බල්ගේරියාවේ උපන් මහමෙරක් බර උසුලන් රටවල් දෙකක් දිනවූ ‘තුර්කි කොටා’ | සිළුමිණ

බල්ගේරියාවේ උපන් මහමෙරක් බර උසුලන් රටවල් දෙකක් දිනවූ ‘තුර්කි කොටා’

 

NAIM suleymanoglu

 

‘උස් මිටිකම් වෙනස් කළ හැක්කේ අධිෂ්ඨානයටය. අධිෂ්ඨානය පාර කියන්නේ සාර්ථකත්වයටය. සාර්ථකත්වය යනු පතළ කීර්තියයි. ඔහු උපන්නේ ‘කොටකු’ ලෙසය. කොටා යනු උසින් අඩු මිනිසකු ය. කොටා පසු කලෙක තුඟුතුල් මිනිසකු ලෙස විකසනය වූයේය. ඔහු රටවල් ද්විත්වයක් දිනවන මිනිසෙක් වූයේය. ලෝකය තුළ පතළ කීර්තියක් හිමිකරගත් මිනිසෙක් වූයේය. මේ ඒ බල්ගේරියානු කොටාගේ තුර්කි විජයග්‍රහණයේ කථාන්තරයයි. ඔබටද එය ආදර්ශයක් වනු ඇත.’

බලගේරියාවේ පතල් කම්කරුවකු වූ තුර්කි ජාතිකයකුගේ හා බිරියගේ ඉහේ මලක් පිපුණේ 1967 ජනවාරි 23 වැනිදාය. ඒ, එදින ඔවුන් බොහෝ පියකරු, හුරුබුහුටි පුතකු ලද නිසාය. ඔහු නයිම් සුලෙයිමනොග්ලු නම් විය. උපත සිදුවූයේ බල්ගේරියාවේ කාඩ්සාලි පළාතේ ටිචාර් ගම්මානයේදී ය.

නයිම් වයස සමඟින් ළඟාවීමට නියමිතව තිබූ නිසි උස ප්‍රමාණයට වර්ධනය වූයේ නැත. ඔහුගේ උස අඩි 4 යි අඟල් 10 කි. එනම් මේ උසෙන් පසු ඔහුගේ උස යෑම නතර විය. මේ තත්ත්වයට බලපෑ මූලික හේතුව වූයේ ඔහුගේ මවගේ උස ද අඩි 4 යි අඟල් 7 ක් වීම විය හැක. උසින් අඩු වූ නයිම්ට හිමිවූයේ තරබාරු පෙනුමකි. ඔහුගේ ගමන ද තරමක් ‘අමුතු’ ය.

නයිම් පාසල් ගමන ඇරඹීය. නමුත් මේ ගමන ඔහුට කිසිසේත්ම මිහිරි අත්දැකීමක් වූයේ නැත. ඔහුගේ අසාමාන්‍ය උස හා අසාමාන්‍ය ගමන පදනම් කරගෙන ඒ පාසලේ ළමයින් නයිම් ට කළ උසුළු විසුළු නිසා ය. ඔවුන් නයිම් ඇමතුවේ ඔහුගේ නමින් නොව ‘තුර්කි කොටා’ ලෙසිනි. බොහෝ අවස්ථාවලදී ඔහු උස මහත සිසුන්ගේ ගුටි බැට හා අඩන්තේට්ටම්වලට ද ලක්විය.

“අනේ අම්මෙ, මට නම් කියන්න එපා ඉස්කෝලෙ යන්න කියලා. මේ විදිහට අපහාස විඳ විඳ ගුටි කකා ඉස්කෝලෙ යනවාට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්න එක.” දවසක් නයිම් එසේ කීවේ දැඩි කලකිරීමෙනි.

“පුතේ, ඔයා මේක තේරුම් ගන්න. අනෙක් අය කරන දේවල් නවත්වන්නවත් අනෙක් අයගෙ කටවල් වහන්නවත් අපිට බැහැ. පුළුවන් තරම් ඉවසන්න පුරුදු වෙන්න. ඒ අයත් එක්ක ප්‍රශ්න ඇතිකර ගන්න එපා. අපි හැමෝම ළඟ මොකක් හරි දක්ෂකමක් තියෙනවා. ඔයාටත් ඒ වගේ දක්ෂකමක් ඇති. ඒක මොකක්ද කියලා හඳුනගන්න. ඒ දක්ෂකම දියුණු කරගෙන ඉදිරියටම යන්න හිතට ගන්න. හොඳට මතක තියාගන්න, අද ඔයාට විහිළු කරන අය, අපහාස කරන අය, හිරිහැර කරන අය එදාට ඔයාට ඉහළින්ම ගෞරව කරයි. ඒකෙ සැකයක් නැහැ. එහෙම වෙනවා වෙනවාමයි.” මව පුතුගේ කඩාවැටුණු සිත නඟාසිටුවූවා ය.

