පෝලියෝ පොළොවේ ගසා කර්මයට දිගු නිවාඩුවක් දුන් | සිළුමිණ

පෝලියෝ පොළොවේ ගසා කර්මයට දිගු නිවාඩුවක් දුන්

 

WILMA glodean rudolph

සඳුන් හර අත මිට මොළොවා ගනිමින් උපදින වාසනාවන්තයන් ඇත. පරණ රෙදි වැරසැල්ලක්වන් අත මිට නොමොළවා උපදින්නවුන්ද එමටය. සඳුන් හර අතින් ගෙන උපන්නවුන් අතින් පසු කලෙක එය ගිලිහී යා හැකි වුවද, වැරසැල් වූ රෙදි කැබැල්ලක්වත් නොමැතිව උපන්නෝ කීප දෙනෙක් හෝ තම ජීවිතයේ මැදියම හෝ පසුයම වනවිට මිණි මුතු අබරණින් සිය ජීවිත සරසා ගනිති. එහෙත් උපතේදී භෞතික අහිමිවීම් අබියස මිනිසකුට නැඟී සිටිය හැකි ද? විල්මා ඊට කදිම නිදර්ශනයකි.’

විල්මා උපන්නේ ඉපැදීමට නියමිත කාලය සම්පූර්ණ වන්නට පෙර අඩු බරක් ඇතිවය. එහෙයින් කායික දුබලතා ඇයගේ ජන්ම දායාදයක් විය. ඒ දුබල බව නිසාම ඇය කහ උණ, නිව්මෝනියාව වැලඳී මාරාන්තිකව පීඩා වින්දාය. එහෙත් සුවය ලැබුවාය. මේ කවරකටත් වඩා ඇයගේ දිවියට එල්ල වූ මරු පහර පෝලියෝ රෝගයයි. ඉන් ඇය දැඩි ලෙස ඔත්පළ වූවාය.

“මේ රෝගය නිසා ඔයා කිසි දවසක පොළොවෙ පය ගහලා ඇවිදින්න නම් හිතන්නවත් එපා..” වෛද්‍යවරුන් කීවේ එසේය.

“නැහැ. මම කොහොම හරි නැඟීටිනවා. නැඟීටලා කොහොම හරි ඇවිදිනවා. ඇත්තටම මට එහෙම ඇවිදින්න පුළුවන් කියලා ලෝකයටම පෙන්වනවා.” යැයි විල්මා සිතා ගත්තාය. ඒ ඈ කයින් කොතරම් දුබල වුවද මනසින් නම් සිටියේ නිරෝගි බවේ උපරිමයේ නිසාය.

කිහිලි කරුවකට උර දුන් විල්මා නිවස ඉදිරිපිට ගේට්ටුව අසලට වී මහ මඟ යන එන අය දෙස බලා සිටියේ පුරුද්දටය.

“ඔයා ලොකු වෙලා මොනවද කරන්නෙ?” දන්නා හඳුනන අය ඇයගෙන් විමසූහ.

“ඔලිම්පික්වලට දුවලා පදක්කමක් දිනනවා.” ඒ සැමටම ඇය දුන්නේ මේ පිළිතුර ය. පිළිතුරට සැවොම උපහාසයෙන් සිනාසුණහ. දියණිය ලද උපහාසයන් අභිමුව මවගේ ළය කකියවන්නට විය.

“කවුරු මොනව කිව්වත් දුවව මම කොහොම හරි ඇවිද්දවනවා.” ඒ අම්මාගේ අහිංසක පැතුම වූවාය. එහෙත් ළඟම පිහිටි රෝහලේ දොර කවුළු ඔවුනට විවර වූයේ නැත. ඒ, විල්මාගේ සම ‘කළු’ වූ නිසාය.

කළු ජාතිකයන්ට වෙන් වූ රෝහලක් ගැන විල්මාගේ අම්මාට ආරංචි විය. ඒ ද ළඟ පාතක නොව කිලෝමීටර 80 කට එපිටින් වූවකි. දරුවකු වෙනුවෙන් මවකට කිලෝ මීටර්, සැතපුම් කොතරම් ප්‍රමාණයක් යාමට වුවද එය මහ දුරක් නොවේ. එහෙයින් ඇය විල්මා කැටිව එහි ගියාය. නමුත් සුවයක් නම් අහලකටවත් නාවේය.

ඒ වෙද්දී 8 හැවිරිදි වූ විල්මා හිතේ සවිය ගතට දී ඇවිදින්නට පටන් ගත්තාය. මේ උත්සා-හයේදී කිහිප වරක් ඇද වැටී තුවාල ද ලැබුවාය. එහෙත් උත්සාහය අත්නොහැරියාය. යන්තම් ඇවිද ගන්නට පුළුවන් වෙද්දී ඇයට උවමනා වූයේ දුවන්නටය. ඇය සම වයසේ දරුවන් සමඟ දිව්වාය. කෙමෙන් ඔවුන් අභිභවා ද ගියාය.

