
නව සියවසේදී තම රට සංචාරක කර්මාන්තයෙන් ආදායම් ඉපදවීමේ සවුදි රජ පවුලේ බලාපොරොත්තුව ඉටු කර ගැනීමේ තවත් පියවරක් ඉදිරියේදී ගැනීමට නියමිතය. ඒ ලෝකයේ මේ දක්වා පැවතී නැති අරුම පුදුම මහාමාර්ගයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ වීමයි. මේ මාර්ගය සම්බන්ධව අවසන් තීරණවලට මේ දිනවල පැමිණෙමින් සිටින බව වාර්තා වේ. සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අදහසක් අනුව මේ මාර්ගය ඉදිරියේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිතය.
මේ මාර්ගය මෙතෙක් ලොව කිසිදා ඉදි කර නොමැති අන්දමේ මාර්ගයක් බව එහි සැලසුම් අධ්‍යයනය කළ ඉංජිනේරුවන්ගේ අදහස වී තිබේ. සවුදි රජයට අයත් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොමැති සහරා කාන්තාරයේ කිලෝමීටර් 120ක් දක්වා පැතිර යන සේ මේ මාර්ගය ඉදි කිරීමට යෝජිතය.
දැනට නිම කර ඇති සැලසුම් අනුව මේ මාර්ගය තට්ටු තුනකින් සමන්විතය. එහි මතුපිට තට්ටුව මෝටර් රථවාහන සඳහා තහනම් වේ. එය පදිකයන් සඳහා පමණි. එහි අවට පරිසරය උද්‍යාන සහ හරිත ගස්වැල්වලින් සමන්විත වීමට නියමිත අතර පදිකයන්ට අවශ්‍ය අවන්හල්, සාප්පු සංකීර්ණ ඇතුළු තවත් පහසුකම් මේ මාර්ගයේ මතුපිට තට්ටුවේ ඉදි කිරීමට නියමිතය.
මාර්ගයේ දෙවැනි තට්ටුවේ හෙවත් මතුපිට තට්ටුවට යටින් දිවෙන තට්ටුවේ අන්තර්ගත වනු ඇත්තේ මතුපිට තට්ටුවට අවශ්‍ය කරන යටිතල පහසුකම් සැපයීම් ඇතුලු නඩත්තු කටයුතුය. එය සේවා සැපයීම සඳහා පමණක්ම වෙන් කිරීමට නියමිතය. මතුපිට තට්ටුවේ ඇති සියලු අවන්හල්, කඩ සාප්පු සඳහා අවශ්‍ය විදුලිබලය, භාණ්ඩ ඇතුලු සියලු සේවා මේ දෙවැනි තට්ටුවේ සිට සැපයෙනු ඇති අතර මතුපිටට ඒ කිසිවක් දැක ගැනීමට හෝ අවස්ථාවක් නොලැබෙනු ඇත්තේ මතුපිට තට්ටුවේ සුන්දරත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙනි. එමෙන්ම මේ දෙවැනි තට්ටුව ඉතා කාර්ය බහුල වීමටද නියමත බව පැවසෙන්නේ මතුපිට තට්ටුවේ සිට සෑම පුද්ගලයෙකුටම විනාඩි පහක් තුළ පා ගමනින් ගමන් කර ළඟා විය හැකි දුරකින් සියලු පහසුකම් ලබා දීමට යෝජනා වී ඇති බැවිනි.
දෙවැනි තට්ටුවට යටින් ඉදිකිරීමට නියමිත තුන්වැනි තට්ටුව වෙන් වනු ඇත්තේ පරිවහන කටයුතු සඳහාය. එහි මාර්ග තුනක් අන්තර්ගත වනු ඇති අතර එක් මාර්ගයක් පෞද්ගලික මෝටර් රථ සඳහාත්, දෙවැනි මාර්ගය අධිවේගී දුම්රිය සඳහාත්, තුන්වැනි මාර්ගය අනාගතයේදී ඇතිවිය හැකි ‘හයිපර්ලුප්’ වැනි අධිවේගී ප්‍රවාහන පද්ධති භාවිතයට පැමිණි පසු එවැනි පද්ධතියක් සඳහාත් වෙන් කිරීමට නියමිතය.
