තෙවසරක් පුරා සටන් කර පිළිමළුන් පිටු දැකීමේ ජය බී.ආර්.සී. පිලට | සිළුමිණ

තෙවසරක් පුරා සටන් කර පිළිමළුන් පිටු දැකීමේ ජය බී.ආර්.සී. පිලට

‘වැඩිම හොකී ක්‍රීඩා සමාජ එකතුව ඇත්තේ අගනුවර ය. එහෙයින් වැඩිම හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇත්තේද එහිමය. රටේ හොකී ප්‍රවර්ධනය වෙනුවෙන් කොළඹ හොකී සංගමයට පැවරී ඇත්තේ ද සුවිශාල කාර්යභාරයක් ලෙස සැලකිය හැක්කේ එහෙයිනි. මේ එකී කාර්යා භාරය අනුව පැවැති වෑයමක් ගැනය.’

වසරක් පාසා අන්තර් සමාජයීය මට්ටමින් පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලිය ජයගනිමින් "බේකන් කුසලාන" සඳහා හිමිකම් කියන්නට කොළඹ බී. ආර්. සී. කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ සිය අපරාජිත ගමන තවත් වසරක් ඉදිරියට රැගෙන යමිනි.

එකී අනුශූරතාව කොළඹ ආදී නාලන්දීය හොකී සමාජය සතුවිය.

අවසන් තරගය ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් උසුලනු ලැබිණි. එහෙත් ආදි නාලන්දීය පිලේ අභියෝගයට අසීරුවෙන් මුහුණ දුන් ප්‍රබල බී.ආර්.සී. කණ්ඩායම ගෝල් 02 - 01 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේය. එම ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ගිහාන් පීරිස් 01 සහ ශාන් ලෝචන 01 බැගින් ගෝල් රැස් කර ගත් අතර පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම ගෝලය කැනඩා කනිෂ්ඨ කණ්ඩායම නියෝජනය කරන ද්විත්ව පුරවැසිලාභී ජීවන්ත පසන් එදිරිසිංහ වාර්තා කළේය.

කොළඹ ආදී සහිරා ක්‍රීඩා සමාජය ගෝල් 03 - 00 ක් ලෙස පරාජයට පත් කරමින් පෙරමුණ ගත් ආදී ඩී.එස්.සේනානායක හොකී සමාජයට මෙවර තරගාවලියේ "බී" කොටසේ ශූරතාව දිනාගත්තේය. ඒ අනුව අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට ආදි සහිරා පිලට සිදු විය.

ආදී වෙස්ලි සමාජය සහ ආදි ආනන්දීය සමාජය අතර පැවති "සී" කොටසේ තීරණාත්මක අවසන් තරගයේදී ගෝල් 01 - 00 ක තියුණු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ආදී වෙස්ලි ක්‍රීඩකයෝ සමත් වූහ. එකී අනුශූරතාව ආදි ආනන්දීය පිල සතුවිය.

කොළඹ හොකී සංගමය විසින් මෙලෙස සංවිධානය කරනු ලැබූවේ 2019 වසරට අදාළ තරගාවලිය වීම විශේෂත්වයකි. ඒ අනුව 2020 වසරේදී පවත්වා අවසන් කිරීමට නොහැකි වූ හෙයින් එම තරගාවලිය මෙම වසරේ ටොරින්ටන් හි කෘත්‍රිම හොකී පළසේ පැවැත්විණි.

සුරේන් විජයරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොළඹ හොකී සංගමය තරගාවලිය සාර්ථකව සංවිධානය කිරීම සුවිශේෂීය.

සපුමල් වීදිය බණ්ඩාර

Comments