වරින් වර කතාබහට ලක්වන මොකක්ද මේ බුර්කාව | සිළුමිණ

වරින් වර කතාබහට ලක්වන මොකක්ද මේ බුර්කාව

ලොව පුරා රටවල් 28ක බුර්කාව තහනම්

බුර්කාව අපේ රටේ වරින්වර මතුවී කතාබහට ලක්ව යළිත් යට යන මුස්ලිම් කාන්තා ඇඳුමකි. මේ වන විට යළිත් බුර්කාව වැඩි දෙනෙකුගේ මාතෘකාව බවට පත්ව තිබේ. මුස්ලිම් කාන්තාවන් තම නිවෙස්වලින් ඉවතට යෑමේදී ඔවුන්‌ගේ මුහුණු සහ හිසද ආවරණය කර ගන්නා අතර එහිදී හිස පමණක්ද, හිස සහ මුහුණ පමණක්ද, සම්පූර්ණ සිරුරද යනුවෙන් විවිධාකර වේ. එලෙස හිස ආවරණය කර ගන්නා අන්දම අනුව ඔවුන්‌ගේ භාවිත කරන ඇඳුම් හිජාබ්ය, නිකාබය සහ බුර්කාව යනුවෙන් වර්ගීකරණය කර දැක්වේ. හිජාබයෙන් හිස පමණක්ද, නිකාබයෙන් හිස සහ මුහුණද ආවරණය කර ගන්නා අතර දැනට ලොව පුරා ගැටලු මතු කර ඇති බුර්කාවෙන් මුස්ලිම් කාන්තාවන්ගේ මුළු සිරුරමද ආවරණය කෙරේ. 

මුස්ලිම් කාන්තාවන්ගේ හිස ආවරණය කර ගැනීමේ සංස්කෘතියේ ඉතිහාසය විමසූ විට පෙනී යන්නේ එය බයිසෙන්තියානු අධිරාජ්‍ය යුගය දක්වා අතීතයට විහිදෙන බවයි.

බයිසෙන්තියානු සංස්කෘතියේ පැවති කාන්තාවන් හිස වැසීමේ සම්ප්‍රදාය මුස්ලිම් ආක්‍රමණත් සමග මුස්ලිම් සංස්කෘතියටද උකහා ගන්නට ඇති බව විශ්වාස කෙරේ.

කෙසේ වුවද භූගෝලීය සාධක වශයෙන් ගත් කළ මුස්ලිම් ආගම ආරම්භ වූ සහ වැඩි වශයෙන් පැතිරී ගිය මැද පෙරදිග සහ මධ්‍යධරණී කළාපයේ පවතින අධික සූර්ය රශ්මියද මෙසේ මිනිස් සිරුර දැඩි ලෙස ආවරණය කර ගැනීමට මිනිසා පොළඹවන්නට ඇතැයි සිතිය හැකිය.

මුස්ලිම් කාන්තාවන් පමණක් නොව මැද පෙරදිග අරාබි රටවල මුස්ලිම් පිරිමින්ද තම සමස්ත සිරුරද, හිසද ආවරණය වන ඇඳුම් විලාසිතා අනුගමනය කරන බව සිහිපත් කර දිය යුතුය.

යුරෝපා ජනතාව හිරු රැස් සොයා තම සිරුර නිරාවරණය කරන විට, ආසියා ජනතාව අධික දහදිය හේතුවෙන් කපු ඇඳුමින් සැරසෙන විට, උසුලා ගත නොහෙන දැඩි හිරු රැසට සම පිච්චෙන බැවින් මැද පෙරදිග ජනතාව හැකිතාක් තම සිරුර ආවරණය කර ගත් බව පැහැදිලිය.

එහෙත් මෙවැනි භූගෝලීය සංස්කෘතික සාධක අනුව හැඩගැසුණු මිනිස් ඇඳුම් පැළඳුම්, චාරිත්‍ර වාරිත්‍ර විකෘති වීම ආරම්භ වන්නේ මිනිසාගේම අන්තනෝමතික කටයුතු හේතුවෙන් බව කිව යුතුය. උදාහරණයක් ලෙස මුස්ලිම් අන්තවාදය දැක්විය හැකිය. මුස්ලිම් පමණක් නොව ඕනෑම ආගමක අන්තවාදය යනු ප්‍රතික්ෂේප කළ යුතු දෙයකි. ආගමක් පමණක් නොව කිසිදු ක්‍රියාවක්, විශ්වාසයක්, ඇදහීමක් අන්තවාදී වූ විට එහි බිහිවන්නේ විකෘතියකි.

මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳ ඉතිහාසය විමසන විට පෙනීයන්නේ ඔවුන් අතීතයේ වැඩි වශයෙන් හිජාබ් සහ නිකාබ් ඇඳුම්වලට ප්‍රිය කළ බවය.

එහෙත් විසිවන සියවසේ අග දශක දෙකක පමණ කාලයකදී ලොව පුරා හිස එසවූ මුස්ලිම් අන්තවාදී සංවිධානවල බලපෑම මත බුර්කාවද ලොව පුරා වේගයෙන් පැතිර ගිය බවද දැකගත හැකිය.

අදටත් ලොව පුරා පවතින නොයෙක් මුස්ලිම් නිකායන්වලට අයත් කාන්තාවන් නොයෙක් අන්දමෙන් තම හිස ආවරණය කරගනු දැකගත හැකිය. බෝරා මුස්ලිම් ආගමික කාන්තාවන් හිස ආවරණය කර ගන්නේ තම ඉඟ දක්වා උසකින් යුත් වර්ණවත් සායක් වැනි යමක් පැළඳීමෙනි. ඔවුන් කළු පැහැයෙන් සැරසෙන්නේ නැත.

කන්ද උඩරට රාජධානිය පැවති සමයේ සිට අප රටේ වෙළෙඳාමට මුස්ලිම් ජනතාව එක්වූ අතර සේද මාවත දිගේ ඔවුන් පැමිණි ගමනේදී ශ්‍රී ලංකාවද තම ප්‍රබල වෙළෙඳ මධ්‍යස්ථානයක් කර ගත් බව පැහැදිලිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් තරමටම ඉතිහාසයක් හිජාබ් සහ නිකාබ් සඳහා පවතින බවත් සෙසු රටවල මෙන්ම කාලානුරූපව බුර්කාව භාවිතයට පැමිණි බවත් නිගමනය කළ හැකිය. 

මෙලෙස බුර්කාව භාවිතය වැඩි වන විට එයට විරෝධයද වැඩි වන්නට වූ අතර ලොව පුරා විවිධ රටවලින් බුර්කාවට විවිධ ප්‍රතිචාර හිමිවන්නට විය.

මේ අතරින් ඇතැම් රටවල් බුර්කාව තහනම් කිරීමට කටයුතු කළ අතර, ඇතැම් රටවල බුර්කාව තහනම් වී ඇත්තේ ඇතැම් ප්‍රදේශවල පමණි. ඒ කෙසේ වුවද බුර්කාව තහනම් කිරීමේ අතීතය 2010ට පෙර අතීතය දක්වා දිව යන්නේ නොමැති තරම්ය. එයට හේතු කිහිපයක් පැවතිය හැකිය. එනම් මෑත කාලීනව මුස්ලිම් අන්තවාදය වර්ධනය වී ඇති බවත්, එයට සාපේක්ෂව මුස්ලිම් අන්තවාදය පිටු දැකීමේ වැඩපිළිවෙල වර්ධනය වී ඇති බවත්ය. එමෙන්ම අතීතයේ අන්තවාදයක් නොමැතිව මුස්ලිම් ජාතිකයන්ද නිදහසේ ජීවත් වූ බවත්, ඔවුන්ට දැඩි ලෙස තම මුළු සිරුරම අවරණය කර ගැනීමේ අවශ්‍යතාවක් නොවූ බව හෝ නීති පැනවීම අවශ්‍ය නොවූ බවය. මේ සියල්ලම අපට පැහැදිලි කර දෙන්නේ කාලය මිනිස් සමාජයේ බොහෝ දේ වෙනස් කරමින් පවතින බවය.