මේ වන විට සහරා කාන්තාරයේ මේ මාර්ගය ඉදි කිරීම සඳහා යෝජිත ඉඩම් විමසා බලා ඇති අතර ඒ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ‘හුවායිතත්’ නම් ගෝත්‍රික ජනතාව 20,000ක ගේ ජනහගණයකින් යුක්ත ප්‍රදේශයකි. එම ගෝත්‍රිකයන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට යෝජනා වී ඇති අතර, මේ වන විටත් එම ජනතාව ඒ සඳහා විරෝධතා දක්වමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම මේ මාර්ගයේ සැලසුම් අධීක්ෂණය කළ ඉංජිනේරුවන්ගෙන් ඇතැමුන් එම ඉදිකිරීම් සඳහා ප්‍රායෝගික ගැටලු මතුවනු ඇති බව පෙන්වා දී තිබේ.
උදාහරණයක් ලෙස මාර්ගයේ මතුපිට තට්ටුවේ විනාඩි පහක පා ගමනකින් පසු සියලු සේවා ලබා ගැනීමට මේ මාර්ගය භාවිත කරන්නන්ට හැකියාව ලැබෙනු ඇති බව පැවසූවද එවැනි ආසන්න දුර සීමාවන්හි ඉදිකිරීම් කිරීම සහ ඒවා පවත්වාගෙන යාම එතරම් ප්‍රායෝගික නොවන බව ඇතැම් ඉංජිනේරුවන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම තවත් ගැටලු මතු කර ඇති අවස්ථාවක් ලෙස අධිවේගී ප්‍රවාහන මාධ්‍ය හඳුනාගෙන තිබේ. එනම් මේ මාර්ගයේ ලෝකයේ පවතින අධිවේගීම ප්‍රවාහන මාධ්‍යය ඇති කිරිමට සවුදි බලධාරීන්ට අවශ්‍ය වුවද එය එතරම් පහසු කටයුත්තක් නොවන බව හඳුනාගෙන තිබේ. දැනට ලෝකයේ ඇති වේගවත්ම ප්‍රවාහන මාධ්‍ය ලෙස යුරෝපයේ සහ චීනයේ ධාවනය වන අධිවේගී දුම්රිය හඳුනාගෙන තිබේ. එහෙත් ‘හයිපර්ලූප්’ වැනි මාධ්‍යයක් ඔස්සේ මේ මාර්ගයේ ප්‍රවාහන කටයුතු සිදු කිරීමට සවුදි බලධාරින්ට අවශ්‍ය වී ඇති අතර, දැනට හයිපර්ලූප් එතරම් වේගවත් බවක් අත්හදාබැලීම් මගින් හඳුනාගෙන නොමැත. ආචාර්ය බ්‍රැන්සන්ගේ වර්ජින් සමාගමේ අත්හදා බැලීම් යටතේ හයිපර්ලූප් ලබාගෙන ඇති වේගය පැයට කිලෝමීටර් 170ක් පමණි. එයද මගීන් විරහිතවය.
මේ අනුව මේ අපූරු මාර්ගයේ ඉදි කිරීම් අභියෝගාත්මක වනු ඇති නමුදු එය අත්හැර දැමීමට කිසිදු අදහසක් සවුදි බලධාරින්ට නොමැත. ඔවුන් සවුදිය විසි එක්වැනි සියවසේ ආශ්චර්යය කිරීමට තීරණය කර අවසන් අතර, ඒ සඳහා සැබැවින්ම කැපවෙමින්ද සිටිති. එබැවින් ලෝකයේ සෙසු රටවලටද අනාගතයේදී ගොඩගසා තිබූ සවුදි තෙල් සල්ලි මත සහරාවේ අපූරු ලොවක් මැවෙන අන්දම බලාගත හැකි වනු ඇත.