
කතරගම යන්නට ක්‍රම දෙකක් තිබේ. එකක් දැනගෙන යාම ය. දෙවැන්න නොදැන යාම ය. දැනගෙන යනවිට මඟ වරද්දා නොගෙන යා හැකිය. එසේ නොවුණේ නම් කතරගම ගමන අතරමඟ ය.
අප එය මෙහි ලා සටහන් කළේ වත්මනේ ක්‍රීඩා අමාත්‍යාංශය එක්තරා ආකාරයක දුර ගමනක් ආරම්භකර ඇති හෙයිනි. එකී දීර්ඝ ගමන වෙනුවෙන් ක්‍රීඩා නිලවරණ පවත්වමින්, අඩුවැඩිය සකස් කරමින් කාර්ය බහුලව ඇත.
එහෙයින්ම බොහෝ දෙනෙක් ගෝනි, ගමන් මලු, ගෙදර මුළුතැන්ගෙයට අඩුවැඩිය රැගෙන එන ගෝනි මලු ආදී මෙකී නොකී මලු කරගසා ගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ එකී චාරිකාවට යාමට යැයි කියා බරටම කඩේ යමින් සිටිති.
ඇතැමුන් එසේ කඩේ යන්නේ ඉතිරි වූ මාරු සල්ලිවලට විදින්නට හැකිවන නිසාය. තවකෙක් බඩු තුණ්ඩුවට වැඩි ගණන් දමා කඩේ යාමේදී ලැබෙන මුදලින් යැපෙන්නට ඇති අපේක්ෂාවෙන් මිට එක්වී සිටිති. තවකෙක් එසේ කඩේ යන්නේ අනාගතයේ ලැබෙන සන්තෝෂම් මුදලක් පිළිබඳ අපේක්ෂා වෙනි.
ඇතැම් සංගම්වල කඩේ යන කණ්ඩායම්වලට ‘ලද පස්මල් වලින්ම’ සංග්‍රහ කරන බවද ප්‍රසිද්ධ රහසකි. ඒ ලද පස්මල් වන්නේ ඡන්දයට දිනයකට පෙර ඡන්ද හිමිකම් ලාභීහු තරු හෝටලයක නවත්වා විවිධාකාරයෙන් සන්තර්පණය කිරීමය. අල්ලස් දීමය. එකී අල්ලස් සියලු අල්ලස් ක්‍රමවේදයන්ගෙන් සජ්ජිතය.
මස් කන්නන්ට මස්ය. මාළු කන්නේ නම් මාළුය. එළවළු නම් එය පමණක් තම පතට බෙදාගන්නට හැකිය. එහෙත් එය වැඩිවශයෙන්ම දැකිය හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ය.
ආර්ථික වශයෙන් එතරම් ශක්තිමත් ලෙස මුදුන් මුල් විහිදී නැති මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන මුදලකින් අසීරුවෙන් යැපෙන සංගම් නිලවරන තුළ මෙම තත්ත්වය දක්නට නැත. එහෙත් ඒවායේ තනතුරු ලාභ බලාපොරොත්තුවන්නන්ට වෙනත් අරමුණු සමුදායක් ඇත. එකී බලාපොරොත්තු අතර කෙසේ හෝ යම් ධුරයක එල්ලී අනාගතයේ දියත් වීමට නියමිත විදේශ සංචාර කීපයකට හොට පොවා ගැනීම එවැනි කණ්ඩායම්වල ප්‍රබලම අධ්‍යාශයයි.
තවත් සමහර සංගම් නියෝජිතයන් උත්සුක වන්නේ ජාත්‍යන්තර මව් සංගමය පවත්වන වැඩමුළු, සමුළු සඳහා සහභාගි වනවිට හිමිවන දෛනික දීමනාව (ඩොලර් වලින්) හිමිකර ගැනීමය. එවැනි ගමන් වෙනුවෙන් තමන් නියෝජනය කරන දේශීය සම්මේලනයෙන්ද මඟ වියදම්වලට යැයි කියා යම් මුදලක් සාක්කුවේ ලා ගැනීමට ද ඔවුහු පසුබට වන්නේ නැත. එසේම අනුග්‍රාහකයන්ගෙන් යම් මුදලක් ලබාගෙන තම පසුම්බිය තර කරගැනීමට ද ඔවුහු අකමැති නැත.
වසරේ ජාත්‍යන්තර දින දසුනේ හැකිතරම් තරග ප්‍රමාණයක් ආවරණය කරන්නට උත්සුක වන ඔවුහු දේශීය තරගාවලි කීපයක් කෙසේ හෝ සංවිධානය කර නිල කාලයේ වගකීමෙන් ජාමය බේරාගනිති. එසේ පවත්වන දේශීය තරග අතුරින් කෙසේ හෝ ජාතික තරගාවලිය සංවිධානය කිරීම අනිවාර්යය.
එහිදී ජාතික ශූරතාව අරභයා සමස්ත ලංකා මට්ටමෙන් අසවල් අසවල් ප්‍රමාණයෙන් අයැදුම්පත් ලැබී ඇතැයි නිවේදනය කරනු ලැබේ. ඒවා මාධ්‍ය ආයතන ලවා කෙසේ හෝ පළ කරවා ගනියි.
