පාපැදිය කෙළින් කරන්නේ කොහොම ද? | සිළුමිණ

පාපැදිය කෙළින් කරන්නේ කොහොම ද?

 

‘ක්‍රීඩා’ පැත්තක් නැති රට හා ක්‍රීඩකයා වෙනුවෙන්ම ඇති ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩා පුවත්පතය. එහෙයින් නිලවරණ සටන් ඇරඹී ඇති මෙසමයේ අපට පාර්ශ්ව ඇත්තේ නැත. නිර්පාර්ශ්වීය අභිමානය භුක්ති විඳින ‘ක්‍රීඩා’ නිලවරණ හටන් වෙනුවෙන් කඳවුරු බැඳීමට සියලු පාර්ශ්වයන්ට සම අවස්ථා ලබා දෙනනේ එහෙයිනි. මේ එකී අවකාශයයි. මෙවර එම අවකාශය භුක්ති විඳින්නේ පාපැදි ක්‍රීඩාවය.

මෙවර පාපැදි සභාපති ධුරය වෙනුවෙන් එක් පාර්ශ්වයකින් එච්. එල්. ක්‍රිෂාන්ත ද අනෙක් පාර්ශ්වයෙන් බී. ජේ. සුමනසේකර ද ඉදිරිපත්ව සිටිති.

එච්. එල්. ක්‍රිෂාන්ත 90 දශකයේදී පාපැදි ක්‍රීඩාවට එක්ව සිය කුසලතා දක්වා ඇති අතර 80 දශකයේ පාපැදි ක්‍රීඩාවට එක් වූ බී. ජේ. සුමනසේකර ද දස්කම් දැක්වූ ප්‍රවීණ පාපැදි ක්‍රීඩකයෙකි. ඔවුන් දෙදෙනාම පසුගිය දා විසුරුවා හරින ලද පාපැදි පරිපාලනයේ හිටපු උපසභාපතිවරුන් දෙදෙනෙකු ද වේ. මේ ඔවුන් දෙදෙනාගේම හඬය.

ඔබ පාපැදි ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට තීරණය කළ හේතුව?

බී.ජේ.- මම 80 දශකයේ ලක්පොහොර දීප චාරිකා පාපැදි තරගයෙන් තමයි ක්‍රීඩාවට එක්වුණේ. ඒ කාලේ අපේ ක්‍රීඩකයින්ගේ දළ වේගය ලෙස කියැවුණේ පැයට කිලෝමීටර් 40 ක් ලෙසයි. දැන් දශක හතරක් විතර ගතවෙලා තිබෙනවා. ඒත් තවමත් අපේ ක්‍රීඩකයින්ගේ වේගය දියුණු වෙලා නැහැ. මේ වේගයේ නතර වෙලා ඉඳලා අපිට කවදාවත්ම ආසියානු පදක්කමක් දිනා ගන්න බැහැ. ඒ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වේගය වගේම ජවය වැඩි කරන්න සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වගේම පාපැදි ක්‍රීඩාවෙන් අපිට ආසියානු පදක්කමක් ගන්න පුළුවන් කියන හැඟීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ ඇති කිරීමට මම නායකත්වය දිය යුතුයි කියලා මට හිතුණා. ඒ අදහස පෙරදැරිව මම නිලවරණයට තරග වදිනවා.

එච්.එල්.- පැවැති පරිපාලනයේ උප සභාපති-වරයකු හැටියට මම කටයුතු කළානේ. එතැනදීත් මම පාපැදි ක්‍රීඩාවේ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ, පුහුණුකරුවන්ගේ, විනිසුරුවන්ගේ කුසලතා වැඩි දියුණු කරන්න ගත යුතු ක්‍රියාමාර්ග රැසක්ම හඳුන්වලා දුන්නා. තව අවුරුදු කීපයකින් ඒවායේ ප්‍රතිඵල ලැබේවි. නමුත් සියලු කටයුතු අවසන් කරන්න බැරි වුණා. ඉතිං ඉතිරිවෙලා තියෙන කටයුතු අවසන් කරලා පාපැදි ක්‍රීඩකයින්ටත් ප්‍රේක්‍ෂකයින්ටත් දැනෙන දෙයක් කරන අපේක්ෂාව පෙරදැරිව තමයි මම නිලවරණයට ඉදිරිපත් වන්නේ.

