
ERANGA weerasinghe
උනන්දුව, උද්යෝගය ඇත්නම් සිහිනයකින්වත් නොසිතන අපේක්ෂා ජීවිතවලට උදාකරගත හැකියි.
එරංග වීරසිංහ ද්විත්ව ක්‍රීඩාවන්ගෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඔහු පවසන කතාව තුළ ගැබ්ව ඇත්තේ ‘ක්‍රීඩාව පර්යන්තයක් කරගනිමින් අධ්‍යාපනය ගුවන් යානයක්’ බවට පත් කරගත හැකි බවයි. ජාතික තලයට පැමිණීමේ අභියෝගය කෙසේ වෙතත් ක්‍රීඩා ද්විත්වයකින් එම දස්කම කළ සුවිශේෂී ක්‍රීඩකයකු වශයෙන් ‘ක්‍රීඩා’ ඔහු හා සුහද සංවාදයක නිරත වුණේ අනාගත යොවුන් පරපුරට ඔහුගෙන් උගත හැකි පාඩම් සම්බන්ධයෙන් සලකා බලා යි.
‘මම මුලින්ම අධ්‍යාපන කටයුතු පටන් ගත්තේ ඇල්පිටියේ ශාන්ත තෙරේසා ප්‍රාථමික විද්‍යාලයෙන්. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා 1989 කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ආනන්ද විදුහලේ නේවාසිකාගාරය ඉදිරියෙන්ම තියෙන්නේ පැසිපන්දු පිටිය. හැමදාම හවස පැසිපන්දු පුහුණුවීම් බලා ගෙන හිටපු නිසා තමයි මට ඒ ක්‍රීඩාවට හිත ගියේ.’ ඔහු කීවේ ක්‍රීඩා සංස්කෘතියක බලපෑම කොතරම් ප්‍රබල ද යන්න අවබෝධ කරවන්නටය.
වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමෙන් පටන් ගෙන 19න් පහළ පාසල් පැසිපන්දු කණ්ඩායමේ නායකත්වය දක්වා මට යන්න හැකිවුණේ ඒ ආශාව නිසයි. නායකත්වය ලබමින් වසර තුනක වර්ණ ලාභියෙක් ලෙස ප්‍රථම වරට අවුරුදු 19න් පහළ ‘ඒ’ කාණ්ඩයේ සමස්ත ලංකා ජයග්‍රහණයක් ආනන්ද විදුහලට හිමිකර දෙන්න මට හැකිවුණා. ඒ තරගයේ හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩකයා විදිහට සම්මාන ලැබුණේ මට. මේ අතරේ ශ්‍රී ලංකා පාසල් පැසි පන්දු කණ්ඩායමේත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේත් නායකත්වය මට පැවරුණා. ප්‍රථම වරට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවමින් 1997 ආසියානු තරගාවලිය තමයි අන්තර්ජාතිකව මා ලබපු පළමු අත්දැකීම වුණේ.’ එරංග වීරසිංහ කීවේය.
ක්‍රීඩාවක නියැළීමෙන් අධ්‍යාපනයට කිසිදු බාධාවක් සිදුනොවන බවට ඔහු කදිම සාක්ෂියකි. ක්‍රීඩාවට සමගාමීව අධ්‍යාපනයත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට ඔහුට හැකිවිය. ඊට විශාල පිටුබලයක් ඔහුට ලබාදුන්නේ ආනන්ද විද්‍යාලයේ නේවාසික ජීවිතය ය. එබැවින් සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළත් ඉහළින්ම සමත් වීමට ඔහුට අවස්ථාව උදාවිණි. මෙකී දක්ෂතාව කොතරම් ඇගයීමට ලක්වුණේ ද යත් ආනන්දයේ සිසුවෙකුට ලැබෙන ඉහළම සම්මානය වූ ආනන්ද පද්ම සම්මානයෙන් 1997 ඔහු පිදුම් ලැබුවේය.
‘උසස් පෙළ විභාගය නිමවෙලා ලැබෙන කෙටි නිවාඩුවේ දී මගේ හිතවතෙක් එක්ක වුෂු ක්‍රීඩා පුහුණුවීම්වලට සහභාගි වෙන්න ලැබුණා. චීන සම්භවයක් ඇති මෙම ක්‍රීඩාව සටන් ක්‍රමයක් වගේම ස්වයං විනයාත්මක ක්‍රියාවලියක්. උසස් පෙළ හොඳින් සමත් වුණු නිසා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයට ඇතුළුවෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ සමඟම විශ්ව විද්‍යාලයේ පැසි පන්දු කණ්ඩායමටත් මාව තෝරා ගත්තා.’ ක්‍රීඩාව හා අධ්‍යාපනය සමබර කළ නේවාසික ජීවිතය සම්බන්ධයෙන් ඔහු එලෙස සමාජයට පණිවුඩයක් දුන්නේය. ක්‍රීඩාව හෝ අන් විෂය බාහිර ක්‍රියාකාරකම් නොකොට අධ්‍යාපනයට පමණක් කේන්ද්‍ර වන ලෙසට දරුවන්ට පවසන මව්පියන්ට එය කදිම ආදර්ශමත් පාඩමකි.
