මතක පොතෙන් මැකිලා යන කොදෙව් ක්‍රිකට් කතන්දරේ | සිළුමිණ

මතක පොතෙන් මැකිලා යන කොදෙව් ක්‍රිකට් කතන්දරේ

‘කොදෙව් ක්‍රිකට් හැදුණේ කොහොමද? එය ක්‍රිකට් ලෝකයේ තවමත් වින්දනීය ප්‍රතිවාදියකු වශයෙන් සලකන්නේ ඇයි? ඔවුන් ගේ ක්‍රිකට් වර්තමානය වනවිට කඩාවැටී ඇත්තේ ඇයි?’

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම ප්‍රකටව ඇත්තේ “වින්ඩීස්” කියාය. ක්‍රිකට් කවුන්සලය මගින් පාලනය වන කොදෙව් ක්‍රිකට්වල එම කණ්ඩායමට ක්‍රිඩකයින් තෝරා ගනු ලබන්නේ එම කලාපය තුළ විසිරී ඇති කැරිබියානු දූපත් 15 අතරිනි. ට්‍රිනිඩෑඩ්, බාබේඩොස්, ජැමෙයිකාව, ගයනාව, ඇන්ටිගුවා දූපත් ඉන් ප්‍රධානය. කුයින්ස් පාක් ඕවල් (පෝට් ඔෆ් ස්පේන්)ල කෙන්සින්ටන් ඕවල් (බ්‍රිජ් ටවුන්)ල සැබිනා පාක් (කිංස්ටන්)ල ශ්‍රීමත් විවියන් රිචඩ්ස් (ඇන්ටිගුවා). ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය (ග්‍රෙනේඩාව) යනු ප්‍රධාන කොදෙව් ක්‍රීඩාංගණයන්ය. කිංස්ටන්හි සැබිනා පාක් ක්‍රීඩාංගණය කොදෙව් ක්‍රිකට් ලෝලයින්ගේ “හදවත” යැයි කියනු ලැබේ.

ඉංග්‍රීසි ජාතකයින් විසින් හඳුන්වා දෙන ලදුව කොදෙව් දූපත්වල ක්‍රිකට් ක්‍රීඩා කිරීම ඇරැඹෙන්නේ 1890 ගණන්වලදීය. කොදෙව් ක්‍රිකට් කණ්ඩායම් මුලින් ම තරග කොට ඇත්තේ එංගලන්තයෙන් පැමිණි සංචාරක කණ්ඩායම් සමග ය.

කොදෙව්වන් ජාත්‍යන්තර මට්ටම කරා පැමිණීම සිදුවන්නේ 1926 දී අධිරාජ්‍යවාදී ක්‍රිකට් සමුළුවේ සාමාජිකත්වය ලැබීමත් සමඟ ය. එංගලන්තය, ඔස්ට්‍රේලියාවට සහ දකුණු අප්‍රිකාවට පසු ඔවුනට ජාත්‍යන්තර ටෙස්ට් තරග වරම් හිමි විය. ඒ අනුව කොදෙවවෝ 1928 දී එංගලන්තයට පැමිණ සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූහ. සිය මංගල ටෙස්ට් තරගය කොදෙව්වන්ට අමිහිරි සටහනක් තැබුවේ එංගලන්ත කණ්ඩායම හමුවේ ඉනිමක පරාජයක් ලැබූ නිසාය. එලෙස ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගය සඳහා කොදෙව් පිල මෙහෙයවූයේ රොබට් නන්ස් ය.

කොදෙව් ක්‍රිකට්වල පසුගිය සමයේ දක්නට ලැබුණ විශේෂත්වය වූයේ ක්‍රිඩාංගනවල පැවති “සැණකෙළි” ස්වරූපයයි. කොදෙව් ක්‍රිකට් ලෝල-යින් එරට ක්‍රීඩාංගනවල ටෙස්ට් හෝ එක්දින තරග පැවති අවස්ථාවලදී රෙගේ සහ කැලිප්සෝ සංගීතයෙන් ක්‍රීඩකයින් දිරිගන්වමින් උද්දාමයෙන් හැසිරෙති. කොදෙව් දූපත්වලින් පිටත ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සුවහසක් වූ ක්‍රිකට් ලෝලයින් කොදෙව් ක්‍රීඩකයින්ට ඇලුම් කළේ ඔවුන් පෙන්වූ උද්වේගකර හා වින්දනීය ක්‍රිකට් රටාව නිසාය. 1975 දී කොදෙව්වන් ප්‍රථම ලෝක කුසලාන දිනා ගත් විටදී ලෝඩ්ස් ක්‍රීඩාංගනය තුළත් කොදෙව් දූපත්වලත් ඇති වූ සැණකෙළි තත්ත්වය මීට කදිම නිදසුනකි. අද ක්‍රමක්‍රමයෙන් මේ තත්වය බැහැර වෙමින් ඇතැයි පෙනේ.

කොදෙව් ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන අන්දමට එරට හොඳම ක්‍රිකට් සමය නවසිය හැත්තෑව මැද භාගයේ සිට නවසිය අනූව දක්වා කාලයයි. මේ කාලය තුළ දී කොදෙව්වන් ටෙස්ට් හා එක්දින තරගවල ප්‍රබලම කණ්ඩායම ලෙස කැපී පෙනුණු අතර 1975 හා 79 දී ලෝක කුසලාන ශූරයින් සේම 1983 දී අනු ශූරයින් ලෙස ද වාර්තා පොතට නම් තැබූහ.

ක්ලයිව් ලොයිඩ් සහ විවියන් රිවඩ්ස් නායකත්වය දුන් 1980 දශකයේ දී කොදෙව්වන් කිසිවකුට නොදෙවැනි ටෙස්ට් තරග වාර්තාවකට හිමිකම් කියූහ. නවසිය අසූව දශකය තුළ දී කොදෙව්වන් තරග කළ ටෙස්ට් ගණන 83 කි. ඉන් ජයග්‍රහණ 44 කි. පරාජයන් 8 කි. ජය පරාජයකින් තොරව අවසන් වූ තරග 31 කි.

කොදෙව්වන්ගේ පසු බැසීම පෙන්නුම් කරමින් 1990 දශකයේ දී තරග 81 කින් ජයග්‍රහණය කළේ තරග 30 කි. පරාජයන් 28 සහ ජය පරාජයකින් තොරව තරග 23 කි. 2000 දශකය තුළ දී මේ පසුබෑම තවත් වැඩිය. ක්‍රීඩා කළ ටෙස්ට් තරග ගණන 69 කි. ජයග්‍රහණ 15 සහ පරාජයන් 37 කි. විසඳුම් නැති තරග 17 කි.

මෙලෙස එක්තරා යුගයක විජයග්‍රාහී ලීලාවෙන් සිය දස්කම් දක්වා ක්‍රිකට් පිටියේ ඉහළ තලයක හුන් කොදෙව්වන් මේ වන විට ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් වල පහතට ඇද වැටී ඇත්තේ හේතු කිහිපයක් කරණ කොටගෙනයග

ඊට එක් හේතුවක් ලෙස විචාරකයින් පෙන්වා දෙන්නේ නවසිය අනූව සහ දෙදාහ දශක වන විට ක්‍රිකට් තත්ත්වය ආධුනික බවින් මුදවා තිරසාර වෘත්තිය මට්ටමක් කරා ගෙන ඒමට කොදෙව් ක්‍රිකට් මණ්ඩලය අපොහොසත් වීම ය. කොදෙව් දූපත්වල පැවැති ආර්ථික පසුබෑමත් මීට හේතු වන්නට ඇතැයි යන්න බැහැර කළ නොහැකි මතයකි. කෙසේ වෙනත් 2004 දී ශූරයන්ගේ කුසලාන එක්දින ශූරතාව දිනා ගැනීමත් 2006 දී එහි අනුශූරතාව දිනා ගැනීමත් කොදෙව්වන්ට තරමක අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

මේ අතර 2005 න් පසු කොදෙව් ක්‍රිකට් මණ්ඩලය සහ කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය අතර ගිවිසුම් ගැන ඇති වූ මතහේදයත් කොදෙව් ක්‍රිකට් කඩා වැටීමට බලපෑවේය. මුල්ම අවස්ථාව ලෙස මෙහි කැපී පෙනුණේ බ්‍රයන්ලාරා සහ කාල් හුපර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිපදෙනෙකු 2004 - 05 දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් වීමයි. කොදෙව් ක්‍රිකට් මණ්ඩලය සහ අනුග්‍රාහක සමාගම් සමඟ ක්‍රීඩකයින් ඇති කර ගත් අර්බුදය එදා මහත් කතා බහට ලක් වූයේය.

එතැන් සිට එය වරින් වර ඔඩු දිව්වේය. 2009 දී සහ 2014 දී, දීමනා අනුග්‍රාහක ගෙවීම්

සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් ක්‍රීඩකයින්ගේ දස්කම් මාලාවට බෙහෙවින් බල පෑවේය. කොදෙව් ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන අන්දමට 1995 - 2015 වසර 20ක කාලය තුළදී කොදෙව්වන් ටෙස්ට් තරග 21ක් ඉනිමක පරාජයන්ට ලක් වූයේ කිසිදා සිදු නොවූ ලෙසය. 1966-1995 සමයේ දී ඔවුන් ඉනිමක පරාජයන් 4ක් පමණක් වාර්තා කොට තිබීමෙන් පෙනී යන්නේ වර්තමාන පසුබෑමේ තත්ත්වයයි.

කොදෙව් ක්‍රිකට්වල පසුබෑමට තවත් හේතුවක් වී ඇත්තේ එරට යොවුන් හා තරුණ ක්‍රීඩකයින් පැසිපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවන් සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ඇදී යාමය. ක්‍රමවත් තරග ගිවිසුම් යටතේ වැඩි මුදලක් ගෙවා උසැති කොදෙව් තරුණයින් තම රටේ ක්‍රීඩාවට ගෙන්වා ගැනීම සඳහා අමෙරිකානු ක්‍රීඩා බලධාරීන් ඉකුත් වකවානුවේ කටයුතු කළහ. මේ සියල්ලෙන් සිදු වූයේ කොදෙව් ක්‍රිකට්වලට පිරිපුන් ක්‍රීඩකයින් අහිමි වීමය.

එසේ නම් මතු දිනෙක සුපුරුදු කොදෙව් ක්‍රිකට් දැක්ම ඔවුන්ට උදා වේවිද? සැණකෙළි ක්‍රිකට් වසන්තය කොදෙව්වන් යළි මතු කරාවිද? ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සිටින්නේ මේ ගැන උනන්දුවෙනි. එහෙත් එවැන්නක් තවමත් පෙනෙන තෙක් මානයක නැති බව ද කිව යුතුව ඇත්තේ ය.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments