ඊශ්‍රායලයේ ශක්තිමත් රජයක් පිහිටුවීමට බැරි ඇයි? | සිළුමිණ

ඊශ්‍රායලයේ ශක්තිමත් රජයක් පිහිටුවීමට බැරි ඇයි?

 

වසර දෙකක් ඇතුළත පැවැත්වූ සිවුවැනි මැතිවරණයද අවසන් වූයේ ඊශ්‍රායලය තුළ ශක්තිමත් රජයක් පිහිටුවීමට නොහැකි බව තහවුරු කරමිනි.මෙවරද කිසිඳු දේශපාලන පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍යවන බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීමට අසමත් විය. ඒ අනුව ශක්තිමත් රජයක් ලබා ගැනීම සඳහා වසර දෙකක් තුළ පැවැත්වූ සිවුවැනි මැතිවරණයද අසාර්ථක වී ඇත්තේ ඊශ්‍රායලය දේශපාලන උගුලක පටලවමිනි.

ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ හෙවත් ‘නෙස්සෙට්‘ හි සමස්ත ආසන සංඛ්‍යාව 120කි. බහුතර බලය ලබා ගැනීම සඳහා එම ආසන සංඛ්‍යාවෙන් දිනා ගත යුතු ආසන සංඛ්‍යාව 61කි. එහෙත් මෙවරද ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ රාශියෙන් එකද පක්ෂයක් හෝ එම සංඛ්‍යාව දිනා ගැනීමට සමත් වූයේ නැත.

හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ලීකුද් පක්ෂය ඉදිරියෙන් සිටියද ඔහුටද ලබා ගැනීමට හැකිවී ඇත්තේ ආසන 52ක් පමණි. ඒද ඔහුගේ දක්ෂිණාංශික මිත්‍ර පක්ෂ රැසක දායකත්වය ලබමිනි. ලීකුද් පක්ෂය තනිව ලබා ගත් ආසන සංඛ්‍යාව 30ක් පමණි. එහෙත් එම ආසන 30 තනි පක්ෂයක් ලබාගත් වැඩිම ආසන සංඛ්‍යාව වීමද වැදගත් කරුණකි.

තනි පක්ෂයකට හෝ අවම වශයෙන් සන්ධානයකට වුවද ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වීම සාකච්ඡාවට බඳුන් විය යුතු කරුණකි. ඊශ්‍රායල් දේශපාලනය මෙසේ අස්ථාවර වීමට සැබෑ හේතුව කුමක් විය හැකිදැයි මේ දිනවල විචාරකයන්ගේ මතවාදයට බඳුන් වී තිබේ.

ඊශ්‍රායලය යනු දීර්ඝ ඉතිහාසයක් සහිත රටක් නොවේ. සැබවින්ම එය කල්ලතෝනි රටකි. එනම් ඊශ්‍රායලය යනු අනුන්ගේ ඉඩම්වල බලෙන් පිහිටවූ රටකි. දෙවැනි ලෝක යුද්ධයෙන් යුදෙව් ජාතිකයන් දරුණු අසාධාරණයකට ලක්වූ බව සැබෑය. එම අසාධාරණයට පිළියම් ලෙස ඊශ්‍රායලය බිහිවූ බවද සැබෑය.

එහෙත් එසේ බිහිවූයේ පෘථිවි තලය මත නොසිඳෙන කඳුළු උල්පතක් මවමිනි. ඊශ්‍රායලය බිහිවීමේදී පලස්තීනයට සිදුවූ අසාධාරණය හේතුවෙන් මුළු මහත් අරාබි ලෝකය යුදෙව්වන් සමඟ අප්‍රසාදයට ලක්වූයේ අරාබි ලෝකයේ කට මුල ඊශ්‍රායලය තනි කරමිනි.

එහෙත් ඇමරිකාවේ මිත්‍රත්වය සමඟ තමන්ගේම ශක්තියත් තනිව එහෙත් ස්ථවාරව රැඳී සිටීමට ඊශ්‍රායලයට හැකියාව ලබා දුන්නේය. ආරම්භයේදී එරට ජනතාව සතුවූයේ තමන් ලද භූමිය ස්ථාවර කර ගැනීමය. ඒ හා බැඳුණු අරමුණු තුළින් ශක්තිමත් නායකත්වයක් ජනතාව වෙත හිමි විය.

අද වන විට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකිව පසුවන නෙතන්යාහුගේ ලීකුද් පක්ෂය කලක් එරට ශක්තිමත්ම දේශපාලන පක්ෂය විය. එරට පැරණිතම දේශපාලන පක්ෂ අතරින් එකක් වන ලීකුද් පක්ෂය රටට බිහි කළ රාජ්‍ය නායකයන් රාශියකි.

1977 වසරේදී ලීකුද් පක්ෂය ජයග්‍රහණය ලැබුවේ අති විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඒරියල් ෂැරෝන් ලීකුද් බිහි කළ විශිෂ්ට නායකයෙකි. 1999දී එමුඩ් බරාක්ට පරාජය වුවද වර්තමාන අගමැති බෙන්ජමින් නෙතන්යාහුද ලීකුද් පක්ෂයට ප්‍රබල නායකත්වයක් ලබා දීමට සමත් වූ රාජ්‍ය නායකයෙකි.