‘වුෂු ක්‍රීඩාවට ගිහින් පුංචි පුංචි දේ කරද්දී 2000 වසරේ චීනයේ හායිඩෙක් වුෂු ඇකඩමියෙන් මට මාස තුනක කාලයකට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇත්තෙන්ම එය මට හොඳ අත්දැකීමක් වගේම වුෂූ තාක්ෂණය වැඩිදුරටත් ලබා ගන්න හිමිවුණු අනගි අවස්ථාවක් වුණා.’ උනන්දුව, උද්යෝගය ඇත්නම් සිහිනයකින්වත් නොසිතන අපේක්ෂා ජීවිතවලට උදාකරගත හැකි බවට එය කදිම සාක්ෂියකි.
‘පාඨමාලාව අවසන් කරලා ලංකාවට ආපු ගමන් මට දකූණු ආසියාතික වුෂු තරගාවලියට සහභාගි ෙවන්න ලැබුණා. ඒ තරගය ජයගෙන කිලෝ ග්‍රෑම් 70 බර පන්තියෙන් වුෂු ජාතික කණඩායමේ
නායකත්වයත් හිමිකරගත්තා. මෙය ශ්‍රී ලංකා වුෂු කණ්ඩායමක් ජාත්‍යන්තර තරගයකට යන පළමු අවස්ථාව වුණා. එහිදී අවසන් පූර්ව වටයේදී ඉන්දියාව පරදවලා ජයග්‍රහණය ලබා ගෙන නේපාලය සමඟ පැවති අවසන් තරගයේදී රිදී පදක්කමක් ජයගෙන ප්‍රථම වරට ආසියානු වුෂු තරගයකින් අනු ශූරතාවය ශ්‍රී ලංකාව ලබා ගන්නවා.’ එය අපූර්ව ජයග්‍රහණයකි.
ඒ වන විට එරංග වීරසිංහ පැසි පන්දු සහ වුෂු යන ක්‍රීඩාවන් ද්විත්වයෙන්ම ජාතික තලය නියෝජනය කිරීමට සමත් වී තිබුණේය. මෙම පසුබිම යටතේ 2004 වසරේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයෙන් ඔහු සමුගන්නේ උපාධිධාරියෙකු වශයෙන් පමණක් නොව අධ්‍යාපනයෙන් හා ක්‍රීඩාව තුළින් පෑ දක්ෂතාවයන්ට අනුව වසරේ හොඳම සිසුවාට පිරි නැමෙන රන් සම්මානය ද දිනා ගනිමිනි.
‘විශ්වවිද්‍යාලයෙන් පස්සේ මට එම්.ඒ.එස්. සමූහ ව්‍යාපාරයේ පන්නල පිහිටි ස්ලිම්ලයින් ආයතනයේ රැකියාව හිමිවුණා. එතැන කාලයක් වැඩ කරද්දි කළමනාකාරීත්වයේ අනුමැතිය ලබා ගනිමින් වුෂු කණ්ඩායමක් පුහුණු කිරීම ආරම්භ කළා. ඇත්තෙන්ම මගේ කණ්ඩායම හරිම උනන්දුවකින් දෛනිකව පුහුණුවීම්වලට කැප වුණා වගේම ආයතනයෙන් උපරිම සහයෝගයක් ලබා දුන්නා. වසර එකහමාරක කැපවීමක් කරලා 2005 වසරේ ස්ලිම්ලයින් ආයතනයට වුෂු ජාතික ශූරතාවයේ රන් පදක්කම් පහක් ලබා දෙන්න මට හැකි වුණා.’ ඔහු පුහුණුකරුවකු වශයෙන් ද ස්වකීය දක්ෂතා ඉදිරියට රැගෙන ආවේ එලෙසිනි.
2006 කොළඹ පැවැත්වුණු දකූණු ආසියා තරගාවලියේ මගේ නායකත්ව-යෙන් ඉදිරිපත්වුණු වුෂූ කණඩායමට රන්, රිදී, ලෝකඩ, පදක්කම් ත්‍රිත්වයක් ලබා ගැනීමට හැකිවුණා. ඒ තරගයේ අව-සානයත් සමග මම මගේ රට වෙනුවෙන් ක්‍රීඩා දෙකකින් කළ හැකි උපරිම සේවය කරලා සමුගත්තා.’ එරංග කීවේය.
එහෙත් ඒ පූර්ණ වශයෙන් නොවේ. ඒ අනුව චීනයෙන් බිහිවූ ප්‍රශස්ත මෙන්ම භාවාත්මක ක්‍රීඩාවක් ලෙස නම් දරා ඇති චිගෝන් ක්‍රීඩාව එරංග තෝරා ගන්නේ එය වයස් සීමාවක් නොමැතිව යොමු විය හැකි මානසික හා කාය ශක්තිය වර්ධනය කරගත හැකි ක්‍රීඩාවක් වීම හේතුවෙනි. ඒ අනුව 2009 දී චීනයේ සංචාරය කර පසුව මෙරටට පැමිණ ‘ශ්‍රී ලංකා හෙල්ත් චිගෝන’ නමින් සංගමයක් ආරමිභ කරනු ලැබීය.
‘මෙම ක්‍රීඩාව කෙරෙන්නේ යම් සංගීත රිද්මයක් අනුවයි. ඇත්තෙන්ම මෙයින් කයට වෙහෙසක් දැනෙන්නේ නැහැ මනසට සුවයක් මෙන්ම ශරීරය තුළ යම් ප්‍රතිශක්තියක් වර්ධනය කරන්න ලොකු පිටිවහලක් වෙනවා. මට යම් අනුග්‍රහයක් ලැබෙනවා නම් නොමිලේ මෙම ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට පුහුණු කර අනාගතයට සුවදායී පරපුරක් බිහි කරන්න දායක විය හැකියි.’ ඔහු පවසන්නේ ය.
අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ










