයට කණේ පහරක් ගැසීමට අවස්ථාව කර ගත්තාය.

ඇය සභාව ඇමතීමට තමාට ලැබුණු අවස්ථාව භාවිත කර සිටියේ හමුදා පාලනය හේතුවෙන් තම රටේ ජනතාව විඳින දුක ලෝකය හමුවේ ප්‍රසිද්ධ කිරීමටය. තම රටේ ජනතාවට උපකාර කරන ලෙසත්, තම රට බේරා දෙන ලෙසත් අන්තර්ජාතික ප්‍රජාවගෙන් බේරා ගැනීමටය.

ඇය සභාව අමතමින් ‘මේ කතා කරන මොහොත වන විටත් මගේ රටේ ජනතාව සිය ගණනින් මිය යමින් සිටිනවා. එලෙස රට වෙනුවෙන් දිවි පිදූ ජනතාව සිහිපත් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. යනුවෙන් පැවසුවාය. තම කෙටි අදහස් දැක්වීමේදී ඇය මියන්මාරය කෙරෙහි තම අවධානය යොමු කරන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියාය. ‘අපේ රටට උපකාර කරන්නයැයි මම ලෝකයේ සෙසු රටවලින් ඉල්ලා සිටිනවා’ යනුවෙන් අය ඍජුවම පවසා සිටියාය.

ඇයගේ මේ නිර්භීත අදහස් දැක්වීම ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර ඒ හේතුවෙන්ම ඇයට මේ වන විට යළි තම සිය රට බලා යෑමේ අවස්ථාව අහිමි වන බවක්ද පෙනී ගොස් තිබේ. ඇය පවසා ඇත්තේ තමාට හමුදා පාලනයේ ඍජු තර්ජනවලට මුහුණ දීමට සිදුවී තිබෙන බැවින් දැන්මම සිය රට බලා යෑමේ අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි. තවත් මාස තුනක් පමණ තායිලන්තයේ ගත කර පසුව තම රටට යෑමට තමා අපේක්ෂා කරන බවද හැන් ලේ පවසා තිබේ.

මේ වන විටත් මියන්මාර ජනතාව අඛණ්ඩව හමුදා පාලනයට විරුද්ධව විරෝධතා පවත්වමින් සිටින අතර මේ වන විට හමුදාව විසින් නිරායුධ පුද්ගලයන් 550කට අධික පිරිසක් මරා දමා ඇතැයි වාර්තා වේ.

Comments