
CRISTIANO ronaldo
මට නුඹ වැලඳ ගැනීමට නොහැකි වීම දුකකි
මැඩෙයිරා හි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මෙවැනි වාර්තාවක් බිඳ හෙළීම මම කිසි දිනෙක සිහිනෙන්වත් නොසිතූ දෙයක්.
පාරමිතා නම් ඉන්දියා, ශ්‍රී ලංකා, එංගලන්ත යැයි විශේෂණය කරන්නට නොහැකිය. පාරමිතා කවර තැනක, කවර රටක, කවර තැනැන්තකු සිදුකළද එය පාරමිතාවකි. ලෝකයේම සුප්‍රකට පරංගියා ලෙසින් සැලකිය හැකි පාපන්දු ශූර රොනාල්ඩෝ ද පාරමිතා පුරන්නෙකි. ලේ, ඇට මිදුළු දන් දෙන්නට සෑම මොහොතකම ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින්නෙකි. මේ ඔහු ගැන අලුත්ම කතාවකි.
කෙනෙක් තම සිරුරේ කොටසක් දන් දෙන්නේ නම් එය මහා පාරමිතා ගුණයකි. එහෙයින් රොනාල්ඩෝ නමැති බෞද්ධයකු නොවන මිනිසා පුරන්නේ පරංගි පාරමිතාවක් විය හැකිය. මේ ඔහුගේ ජයග්‍රහණයක් ගැන කතාවකි.'
සැබැවින්ම පරංගියා යැයි කියන්නේ පුරුතුගීසිකාරයන්ටය. පුරුතුගීසී හෝ පෘතුගීසි වේවා එයින් අරුත් ගැන්වෙන්නේ ඔවුන්ගේ භාෂාවට අනුව 'ෆ්‍රී මෑන්' නැතහොත් 'නිදහස් මිනිසා' යන්නය. නිදහස් මිනිසුන් නිවහල්
මිනිසුන් ගැන ලෝකය පුරා කතා බහක් ගොඩනැඟුණේ ලෝක යුද්ධවලට පසුව සුපිරි ප්රජාතන්ත්රවාදය ලොව පුරා ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටි කාලයේය.
එහෙත් පරංගීන් නිදහස් මිනිසුන් වූයේ වසර හය හත්සීයකට පෙර සිටමය. මේ නිදහස් මිනිසුන් අතර වර්තමාන ලෝකයේ ප්‍රචලිත පෘතුගීසිකාරයා රොනාල්ඩෝ ය. රොනාල්ඩෝ නිකම්ම නිකං පෘතුගීසිකාරයෙක් නොවේ. ඔහු අමුතු ආකාරයේ පෘතුගීසිකාරයෙකි.
ඒ තමා උපයන මුදලින් සැලකිය යුතු කොටසක් දනට, පිනට ලබාදෙන හෙයිනි. එයින් ද දානය ඔහු අවසන් කරන්නේ නැත. ඔහු තම ලේ හා ඇටමිදුළු දන් දෙයි. ඒ වෙනුවෙන් කටයුතු කරන හෙයින්ම ඔහු තමන්ගේ සිරුරේ පච්ච කොටාගෙනද නැත.
අප එසේ කියන්නේ සාමාන්‍යයෙන් පාපන්දු ක්‍රීඩකයන් පච්චකරුවන් වූවාට ඔහු එම ගණයට අයත් නොවන්නේ ඇයි දැයි කියන්නටය. පසුගියදා ඔහු පාපන්දු ලෝකය තුළ අලුත් වාර්තාවක් තැබුවේය. ඒ සුප්‍රකට පාපන්දු විරුවා සේ සැලකෙන පේලේගේ වාර්තාවක් බිඳ දමමිනි. බෝධිසත්ත්ව ගුණොපේත රොනාල්ඩෝ ගැන යළි කෙටියෙන් විමසා බැලීමට එය හේතුවක් විය.