අම්මාගේ මේ කතාවෙන් නව පණක් ලැබූ නයිම් දිනපතාම පාසල් ගියේ ඔහුට එල්ල වූ අපවාද, අපහාස තඹයකට හෝ මායිම් නොකරමිනි. එමෙන්ම තමන්ට දියුණු කරගත හැකි හපන්කම ගැන නිරතුරුවම සිතන්නට ද ඔහු අමතක කළේ නැත.

උසින් අඩු වුව ද නයිම්ගේ සිරුර බොහෝ ශක්තිමත් ය. කෙනෙකුට පහසුවෙන් එසවිය නොහැකි බරැති කළුගල්, ගස්වල බරැති කඳන් ඔහු එසවූයේ කිසිදු අපහසුවකින් තොරව ය. වයසින් වැඩි වත්ම මේ බර එසවීමේ හැකියාව තව තවත් දියුණු විය.

“මගේ මේ හැකියාවත් එක්ක මට හිතෙනවා බර ඉසිලීමේ ක්‍රීඩකයෙක් වෙන්න.” අම්මා කියූ ලෙසින් නයිම් තමාට යහපත් අනාගතයක් ගොඩනංවා ගැනීමට ඉවහල් වන මාර්ගය තෝරාගත්තේය. එකැන් පටන් ඔහු ඇප කැප වූයේ ලෝකයේම අවධානය හිමිවන බර උසුලන ක්‍රීඩකයකු වන්නට ය.

මේ අතර 1980 ගණන්වලදී බල්ගේරියානු රජය ඒ රටේ ජීවත්වන සියලුම සුළු ජාතීන් වෙත නිවේදනයක් නිකුත් කළේය. එයින් කියවුණේ සුළු ජාතීන් සැවොම තම නම් බල්ගේරියානු භාෂාවට සරිලන ලෙස වෙනස් කරගත යුතු බවය. ඒ අනුව නයිම් සුලෙයිමනොග්ලු ‘නවුම් ශලමනොව්’ බවට පත්විය.

ඔහු බල්ගේරියාව නියෝජනය කරමින් 1985 හා 1986 වසරවල ඉදිරිපත් වූ බර ඉසිලීමේ තරගවලින් රන් පදක්කම් 2 ක්ද, 1983 දී රිදී පදක්කමක් ද එරටට හිමිකර දුන්නේය. 1988 දී තුර්කිය බලා ගිය නයිම් ඒ වර්ෂයේදී සියෝල් හි පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් ද, 1992 දී බාසිලෝනා හිදී හා 1996 දී ඇට්ලන්ටා හිදී පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිවලට ඉදිරිපත්ව රන් පදක්කම් දිනාගනිමින් තුර්කියට ජාත්‍යන්තර කීර්තියක් උරුම කර දෙන්නට සමත් විය.

මේ හැරුණු විට තුර්කිය නියෝජනය කරමින් බර ඉසිලීමේ අන්තර්ජාතික තරගවලට සහභාගි වී ලෝක ශූරතා රන් පදක්කම් 5 ක්ද, යුරෝපීය ශූරතා රන් පදක්කම් 2 ක්ද, ලෝකඩ පදක්කම් 1 ක්ද දිනාගැනීමට ඔහු සමත් විය. බර ඉසිලීමේ ලෝක ශූරතා 16 ක් බිඳහෙළා ඇති නයිම්, සින්ක්ලෙයාර් ලකුණු සටහනේ අද ද ලෝකයේ හොඳම බර උසුලන්නා ය.

“මම අද මෙතැන ඉන්නෙ අම්මා එදා දීපු අවවාදය නිසයි. ඒ අවවාදය පිළිගන්නෙ නැතුව මම මගේ උස ගැන දුක් වෙවී හිටියා නම් මට අනාගතයක් නැහැ. මම ඉදිරියට යන්න තෝරගත්ත මාවතේ පුළුවන් තරම් දුරක් ගිය නිසයි අද ලෝකයේ සිටින හොඳම බර උසුලන ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් වෙලා ඉන්නේ.” ඒ නයිම්ගේ ජයග්‍රහණයේ රහස ය.

නයිම් හට ගෞරවයක් ලෙස පැරගුවේ රාජ්‍යය ඔහු වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත් කළේය. 2017 නොවැම්බර් 18 වැනි දින තුර්කියේදී ඔහු දිවියෙන් සමුගත්තේ සිරෝසීස් රෝගයට ගොදුරුවීමෙනි.

 

නඳුන් අමන්ද

මනමේන්ද්‍ර ආරච්චි

 

Comments