අද වන විට බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට හෝ සන්ධානයක් ගොඩනගා ගැනීමට එවැනි අතීතයක් සහිත පක්ෂයකට නොහැකි වී තිබීම අති විශාල දේශපාලනමය කඩාවැටීමක් මිස අන් කිසිවක් නොවේ.

2021 මාර්තු 24 පැවති මැතිවරණයට තරග වැදුණු පක්ෂ සංඛ්‍යාව 21කි. මෙහි විශේෂත්වය වන්නේ මේ පක්ෂ සියල්ලම ආසන පහක් හෝ හයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුව හෙවත් ‘නෙස්සෙට්‘ නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීමය.

මේ පක්ෂ 21 අතර ජාතික ලිබරල්වාදී ලීකුද් පක්ෂය මෙන්ම, දක්ෂිණාංශික, වාමාංශික, ඔර්තඩොක්ස්, අරාබි, ජාතිකවාදී මෙන්ම ආගම්වාදී පක්ෂද වේ. මේ මහා වරණය අතර ජනතාව තම කැමැත්ත ඉතා සංකීර්ණ ලෙස බෙදා හරින අතර එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ එක් පක්ෂයකට හෝ බහුතර ආසන සංඛ්‍යාව ලබා ගැනීමට නොහැකි වීමය.

කෙසේ වුවද මේ මැතිවරණය බොහෝ දෙනා සලකණු ලැබුවේ නෙතන්යාහු සම්බන්ධව ඉදිරිපත් වූ ජනමතවිචාරණයක් වශයෙනි.

ඔහුට දිගින් දිගටම දේශපාලන බලය පවත්වාගත හැකිද යන්න විමසා බැලෙන මැතිවරණයක් ලෙස මේ මැතිවරණය සලකණු ලැබීය.

වසර දෙකක් පුරා පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වා ගැනීමට නෙතන්යාහු අසමත් වූ අතර ඔහුට සහය දීමට ප්‍රමාණවත් පක්ෂ සංඛ්‍යාවක් දිනා ගැනීමටද ඔහු අසමත් වූයේය. එවැනි වාතාවරණයක් යටතේ මේ මැතිවරණය පැවති නමුත් මෙවරද බහුතර බලය දිනා ගැනීමට නෙතන්යාහු සමත් වූයේ නැත. ඒ අනුව දැන් ඊශ්‍රායලය දේශපාලන වියවුල්කාරී වාතාවරණයක පවතින බව පැහැදිලිය.

බොහෝ විචාරකයන් මේ තත්ත්වය පෙන්වාදුන්නේ දශකයකට පමණ පසු ඊශ්‍රායලය මුහුණ දී සිටින දැවැන්තම දේශපාලන අර්බුදය ලෙසිනි.

මෙසේ වීමට ප්‍රධාන හේතුව ලෙස දැකිය හැකි වන්නේ ජනතා මතය ඉතා සංකීර්ණ ලෙස බෙදී පැවතීමය. ඊශ්‍රායලය නිදහස් මතවාද වෙත වේගයෙන් ගමන් කරමින් සිටින අතර ඊට සාපේක්ෂව අන්තවාදයට එරට දේශපාලනය තුළට රිංගා ගනිමින් සිටින බව පෙනේ.

මේ සියල්ල අතර දෝලනය වන ජනතා මතය අවසන් වී ඇත්තේ කිසිවකුට ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමි කරමිණි. මේ තත්ත්වය මත කඩා වැටෙන්නේ රට මිස අන් කිසිවක් නොවන බව ජනතාවට තේරුම් යනු ඇත්තේ තවත් කල් ගතවීමෙන් පසුවය.

ඒ කෙසේ වුවද දක්ෂ, බුද්ධිමත්, නිදහස් මතවාදී ජනතාවක් වෙසෙන රටකට විධිමත් පාලනයක් ලබා දී විශ්වාසය දිනා ගැනීමට අසමත් නම් එම නායකයන් තමන් අසමත් බව පිළිගෙන තරගයෙන් ඉවත් වීම ප්‍රථමයෙන්ම කළ යුතුය.

මේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නෙතන්යානු ජනතාවගේ සිත් දිනා ගැනීමේ උපරිම උත්සාහයක නිරත වූ බවද කිව යුතුය. ඔහු විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ ආරක්ෂාව සැලසීමට උපරිම උත්සාහ දරමින්, එන්නතකරණ වැඩපිළිවෙල සඳහා මූලිකත්වය ගනිමින් කටයුතු කළ අතර තමන් තම ජනතාවට සේවය කිරීමට උපරිමයෙන් කැපවන බවත්, තමන් සතුව නිවැරදි වැඩපිළිවෙලක් පවතින බවත් ජනතාවට පෙන්වා දීමට ඔහු උපරිම වෙහෙස දැරුවේය. එහෙත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය පෙන්වා දෙන්නේ ඔහු ගත් ඒ උත්සාහයෙන් එතරම් පලක් වී නොමැති බවය.

Comments