ඉනික්බිතිව පැසිපන්දු ක්‍රීඩාවේ ශූරියක වූ ඇය තරග 25 ක දී ලකුණු 834 ක් ලැබූයේ ජනපද වාර්තාවක් ද පිහිටුවමිනි. ඇයගේ වේගවත් පා චලනයන් ගැන අවධානය යොමු කළ පැසිපන්දු පුහුණුකරු ඇය කෙටි දුර ධාවනයට යොමු කරවීය.

“ඊළඟට මට ඕනැ වුණේ මලල ක්‍රීඩිකාවක් වෙන්න. ඒ නිකම්ම නිකං මලල ක්‍රීඩිකාවක් නෙ-වෙයි. ලෝකයම කතා කරන මලල ක්‍රීඩිකාවක් වෙන්නයි.” ඒ ඇයගේ ආරම්භක අරමුණ ය.

සුළු කලකින්, විල්මා උගත් පාසලේ සියලු කෙටි දුර ධාවන තරග වාර්තාවල උරුමකාරිය වූයේ ඇයය. ඉන් පන්නරය ලද ඇය පෙන්සිල්වේනියානු ජවන හා පිටිය තරගාවලියකට සහභාගී වී ඉසවු 9 ක් ජය ලැබුවාය.

විල්මාට තම ධාවන හැකියාවන් ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමේ අවස්ථාව මුල් වරට උදාවූයේ 1956 දී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වසන්ත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේදීය. එහිදී ඇය මීටර 400 සහය දිවීමේ තරගයෙන් ලෝකඩ පදක්කමකට හිමිකම් කීවාය. එකී ඔලිම්පික් තරගාවලියෙන් පදක්කමක් දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව වූයේ ඇය වීමද විශේෂත්වයකි. එවිට ඇය දහසය හැවිරිදි වියේ පසුවිණි.

විල්මා සිතූ ලෙසින්ම ඇය ලෝකයම කතා කරන ක්‍රීඩිකාවක් බවට පත්වූයේ 1960 දී රෝමයේ පැවැති ඔලිම්පික් තරගාවලියේ දී ය. එහිදී මීටර 100 ධාවන තරගයෙන් රන් පදක්කම ද මීටර 200 ධාවන තරගයෙන් රන් පදක්කම ද මීටර 400 සහය දිවීමේ තරගයෙන් රන් පදක්කම ද දිනාගත් ඈ ලොව තුළ ඇමෙරිකාවට අභිමානනීය ස්ථානයක් හිමිකර දුන්නාය. මෙය තනි ක්‍රීඩිකාවක් එක් තරගාවලියක දී ලද සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සනිටුහන් වේ.

“මට උවමනා වුණේ මම හිටපු ලෙඩ ඇඳේ ඉඳන් සෑහෙන දුරක් යන්න පුළුවන් බව ලෝකයට පෙන්වන්නයි. මොන තරම් ශාරීරික දුර්වලකම් තිබුණත් අපේ හිත ශක්තිමත් නම් අපට යන්න පුඵවන් දුරේ කෙළවරක් නෑ. ඒකට හොඳම උදාහරණය මමයි.” ඒ විල්මාගේ ජයග්‍රාහී ගමනේ පසුබිම් කතාවය.

විල්මා ක්‍රීඩාවෙන් උපයාගත් ධනය යොදවා ‘විල්මා රුඩොල්ෆ් පදනම’ පිහිටුවූවාය. එයින් ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අත හිත ලැබිණි. ඒ හැරුණුවිට නිජබිම තුළ ඇය තවත් සමාජ සේවාවන් රැසකට මුලපිරුවාය. ඒ වෙනුවෙන් නිජබිම තුළදී ඇය ලද ගරු සත්කාර අපමණ විය. වසර 2004 දී ඇමෙරිකානු රජය ඇය වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය මින් එකකි.

කොතෙක් ජය ලැබූවද ඇය පරාජය කළ එක් දෙයක් විය. ඒ පිළිකාවයි. පිළිකා රෝගය හේතුවෙන් 1994 නොවැම්බර් 12 වැනි දින ඈ දිවියෙන් සමුගත්තාය. එහෙත් ලෝකය විල්මා හඳුනන්නේ සමාජ, සංස්කෘතික, භෞතික බාධක කවරක් අභිමුව වුව නොසැලෙන අධිෂ්ඨානයෙන් ජීවිතය දිනූ ශ්‍රේෂ්ඨ මානවිකාවක ලෙසිනි.

 

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments