මියන්මාර් ජුන්ටාවේ මර්දනය ඉහළට | සිළුමිණ

මියන්මාර් ජුන්ටාවේ මර්දනය ඉහළට

ට තුළ ප්‍රදේශ කිහිපයක හමුදා නීතිය පනවමින් ජනතාව පාලනය කර ගැනීමට මියන්මාරයේ හමුදා ජුන්ටාව උත්සාහ දැරුවද මේ වන විටත් ජනතාවගේ විරෝධතා මර්දනය කිරීමට හැකියාවක් ලැබී නැත. පසුගිය සති අන්තයේ පමණක් විරෝධතාකරුවන් සියය ඉක්මවා මරා දැමීමට හමුදා පාලනය කටයුතු කර තිබේ. එසේ වුවද එම මරා දැමුණු පුද්ගලයන්ගේ අවමගුල් උත්සව පවත්වමින්, ඒවාද විරෝධතාවයේ කොටසක් ලෙස පැවැත්වීමට එරට ජනතාව කටයුතු කර තිබේ.

මියන්මාරයේ සිදුවන මේ උද්ඝෝෂණ සහ ජන ඝාතන හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යළිත් වරක් නිවේදනයක් නිකුත් කර ඇති අතර, මේ අපරාධවලට එරෙහිවන ලෙස ඔහු අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මියන්මාර් විරෝධතාකරුවන්ගෙන් චීන රජය වෙතද විරෝධතා එල්ල වෙමින් පවතින්නේ හමුදා පාලනයට චීන රජයේ අනුබලය ලැබෙන බවට සැක පහළ කරමිනි. ඔවුන් චීන ඇඟලුම් කම්හලක්ද පසුගියදා ගිනිබත් කර සිටි අතර එය ඔවුන් දක්වා සිටියේ චීන රජයට විරෝධය පෑමක් වශයෙනි.

හමුදා ප්‍රහාරවලින් මියගිය අය අතර කුඩා දරුවන්ද සිටින බව වාර්තා වේ. එසේ වී ඇත්තේ විරෝධතාකරුවන් වෙත හමුදාව ඉවක් බවක් නොමැතිව එල්ල කරන වෙඩි ප්‍රහාර හේතුවෙනි. විරෝධතාකරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ සහ එම විරෝධතාවන්ට මේ වන විට නායකත්වය දෙමින් සිටින්නේ එරට සිසුන් වන අතර එම සිසුන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ භීතිකාවක්ද මේ වන විට ජනතාව අතර පැතිර යමින් තිබෙන බව වාර්තා වේ.

එහෙත් හමුදා වෙඩි ප්‍රහාර මධ්‍යයේ වුවද විරෝධතාවන්ට එක් වෙමින් මියන්මාර් ජනතාව පවසා සිටින්නේ තමන් මරා දැමුවද තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හමුදා පාලනයට විරෝධය දක්වන බවය.

එමෙන්ම හමුදා පාලනය විසින් රට තුළ මාධ්‍ය දැඩි ලෙස මර්දනය කර ඇති නමුදු මාධ්‍යවේදීන් සුළුතරයක් විසින් තම මාධ්‍ය පවත්වාගෙන යෑමටත්, විරෝධතාකරුවන්ට සහාය දැක්වීමටත් කටයුතු කරමින් සිටිති.

Comments