ඔබට මේ නිලවරණයේ දී පාපැදි සංගම් නියෝජිතයන් වශයෙන් කවර පාර්ශ්ව ද සහයෝගය දෙන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ?

බී.ජේ.- හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ මහතා තමයි අපේ පැත්තෙන් සභාපති තනතුරට ඉදිරිපත් වෙන්න හිටියේ. ඒත් එතුමාගේ කාර්යබහුලත්වය නිසා අන්තිම මොහොතේ එතුමා එයින් ඉවත් වුණා. ඒත් එතුමාගේ පූර්ණ සහයෝගය මට ලැබෙනවා. ඒ වගේම ඉතාලියේ ඉන්න කමල් පාලිත ඇතුළුව හුඟ දෙනෙක්ම මට උදව් කරන්න දැන් ඉදිරිපත් වෙලා තියෙනවා.

එච්.එල්.- හිටපු සහකාර කරුණාරත්න මහතා ඇතුළු හිටපු නිලධාරීන් කිහිපදෙනෙක්ම මට සහයෝගය දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. මම මේ නිලවරණයට ඉදිරිපත් වුණේ තරහකාරයෝ ඇතිකරගන්න නොවෙයි. ඒ නිසා මම හැම කෙනෙකුගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.

ඔබලාත් පසුගිය පාපැදි පරිපාලනයේ නිලධාරීන්. ඔබලා පැවැති පාලනය පිළිබඳ තෘප්තිමත් ද?

බී.ජේ.- ඒ සම්බන්ධයෙන් මට තෘප්තිමත් වෙන්න බෑ. ඉතිහාසයේ පළමු වරට තරඟ පාවාදීමේ චෝදනාවකට මෙරට පාපැදි ක්‍රීඩාව ලක්වුණා. විනිසුරුවන්ගෙන් මුදල් අරගෙන අවුරුදු දෙකක්ම බලපත්‍ර දීලා නැහැ. විගණනය කළ අයවැය වාර්තා කලට වේලාවට ඉදිරිපත් කරලා නෑ. ඉතිං කොහොමද මම තෘප්තිමත් වෙන්නෙ. මම නිතරම කළ යුතු නිවැරැදි දේ පෙන්වලා දුන්නා. අන්තිමේ සිද්ධ වුණේ මම තනිවෙන එක විතරයි.

එච්. එල්. – මම නම් සැබැවින්ම තෘප්තිමත්. අපි පාපැදි ක්‍රීඩාවේ දියුණුවට කළ යුතු ලොකු වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ප්‍රතිඵල දැන්ම ලැබෙන එකක් නෑ. නමුත් අනවබෝධය නිසාත් අතපසුවීම් නිසාත් අපිට වැරදුණු තැනුත් තියෙනවා. ඒ පිළිබඳව මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට බලය ලැබුනොත් ඒ වැරැදුනු තැනුත් නිවැරැදි කරගන්න මට පුළුවන්.

නිලවරණයට ඉදිරිපත් වෙලා තියෙන ඔබේ කණ්ඩායම කොහොමද?

බී.ජේ.- මගේ කණ්ඩායම උගත් බුද්ධිමත් පිරිසකගේ එකමුතුවක්. ලේකම් හැටියට ප්‍රධාන රක්‍ෂණ සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවකුවන නලින් අධිකාරිආරච්චි තරග කරනවා. විශ්‍රාමික මහ බැංකු කළමනාකරුවකු වන ගුරුගේ මහතා භාණ්ඩාගාරික ලෙස ඉදිරිපත් වෙලා තියෙනවා. විශ්‍රාමික පොලිස් අධිකාරී ප්‍රභාත්, හිටපු ලේකම්වරයකු වන නිශාන්ත පියසේන, හිටපු තේරීම් කමිටු නිලධාරියකු වන එච්. එම්. පණ්ඩිතරත්න, ප්‍රවීණ ක්‍රීඩකයින් වන චන්දන කඳනආරච්චි, සනත් නිශාන්ත යන පිරිස තමයි මගේ කණ්ඩායමට ඇතුළත්. ඔවුන් වැඩිදෙනෙක් පරිපාලන ක්‍ෂේත්‍රයේ හිටපු නිලධාරීන්.