මාධ්‍ය ආයතනයන් හි ද බහුතරයක් සේවයේ නියුතු මාධ්‍යවේදීන් යනු එක් එක් සංගම්, සම්මේලනවල තනතුරු දරන නිලධාරී කාණ්ඩයේ හිතමිතුරෝය. එකී හිතමිතුරුභාවයට මධුවිත ප්‍රබල සුමිතුරෙකි. එහෙයින් බොහෝ තරගාවලි පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමු අවසන් වන්නේ එවැනි මධු රස සාදයකිනි. එසේ හමුවන විට කතාබස් කරන්නේ ක්‍රීඩාව නඟාලීමට නොව ඊළඟට දියත් කිරීමට සැලසුම්කර ඇති විදේශ සංචාර ගැනය. නිලධාරීහු සැදී පැහැදී සිටින්නේ එවැනි විදෙස් තරගාවලියක් වෙනුවෙන් ජනමාධ්‍යවේදියෙක් හෝ කණ්ඩායමක් රැගෙන යාමටය. ඒ එමගින් තමන්ගේ මූණත් තහඩුව පුවත්පත්හි පළකරවා ගන්නටය. අදාළ සංචාරය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මූල්‍ය ආධාර සපයා ගන්නටය. ජනමාධ්‍ය ඒ සඳහා කදිම බිලී පිත්තකි.
මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින්ට දීර්ඝ වසන්තය උදාවන්නේ දකුණු ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලි පැවැත්වෙන සමයන්හි ය. එවැනි තරගාවලි පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටින පෙරකී වර්ගයේ නිලධාරීන් තුළ ඇත්තේ සන්තුෂ්ඨියකි.
ඒ තරගාවලියේ ගුවන් ප්‍රවේශපත්‍රයේ සිට ජයග්‍රාහී ක්‍රීඩකයන්ට ගුවන්තොටුපොළේදී ප්‍රදානය කරන මල් පොකුර දක්වාත්, ටයි පටියේ සිට ක්‍රීඩකයන්ගෙ දෙපා ලන සපත්තු දක්වාත් බඩු භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව පෑදෙන හෙයිනි. ඒ කොමිස් සන්තුෂ්ඨියය.
ඒ අනුව බලන කල ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් කියා ලොකු වෙනසක් ඇත්තේ නැත. ඇත්තේ කවරාකාරයේ හෝ ආර්ථික අරමුණක් පමණය. ක්‍රීඩා අමාත්‍යවරයා සිතන්නටත් පෙර කුප්‍රකට ‘කළු ක්‍රීඩා ආර්ථිකයක’ ක්‍රීඩාව ගිලී ඇත්තේ එලෙසය.
ඇතැම් ක්‍රීඩාවන්හි නියැළී සිටින ක්‍රීඩකයන් විෂයේ ද එම තත්ත්වයේ වෙනසක් නොවේ. ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ ආයතනයක් තුළ රැකියා අවස්ථාවක් දිනාගත හැකි ආකාරයට දක්ෂතා දැක්වීමය. එවැනි ආයතනයන්හි ක්‍රීඩා සංචිතය තුළට ඇතුළුව ඔවුන්ගෙන් යැපෙමින් වසර දහයක් පහළොවක් අතර කාලයක් කෙසේ හෝ තම ක්‍රීඩා ජීවිතය ගෙවා දැමීමය.
එසේ නොමැතිව ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීම ගැන ලොකු ඉලක්කයක් එවැනි ඇතැම් ක්‍රීඩකයන් තුළ ඇත්තේ නැත. ඔවුන් පදක්කම් ගැන සිතන්නේ නම් ඒ සිහින දකුණු ආසියානු පදක්කමකට පමණය. එයද දකුණු ආසියානු පදක්කමකට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලැබෙන ත්‍යාග මුදලක් අතමිට මොළොවා ගැනීමටය. (මෙය වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹීම බුද්ධිමත්ය.)
සමස්ත ක්‍රීඩාවේ සැබෑ චිත්‍රය එවැනිය.
ක්‍රීඩාවේ පවතින මෙම තත්ත්වය හැඳින්විය හැක්කේ ඇතුළෙත් ගැට, පිටත් ගැට නැත්නම් 'අන්තෝ ජටා බහි ජටා' ලෙසය. එවන් තත්ත්වයක් ගැන බලද්දී ක්‍රීඩාව සුද්ද බුද්ද කර ජයග්‍රාහී මාවතකට රැගෙන එනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.
බොහෝ ක්‍රීඩා ඇමැතිවරු අසාර්ථක වූයේ මේ කියන මාෆියාවේ නිහඬ ගොදුරු වීම නිසාය. එහෙත් මෙයින් මිදෙන්නට හැකි මාර්ගයක් ද නැතිවාම නොවේ.
ඇතැම් සංගම්හි අනුබද්ධ බෝඩ්ලෑලි සංගම් ඉවත් කරන්නට පත්කරන නිලවරණ කමිටු කීපයක් කටයුතු කරමින් ඇත්තේ ඒ එක් මාර්ගයක් ලෙසය.
අප දකින්නේ එකී උත්සාහයේ යම් ප්‍රශංසනීය බවක් ඇතැයි කියාය. එහෙත් එය එසේ වන්නේ නිසි අධීක්ෂණයකින් අනතුරුව එවැනි බෝඩ් ලෑලි සංගම් ඉවත් කරන්නේ නම් පමණි. එවිට අප පෙර කිව්වාක් මෙන් ඕනෑම මාවතකින් කතරගම යා හැකිය. එසේ නොමැති නම් මඟ වැරදීම නිසැකය. එසේ මඟ වරදින්නේ නම් සැලසුම් සියල්ල වියවුල් වන්නේය. එහෙයින් කරුණු නිසි ලෙස අවබෝධ කරගෙන නිලවරණ සමයේ වහ වහා කටයුතු කළ යුතුව ඇත්තේය.










