ජන සිත පිනවූ පොර පොල් කෙළිය | සිළුමිණ

ජන සිත පිනවූ පොර පොල් කෙළිය

 

‘ජන ක්‍රීඩා අතර පොර පොල් කෙළිය කියන්නේ බොහෝම අපූරු ක්‍රීඩාවක්. එහි

නියැළුණේ කණ්ඩායම් දෙකක්. උතුර හා දකුණ කියලා පිල් දෙකකට බෙදිලා පොර පොල් ගැසීම කළා. මේ ඒ පොර පොල් කෙළිය ගැන.’

ගඟෙන් ඉහළ, ගඟෙන් පහළ එහෙම නැත්නම් උඩු පිල, යටි පිල වශයෙනුයි මේ කණ්ඩායම් දෙක හැඳින්වෙන්නෙ. ඇත්තටම කියනවා නම් මේ ක්‍රීඩාව ආගමික ක්‍රීඩාවක් විදිහටත් සැලකෙනවා. මෙය පත්තිනි දෙවියන් වෙනුවෙන් කරන ආගමික ක්‍රීඩාවක් විදිහට හඳුන්වන්නේ ඒ නිසයි. බෝ වන රෝග ව්‍යාප්තව ඇති සමයේ කෙරෙන මෙම කෙළියේදී උඩු පිල දිනූයේ නම් රෝගය තව දුරටත් පවතින බව ගම්වැසියන් පිළිගත්තා. පොල් ගෙඩිය සැලකුවේ ජලය වගේම සශ්‍රීකත්වයේ සංකේතය විධිහටයි.

පොල් වට්ටඩියා කියලා කිව්වේ පොර පොල් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායමේ මූලිකයාටයි.

දැන් මේ ක්‍රීඩාව කරන්න නම් ඕගොල්ලෝ කරන එක පළමුව ඉරක් ගහලා දෙපැත්තේ කණ්ඩායම් දෙක ස්ථාන ගත කරන්න ඕනෑ. කණ්ඩායම් දෙක ඉන්නේ ඒ ඒ කණ්ඩායමේ නායකයාගේ පිටිපස්සෙයි. දැන් යටි පිලේ මූලිකයා උඩු පිලට පොලයක් දමා ගසනවා. එවිට උඩු පිලේ අයෙක් එක අතකින් හෝ දෑතින්ම අල්ලාගත් පොලයකින් එසේ එවන පොලී ගෙඩිය පිළිගන්නවා. ඒ පොලය බිඳෙන තුරු ඔහු මෙලෙස යටි පිලේ පොලයට වාර කීපයක් වුව මුහුණ දෙන අතර, යම් හෙයකින් පොලය බිඳුණහොත් අලුත් පොලයකින් ප්‍රතිවාදියාට අභියෝග කරන්න පටන් ගත යුතුයි. දෙපාර්ශ්වයේ තියෙන පොල්වලින් ඉක්මනින් පොර පොල් අවසන් වුණු පිල තමයි පරාජිත පිල වෙන්නේ.

හැම පොලයම පොර පොල් නොවේ. දැන් අපිට පොල් තිබුණු පළියට පොර පොල් ගහන්න බෑ.ඒකට තෝරාගන්නේ කටුව ගනකම් පොර පොල් විශේෂයක්. දිගැටි පෙනුමක් ඇති පොර පොල් ගෙඩියේ පොල් ලෙල්ලේ පවා විශේෂ ශක්තියක් ඇතැයි සැලකෙනවා. ඒ වගේම තමයි පොලයේ ඇහැටිය හා පහටිය කියලා. දෙ‍ෙකළවර හඳුන්වනවා. මැද කොටසේ නාරටි තුනෙන වෙන්වූ කොටසට කියන්නේ ‘බළ’ කියලායි.

කටුව ගන සිවියකින් එහෙමත් නැත්නම් තුනී සිවි කීපයකින් සෑදීලා තියෙනවා නම් තමයි මේ ක්‍රීඩාවට පොර පොල් තෝරාගන්නේ. දැන් වතුර අඬන හඬ අනුව තමයි සුදුසුම පොල් හඳුනාගන්නේ. වතුර අඬන්නේ සෙමින් නම් කියන්නේ පොර පොල් ගෙඩියේ කටුව ගනකම් කියායි.

දැන් පොර පොල් කොයිම මොහොතකවත් ගසින් කඩාගෙන පදම් කරන්නෙ නෑ. පොර

පොල් මුලින්ම ගස්වලින් වැටෙන්න ඕනෑ. ඊට පස්සේ තමයි ඒවා ක්‍රීඩාව වෙනුවෙන් උපයෝගි කරගන්නෙ. මේ ආකාරයේ පොර පොල් ගෙඩි වැඩිපුරම මාතර සහ දෙවුන්දරින් තමයි සොයා ගන්න හැක්කේ. හැබැයි තංගල්ලෙත්, ගාල්ලෙත්, කොළඹ බත්තරමුල්ල ප්‍රදේශය, වත්තල, මෝදර, වේයන්ගොඩ ආදී ප්‍රදේශවලත් මේවා පැතිරිලා තියෙනවා.

පොර පොල් කියන්නේ වටිනාකම වැඩි යැයි සැලකෙන පොල් විශේෂයක්. සාමාන්‍යයෙන් කෑමට භාවිත කරන ‘නිපොල්’ වලට වඩා ඉහළින් සලකන පොල් වර්ගයක් තමයි පොර පොල් කියන්නේ. ඒ නිසා පොර පොලයක් ළඟ නිපොල් තිබ්බොත් පහසුවෙන් බිඳින්න පුළුවන් බව ජනශ්‍රැතිය තුළ කියැවෙනවා. මේ හින්දමද කොහෙද කොයි වෙලාවෙවත් පොර පොල් නිපොල් ළඟ තියන්නේ නෑ.

පොර පොල් ක්‍රීඩාව තවදුරටත් කියවමු..

කුසුමා අබේසිරිගුණවර්ධන

Comments