එච්.එල්.- මට පළපුරුද්ද තියෙන හොඳ කණ්ඩායමක් ඉන්නවා. කීප දෙනෙකුටම විරෝධතා ඉදිරිපත් කරල තියෙන නිසා දැනට පැහැදිලි විස්තරයක් කියන්න අමාරුයි. මොනව වුණත් අපි හැමෝම උත්සාහ කරන්නේ පාපැදි ක්‍රීඩාව දියුණු කරන්න නම් මේ නිලවරණය අවසන් වුණාට පස්සේ අපි සැවොම එක පිලකට පැමිණිය යුතුයි.

ඔබ ජයගතහොත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන කඩිනම් ව්‍යාපෘති තිබේද?

බී.ජේ.- අපේ රටේ පාපැදි ක්‍රීඩකයින්ට ලැබෙන තරම්වත් තරග අවස්ථා ක්‍රීඩිකාවන්ට ලැබෙන්නේ නැහැ. මේ දෙපාර්ශ්වයටම වසරකදී එක හා සමාන තරග ප්‍රමාණයක් ලබා දිය යුතුයි. අවම වශයෙන් මාසයකට එකක් වශයෙන් හෝ හොඳ පාපැදි තරගය බැගින් පැවැත්විය යුතුයි. මේ වන විටත් ඒකට උදව් වෙන්නම් කියලා කීපදෙනෙක්ම මට දන්වලා තියෙනවා. තරග තිබ්බොත් තරගකාරී බව ඉහළ යනවා. එතකොට නිකම්ම ක්‍රීඩාවේ වේගවත් සංවර්ධනයක් ඇතිවේවි. මට ඕන වෙලා තියෙන්නේ මේක දුප්පතාගේ ක්‍රීඩාව කියන මානසිකත්වයෙන් ගලවලා මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට පත්කරන්නයි.

එච්. එල්.- ක්‍රීඩා විද්‍යායතනයේ පාඨමාලාවක් නැති ක්‍රීඩාවක් තමයි පාපැදි ක්‍රීඩාව කියන්නෙ. ඒ නිසා හැකි ඉක්මනින් පාඨමාලාවක් ඇති කරලා ක්‍රීඩා ගුරුවරුන් බිහිකරන්න අවශ්‍යයයි. එහෙම නැතුව පාසල් පාපැදි ක්‍රීඩාව දියුණු කරන්න බෑ. ඒ නිසා මගේ ප්‍රථම ඉලක්කය ඒ හිඩැස වහන එකයි.

හොඳයි දැන් මේ වැඩ කරන්න බලයට එන්න එපායැ. දැන් ඒ සඳහා අභියෝගය ප්‍රතිවාදී අපේක්ෂකයානෙ. ඔහු ගැන ඔබ කොහොමද දකින්නේ?

බී.ජේ.- ඔහු දක්‍ෂ ක්‍රීඩකයෙක්. හොඳ මනුස්සයෙක්. ඒත් අපි දෙන්නට අද එක පාර්ශ්වයකට ගොනුවෙන්න බැරිවෙලා තියෙනවා. මම ජයග්‍රහණය කළොත් පාපැදි ක්‍රීඩාව දියුණු කරන්න ඔහුටත් වගකීමක් භාර දෙන්න සූදානම්.

එච්. එල්. ක්‍රීඩා විද්‍යායතනයේ පාඨමාලාවක් නැති ක්‍රීඩාවක් තමයි පැපැදි ක්‍රීඩාව. ඒ නිසා හැකි ඉක්මණින් පාඨමාලාවක් ඇති කරලා ක්‍රීඩා ගුරුවරුන් බිහිකරන්න අවශ්‍යයයි. එහෙම නැතුව පාසල් පාපැදි ක්‍රීඩාව දියුණු කරන්න බෑ. ඒ නිසා මගේ ප්‍රථම ඉලක්කය ඒ හිඩැස වහන එකයි.

 සීවලී එදිරිවීර

ඡායාරූප - එස්. ආර්. කුමරේෂන්

Comments