සබුද්ධි හා ගැරී එකඟතාවක | සිළුමිණ

සබුද්ධි හා ගැරී එකඟතාවක

 

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් සබුද්ධි සහ ග්ලෝබල් ඇකඩමික් රිසර්ච් ඉන්ස්ටිටියුට් හෙවත් ගැරී ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹියේය. ඒ අනුව ඉදිරි ශාස්ත්‍රීය සහ පර්යේෂණ කටයුතුවලදී මෙම සබුද්ධි කවය සමඟ වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන් ම ගැරී ආයතනයට සබුද්ධි කවයෙන් මාධ්‍ය සහයෝගිතාව ලබා දීම සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යයන, සම්මන්ත්‍රණ සහ පර්යේෂණ ප්‍රකාශන මධ්‍යස්ථානයක් වන ගැරී ආයතනය ලොව පුරා සිටින විද්‍යාර්ථීන්ගේ දැනුම හුවමාරු කර ගැනීමේ සංසදයකි. එම ආයතනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති පර්යේෂණ පත්‍රිකා ගණන දහසකට අධික වේ. සිය ඩිජිටල් ශාස්ත්‍රීය පුස්තකාලය පවත්වා ගෙන යන ගැරී ආයතනයි. වන විට වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සංඛ්‍යාව දහය ඉක්මවයි. එම ආයතනය සංවිධානය කරන මීළඟ ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ වන්නේ මාර්තු 19වැනිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන සිව්වැනි තිරසර සංවර්ධන සහ සිව්වැනි සාමය, ගැටුම් කළමනාකරණය යන වැඩසටහන් වේ.

ක්‍රීඩාව, සාහිත්‍ය හා කලාව විෂයන් මූලික කරගනිමින් ක්‍රියාත්මක සබුද්ධි කවය විද්‍යාර්ථීන්, සාහිත්‍යවේදීන්, ක්‍රීඩකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළුව සබුද්ධිමත් පුරවැසියන්ගෙන් සැදුම් ලත් සංවිධානයකි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක් වෙමින් සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා පැවසුවේ අප අතර එළැඹුණු අවබෝධතාව මෙරට ජාත්‍යන්තර මූලික ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට රුකුලක් වනු ඇති බවයි. ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු වඩාත් ඵලදායි ලෙසට සාමාන්‍ය පුරවැසියාට හඳුන්වා දෙන අතර සාමාන්‍ය පුරවැසියා තුළ ද ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා ලැදියාවක් දැක්වීමට අවශ්‍ය මාධ්‍ය ක්‍රියාකාරම් ඉදිරියේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවැසීය.

මේ අවස්ථාවට එක් වූ ගැරී ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සම්පත් අබේවික්‍රම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා අන්තර්ජාතික වටිනාකමක් ලබා දීමට මෙම අවබෝධතාව මනා පිටිවහලක් වනු ඇති බවයි.

මෙහි දැක්වෙන්නේ සබුද්ධි - ගැරී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවයි. ඡායාරූපයේ වමේ සිට ගැරී ආයතනයේ අධ්‍යක්ෂ අමල් විජේනායක, කළමනාකරණ අධ්‍යක්ෂ සම්පත් අබේවික්‍රම, සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ, සභාපති ම. ප. තමීර මංජු සහ මර්ෂාඩ් බාරි යන මහත්වරු ඡායාරූපයේ වෙති.

 

Comments