වෘත්තීය පාපන්දු තරගයන්හි දී රැස් කළ ගෝල වාර්තා බිඳ දැමීම ගැන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෙලේ සුබපැතුවේය.
පෘතුගීසි පාපන්දු තරුවක් වන
ක්‍රිස්ටියානෝ රොනා-ල්ඩෝ, ජුවෙන්ටස් වෙනු-වෙන් ගෝල ත්‍රිත්වයක් ලබා ගනිමින් 3-1 ක් ලෙස ‘සෙරී ඒ’ තරගාවලියේදී කැග්ලියාරි කණ්ඩායම පරාජය කිරීම සමඟ එම වාර්තාව පිහිටුවාලීය.
මේ ගෝල ත්‍රිත්වයත් සමඟින් පේලේගේ ලෝක වාර්තාව අභිභවා යමින් සිය වෘත්තීය ක්‍රීඩාදිවියේ ගෝල 770 ක් රැස් කිරිමට රොනාල්ඩෝට හැකිවිණි.
"මැඩෙයිරා හි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මෙවැනි වාර්තාවක් බිඳ හෙළීම මම කිසි දිනෙක සිහිනෙන්වත් නොසිතූ දෙයක්. විශිෂ්ට පේලේගේ වාර්තාව අභිබවා යමින්, ලෝකයේ වැඩිම ගෝල් ලකුණු ලැයිස්තුවේ ඉහළින්ම සිටින්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මේ ඉලක්කයට ළඟා වීම නිසා මම ප්‍රීතියෙන් හා ආඩම්බරයෙන් පිරිලා ඉන්නේ." යනුවෙන් රොනාල්ඩෝ පවසයි.
'දැනට 80 හැවිරිදි වියේ පසුවන බ්‍රසීලියානුවන් බිහිකළ ශ්‍රේෂ්ඨතම පාපන්දු තරුව වන පෙලේ ස්වකීය අනුගාමිකයන් මිලියන 5.8 ට ඉන්ස්ටග්‍රෑම් හි මෙසේ ලියා ඇත: “නිල තරගවලදී මගේ ඉලක්ක පිළිබඳ වාර්තාව බිඳ දැමීම ගැන සුබපැතුම්. මම ඔබව බොහෝ සේ අගය කරනවා. ඔබ ක්‍රීඩා කරන ආකාරය නැරඹීමට මා කැමතිය. මෙය කිසිවෙකුට රහසක් නොවේ. මගේ එකම කනගාටුව වන්නේ අද ඔබව වැළඳ ගැනීමට නොහැකි වීමයි. ක්‍රිස්ටියානෝගේ ජීවිතය යනු තනි පියාසර ගමනකි. සෑම කෙනෙකුම තමන්ගේම ගමනක් යයි. ඔබ ගමන් කර ඇත්තේ කෙතරම් සුන්දර ගමනක්ද?
ලෝක කුසලාන තුනක් දිනාගත් ඉතිහාසයේ එකම ක්‍රීඩකයා වන පේලේ, නිල නොවන තරග ඇතුළුව සමස්තයක් ලෙස ගෝල 1,283 ක් රැස් කර ඇතැයි ප්‍රකාශ කළේ.
රොනාල්ඩෝගේ පියා මිය ගියේ අධික මත්පැන් පානය හේතුවෙන් හටගත් සිරෝසීස් රෝගය හේතුවෙන් අක්මාවේ ඇතිවූ රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙනි. එවිට රොනාල්ඩෝගේ වයස යන්තමින් අවුරුදු විස්සක් විය. ඒ හේතු-වෙන් තමන් මත්පැන් පානය නොකරන බව රොනාල්ඩෝ පවසා තිබුණේය. කෙසේ නමුත් ඔහු වරක් මත්පැන් පානය කර සිටි බව ප්‍රසිද්ධ පුවත්පතක් මඟින් සිදුකළ අනාවරණයක් හේතුවෙන් සියල්ලන්ගේම අවධානය ඒ වෙත යොමුවිණි.
බන්දුල ජයමාන්න