බුර්කාව භාවිතය තහනම් කර ඇති රටවල් රැසකි. රටවල් බුර්කාව තහනම් කිරීමට හේතු විමසා බැලීමේදී පෙනී යන්නේ ඒ සෑම රටක්ම කිසියම් අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් හේතුවෙන් පීඩාවට පත්වූ පසු මෙවැනි තීරණයක් ගෙන ඇති බවයි.

කැමරූන් රාජ්‍යය බුර්කාව තහනම් කිරීමට නීති ගෙන එන්නේ 2015 වසරේදීය. එසේ කිරීමට ආසන්නතම හේතුව වූයේ බුර්කාවලින් සැරසෙමින් තම අනන්‍යතාව සඟවාගත් කාන්තාවන් දෙදෙනෙකු සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකි. එම ප්‍රහාරයෙන් කැමරූන් වැසියක් 13 දෙනෙකු මරණයට පත්වූ පසුව එරට තුළ බුර්කාව පැළඳීම තහනම් කිරීමට එරට රජය කටයුතු යෙදීය.

බටහිර අප්‍රිකාව භීතියට පත් කරමින් සිටින බොකෝ හරාම් අන්තවාදී සංවිධානය හේතුවෙන් පීඩාවට පත්ව සිටින චැඩ් රාජ්‍යය බුර්කාව තහනම් කිරීමට 2015දී නීති ගෙන ආවේය. ඒ බොකෝ හරාම් ත්‍රස්තවාදීන් බුර්කා හැදි කාන්තාවන් විශාල ලෙස යොදා ගනිමින් රටපුරා ප්‍රහාර දියත් කිරීමෙන් පසුවය. 2015 මැයි මස කොංගෝ ජනරාජයද බුර්කාව තහනම් කරන්නේ තම රටතුළ සිදුවන අන්තවාදී ක්‍රියා මැඩලීමේ ක්‍රමවේදයක් වශයෙනි. 2015දී ගැබොන් රාජ්‍යය කාන්තාවන් මුහුණු ආවරණය කිරීම තහනම් කරන්නේ පොදු ස්ථානවලට අදාළ වන පරිද්දෙනි.

2017 ජනවාරි මස ගැබොන් රාජ්‍යය බුර්කා තහනම් කරන්නේ නිකම්ම නොවේ. බුර්කා අලෙවියද ඒ සමගම තහනම් කරමිනි. සියලු ව්‍යපාරික ස්ථානවලට ලිපි ලැබෙන්නට සලස්වන්නේ බුර්කා නිපදවීම, ආනයනය කිරීම සහ අලෙවිය සම්පූර්ණයෙන් තහනම් කරමිනි.

එපමණක්ද නොව බුර්කා පවතින්නේ නම් ඒ තොග පැය 48ක් ඇතුළත ඉවත් කළ යුතු බවටද ගැබොන් රාජ්‍යය තම වැසියන්ට දන්වා සිටින්නේය.

ආසියාවේ බුර්කා තහනම් කර ඇති රටවල් අතර චීනය සහ ඉන්දියාවද, ඇෆ්ගනිස්ථානය මෙවැනි නීති පැනවීම ආරම්භ කර ඇත්තේ එරට තුළ තලේබාන් සංවිධානය බලවත් වීමෙන් පසුව සිදුවූ අන්තවාදී ක්‍රියා හේතුවෙනි. චීනයේ බුර්කා තහනම් වන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ක්ෂින්ජිං ප්‍රදේශය තුළය. එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බලපාන පරිදි මේ නීතිය පනවා ඇති අතර සෙසු ප්‍රදේශවලට බුර්කාව තහනමක් නැත. එයට හේතුව රටේ සෙසු ප්‍රදේශවල සංචාරකයන් මිස මුස්ලිම් ජනතාව අවම නිසා විය හැකිය.

ඉන්දියාවේ 2011 දී සිදුකළ ජනසංගණනට අනුව මුස්ලිම් ජනගහණය සියයට 14.2කි. එවැනි ප්‍රතිශතයක් සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අපහසු වී තිබුණද නීතියෙන් ඉන්දියාව තුළ බුර්කාව තහනම්ය.

