
මිනිසා නුවණින් ඉතා උසස් යැයි, තාක්ෂණයෙන් ඉතා දියුණු යැයි සිතා සිටි නමුදු කොවිඩ් වසංගතය හමුවේ ඒ සිතිවිල සියල්ල ක්ෂණයකින් අවලංගු විය. ඒ මිනිස් මොළයට වඩා දියුණු ක්ෂුද්‍ර වයිරසයක් වසරක් පුරා මුළු ලොවම පාලනය කළ බැවිනි. එවැනිම වූ තවත් සිදුවීමක් පසුගියදා සිදුවූයේ මුළු මහත් ලෝකයේ ආර්ථිකය එක මොහොතකට අවිනිශ්චිත කරමිනි. ඒ සූවස් ඇළ හරහා අති විශාල නෞකාවක් සිරවීමෙන් ලෝකයේ නාවික ගමනාගමන කටයුතුවලින් හරි අඩකට වඩා අඩාළ වීමෙනි. පුරා දින පහක් පුරා ලෝකයේ ආර්ථිකය අවිනිශ්චිත වූ අතර ලෝක තෙල් මිල ඉහළ යෑමේ සිට, ආහාර හිඟයක් ඇතිවීම වැනිවූ සිදුවිය හැකි බොහෝ ආර්ථිකමය අයහපත් ප්‍රතිඵල පිළිබඳ කතාබහ ඇතිවිය .
මේ සිදුවීම සිදුවූයේ පසුගිය විසිපස්වැනි බ්‍රහස්පතින්දා දිනයේ ය. සූවස් ඇළ දිගට යාත්‍රා කරමින් තිබූ එවර්ග්‍රීන් සමාගමට අයත් එවර් ගිවන් නෞකාව ලොව ඇති අති විශාලම නෞකා කිහිපයෙන් එකක් විය. එය ජපානයේ නිෂ්පාදිත නෞකාවක් වන අතර එවර්ග්‍රීන් සමාගම විසින් කළමනාකරණය කළද එහි හිමිකාරීත්වය පෞද්ගලික හිමිකරුවකු සතුය.
මේ අති විශාල නෞකාව දිගින් මීටර් 399.94ක් වේ. එය බහාලුම් තොගයක්ද සමඟ යාත්‍රා කරමින් තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සූවස් ඇළ අවහිර වන සේ රැඳුනේ එහි ඉදිරිපස ඇණිය සූවල් ඇලේ නැඟෙනහිර ඉවුරේ මඩ අතර සිරවීම හේතුවෙනි.
මේ හේතුවෙන් සූවස් ඇළේ නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාළ විය.
සූවස් ඇළ යනු ලෝක ආර්ථිකයට මෙතරම් බලපෑම් කළ හැකි ස්ථානයක් බව මිනිසුන් මේ දක්වා වටහාගෙන නොසිටින්නටද ඇත. කිලෝමීටර් 193ක් දිග සූවස් ඇල යනු ඊජිප්තු භූමිය දෙකඩ කරමින් ඉදිකර ඇති නෞකා ගමනාගමනය සඳහා වන සිහින් ඇළ මාර්ගයකි. මේ ඇළ මාර්ගය ඉදි වන්නේ අදින් අවුරුදු 150කට පමණ ඉහත දීය. එනම් මෙහි ඉදිකිරීම් කටයුතු 1859 දී ආරම්භ වන අතර අවසන් වන්නේ 1869දීය. ඒ සමඟම ලෝක නෞකා ගමනාගමන මාර්ගය අලුත් වන්නේ අති විශාල අමතර දුරක් යාත්‍රා කිරීමේ කටුක අවස්ථාවෙන් මිදී ආසියා මහාද්වීපය ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව යුරෝපා මහාද්වීපයේ සිට පැමිණෙන නෞකාවලට උදා කර දෙමිනි. සූවස් ඇළ ඉදි කිරීමට පෙර යුරෝපා මහාද්වීපයේ සිට පැමිණෙන නෞකාවලට ආසියා මහාද්වීපයට ප්‍රවිෂ්ට වීම සඳහා අප්‍රිකා මහාද්වීපය වටා යාත්‍රා කිරීමට සිදුවිය.
එහෙත් ඉතා නුවණැතිව සිතූ එවකට සිටී ඊජිප්තු පාලකයෝ තම රටේ සිනායි අර්ධද්වීපය ආසන්නයෙන් කිලෝමීටර් දෙසීයකට ආසන්න දුරක් විහිදෙන නෞකා ගමන් කළ හැකි තරම් ගැඹුරැති ඇළ මාර්ගයක් තැනූහ. මේ ඇළ මාර්ගය මුහුදු මට්ටමට සමාන වූ අතර එම ඇළ මාර්ගය මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද එකිනෙක සම්බන්ධ කළෙන් ලෝක නෞකා ගමනාගමන මාර්ග ඉතා විශාල වෙනසකට මුහුණ දුන්නේය.