ඊශ්‍රායෙල්, තජිකිස්ථාන් සහ සිරියා යන රටවලද බුර්කාව තහනම් වුවද ඒ රටවල ජනතාව විවිධ අවස්ථාවලදී බුර්කා භාවිත කරති.

එහෙත් යුරෝපයේ බුර්කාව තහනම් කළ රටවල එම නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඔස්ට්‍රියාව,බෙල්ජියම, බල්ගේරියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ලැට්වියාව, මෝලටාව, නෙදර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය, ස්වීස්ටර්ලන්තය, එක්සත් රාජධානිය, යන යුරෝපා රටවල මෙන්ම ඔස්ට්‍රේලියාව සහ කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තය තුළද බුර්කාව තහනම්ය.

මේ බොහෝ රටවල් බුර්කාව තහනම් කර ඇත්තේ තම රටවල් වරින්වර මුහුණ දුන් අන්තවාදී ක්‍රියාවල ප්‍රතිඵල හේතුවෙනි. විශේෂයෙන්ම ප්‍රංශය මුස්ලිම් අන්තවාදයත් සමග ප්‍රභල ගැටුම් ඇතිකරගෙන සිටින අතර ප්‍රංශය තුළ මුස්ලිම් අන්තවාදීහු එරට රජයට ප්‍රබල තර්ජන එල්ල කරමින් සිටිති.

කෙසේ වුවද තම අඳුම වුවද අනෙකාගේ නිදහසට තර්ජනයක් නම් එය දෙවරක් සිතා බැලිය යුතු තත්ත්වයකි. මෙහිලා ගැටලුව ඇත්තේ මුස්ලිම් කාන්තාවන්ගේ හිස් ආවරණය කිරීමේ සම්ප්‍රදාය තුළ නොව එය අවභාවිත කිරීම තුළ බව මුස්ලිම් ආගමිකයන්ද වටහා ගත යුතුය. මිනිස් වර්ගයා ලෙස සියලුම ආකාරයේ අන්තවාදයන් ප්‍රතික්ෂේප කිරීම තුළින් අප ආරක්ෂා කර ගන්නේ මිනිස් වර්ගයාගේම නිදහස බවද සිහිපත් කළ යුතුය.


‘අබායා අනිවාර්ය නැහැ’ සවුදි කුමරු කියයි

සවුදි කාන්තාවන්ට තම සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ අඳිනු ලබන ‘අබායා‘ ඇඳුම අත්‍යවශ්‍ය නොවන බව එරට ඔටුන්න හිමි බින් සල්මාන් කුමරු පවසා සිටියේය. ඔහු මේ බව පවසා සිටියේ ඇමරිකාවේ රූපවාහිනී නාලිකාවක් වන සීබීඑස් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

අබායා යනුවෙන් මෙහිදී කුමරා අදහස් කර ඇත්තේ මුස්ලිම් කතුන් තම සිරුර වැසෙන සේ අඳින දිගු කළු පැහැති ඇඳුමය. කුමරා මෙහිදී හිස වැසීම සම්බන්ධව අදහසක් පවසා නැතැයි අනුමාන කළ හැකිය. සවුදි කතුන් හිස වැසීම අනිවාර්යයෙන් කළද නොයෙක් පැහැ ඇඳුම්වලින් සැරසී සිටිනු සුලබව දැක ගත හැකිය.

කෙසේ වුවද කුමරා එම සාකච්ඡාවේදී පවසා ඇත්තේ සවුදි කතුන්ට තමන් ඇඳිය යුතු ඇඳුම තීරණය කිරීමේ නිදහස හිමි විය යුතුය. කුමරාගේ මේ ප්‍රකාශය පුදුමයට කරුණක් නොවන්නේ ඔහු ඉදිරියේ තම රට සංචාරක පුරයක් බවට පත් කිරීමේ අරමුණ සහ එහි යටි පෙළ ලෝකය හොඳින් දන්නා නිසාය.

Comments