මේ ඇළ මාර්ගයේ ගමන් ගැනීම සඳහා ඊජිප්තු රජයට ගෙවීමක්ද කිරීමට නෞකාවලට සිදුවූ නමුදු එම ගෙවීම වඩා වාසිදායක වූයේ දින ගණනක මහාද්වීපයක් වටා ගමන් කිරීමේ දීර්ඝ ගමනක් ඒ හේතුවෙන් වැළකුණු බැවිනි.
කෙසේ වුවද සූවස් ඇළ වසර ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පැවතුණු නමුදු ලෝකයට එහි වැදගත්කම වැටහී ගියේ එවර් ගිවන් නෞකාව එහි සිරවුණු පසුගිය බ්‍රහස්පතින්දාවෙන් පසුව විය හැකිය. මීටර් 399ක් දිග නෞකාව මීටර් 400ක් පළලැති ඇළ මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන අන්දමින් සිරවිය. ප්‍රථමයෙන් නෞකාව ඉවතට ඇද ගැනීමට නොයෙක් උත්සාහයන් දැරුවද ඒ සියල්ල අසාර්ථක විය. ඒ සමඟ බැකෝ යන්ත්‍රයක් යොදමින් නෞකාවේ ඇණිය සිර වී ඇති මඩ තට්ටුව ඉවතට ඇද දැමීමට බලධාරීන් උත්සාහ දැරූ අතර ඒ අන්දමින් මඩ ටොන් 20000ක් ඉවතට ඇද දැමූ බව ප්‍රකාශ විය. එහෙත් නැව සාමාන්‍ය ගමන්මඟට ගැනීමට හැකියාව ලැබුණේ නැත. නැවේ පුරවා ඇති බහාලුම් ඉවත් කිරීමකින් තොරව නැව සාමාන්‍ය ගමන්මඟට ගැනීම අපහසු බව දින තුනකට පමණ පසු ප්‍රකාශ වූ අතර එසේ බහාලූම් තවත් නැවකට පැටවීමද අපහසු බව ප්‍රකාශ විය. ඒ වන විට සූවස් ඇළේ ගමන් ගැනීමේ අරමුණින් පැමිණි නෞකාවලින් ඇළ මාර්ගය පිරී යමින් තිබිණි.
ආසියා මහාද්වීපයට මෙන්ම යුරෝපා මහාද්වීපයට සාමාන්‍ය පරිදි මෙතෙක් සිදුකෙරුණු භාණ්ඩ ප්‍රවාහනය අඩාළ විය. මේ භාණ්ඩ ප්‍රවාහනය අඩාළ කිරීමට කොවිඩ් වසංගතයට පවා හැකියාවක් ලැබුණේ නැත. එහෙත් සුවස් ඇළ මාර්ගය මේ මහාද්වීපවල ජනතාවගේ දෛනික අවශ්‍යතා සැපයීම ගැටලුවක් බවට පත් කරන්නට විය. බොර තෙල් ප්‍රවාහනය අඩාළ වූ බැවින් ලෝකයේ බොරතෙල් මිල ඉහළ යෑමේ බියක් පැතිර ගියේය. දෙපසට ගමන් කිරීමේ අරමුණෙන් නවතා තිබූ නෞකා සංඛ්‍යාව 300ක් දක්වා ඉහළ ගියේ මහාද්වීප දෙකේ රටවල ආහාර අවශ්‍යතා සම්පාදනයේද ගැටලු ඇතිවීමේ බියක් ඉතිරි කරමිනි. ඇතැම් නෞකා බලාසිටීමෙන් තොරව අප්‍රිකා මහාද්වීපය වටා යාත්‍රා කිරීම ආරම්භ කළ නමුදු ඒ වන විටත් සූවස් ඇළ දිගේ පැමිණි නෞකා යළි ගමන් කිරීමටද නොහැකිව බලා සිටින්නට විය. මේ ඇතැම් නෞකාවල සතුන් පටවා සිටි අතර නියමිත දිනට ගමන අවසාන කළ නොහැකිව ආහාර අහිමිවීමෙන් මේ සතුන් මිය යෑමේ තර්ජනයක් ඇති විය.
නෞකාව සිර වීමෙන් පස්වැනි දිනය එනම් පසුගිය සඳුදා දිනය වන විට නෞකා ඇදීමට යොදා ගන්නා ‘ටග්’ යාත්‍රා දහයක් යොදා ගනිමින් බහාලූම්ද සහිතව නෞකාව සිරවී තිබූ මඩ තට්ටුවෙන් ඉවතට ඇද ගැනීමට සුවස් ඇළ මාර්ගයේ බලධාරීහු සමත් වූහ. ඒ වන විට එවර් ගිවන් නෞකාව හේතුවෙන් සමස්ත ලෝක ආර්ථිකය දිනකට ඩොලර් බිලියන 9ක පාඩුවක් ලබමින් තිබිණි.
යළිත් නිසි මාර්ගයට පිවිසි එවර් ගිවන් යළි තම ගමන ඇරඹුවේ ඒ සමඟ ගමන් ගැනීමට බලා සිටි සෙසු නෞකා 300කට පමණ යළි තම ගමන යෑමට අවස්ථාව ලබා දෙමිනි.