තුරුණු හදවත් තුළ තෙද මනමත් කළ රෝඩ් සේෆ්ටි කුසලානය කාටද? | සිළුමිණ

තුරුණු හදවත් තුළ තෙද මනමත් කළ රෝඩ් සේෆ්ටි කුසලානය කාටද?

අවසන් මහා තරගයේදී කවර කණ්ඩායමක් මුණගැසුණද එය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශූරතාව දිනාගැනීම එක අතකින් අපහසු නැත.

ඉන්දියාවේ පැවැත්වෙන ‘රෝඩ් ෂේෆ්ටි වර්ල්ඩ් සීරිස් විස්සයි විස්ස’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ අද (21) ය. මේ ඒ තරගාවලියේ මෙතෙක් ගමන ගැනය.

රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලිය සිතුවාටත් වඩා ක්‍රිකට් ලෝකය තුළ ආකර්ෂණය ගොඩනැංවූ තරගාවලියක් බවට පත්වුණේය. එය මේ වනවිට අවසන් මහා තරගය දක්වා ක්‍රමක්‍රමයෙන් පැමිණ තිබේ. මෙම සටහන තැබෙන මොහොත වනවිට තරගාවලියේ අවසන් පූර්ව වටයට තරග වදින කණ්ඩායම් හතර තීරණය වී ඉන් කණ්ඩායම් දෙකක් අද පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතර අතරට මෙන්ම ලකුණු සටහනේ ඉන්දියාවද අභිබවමින් ඉදිරියට පැමිණ අවසන් පුර්ව වටයේ ස්ථානයක් වෙන්කරගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

සමස්ත තරගාවලිය පුරා ඔවුන් දැක්වූ දක්ෂතා මින් වඩා කැපී පෙනුණේය. එහිදී තරග හයකට මුහුණ දී ඉන් තරග පහක් ජයගෙන සත්කාරක ඉන්දියාවට පමණක් පරාජය වී තිබිණි. ඔස්ට්‍රේ-ලියාව (ඔවුන් ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් පසු කොවිඩ් සංචරණ සීමා මත තරගාවලියෙන් ඉවත් වූ නමුත් සියලු කණ්ඩායම්වලට නිතරග තරග ජයක් ලැබූ ලෙස සලකා ප්‍රසාද ලකුණු ප්‍රදානය කරනු ලැබිණි.)

කොදෙව්, බංග්ලාදේශය, එංගලන්තය හා දකුණු අප්‍රිකා යන සෙසු සියලුම කණ්ඩායම් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හමුවේ පරාජය විය.

කලින් වාර්තාවූ ආකාරයට අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබුණේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් පිල සමගය. මුල් වටයේ දෙපිල තරග වැදුණු අවස්ථාවේ ශ්‍රී ලංකාව පහසුවෙන් දකුණු අප්‍රිකානුවන් පැරදවීය. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත බව සැබෑ වුවද මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩකයින් තරග වැදී තිබු ආකාරය දෙස බලන විට ඔවුන්ගේ දස්කම් සිය ප්‍රතිවාදීන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙනි.

දකුණු අප්‍රිකාව මුල්වටයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාවට පරාජය වී කොදෙව්, බංග්ලාදේශ, එංගලන්ත කණ්ඩායම් පරාජය කර අවසන් පුර්ව වටයට අවතීර්ණ විය. එම තත්ත්වය අනුව ශ්‍රී ලංකා පිල බොහෝ දුරට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්තාව පැවතියේ යැයි උපකල්පනය කළ හැකිය.

මුල් වටයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව වෙතින් පරාජය වී තිබූ නමුත් එම තරගය පැවැතියේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය. එදා තත්ත්වය හා අද තත්ත්වය ගලපන විට අවසන් තරගය සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව මුණ ගැසුණහොත් මානසික තත්ත්වය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාවට වඩා ඉදිරියෙනි.

ඊට හේතුව පරාජය කිරීමට අපහසු යැයි විශ්වාස කළ ඉන්දීය පිල මුල් වටයේදී එංගලන්තය

ඉදිරියේ පරාජය වීම ඔවුනට මානසික අතින් එල්ලවන පසුබැස්මකි. එම වටයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පරාජය කළේ වාර්තාගත ලෙසය.

මේ අනුව අවසන් මහා තරගයේදී කවර කණ්ඩායමක් මුණගැසුණද එය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශූරතාව දිනාගැනීම එක අතකින් අපහසු නැත. එසේම තරගාවලියේ මුල්වටයේදී එංගලන්ත ලෙජන්ඩ්ස් පිල පරාජය කළ කොදෙව් ක්‍රීඩකයෝ අනෙක් අවසන් පුර්ව වටයට පිවිස තිබිණි.

ඒ අනුව ඉන්දියාව අවසන් පුර්ව වටයේදී තරග වැදීය යුතුව තිබුණේ කොදෙව් කණ්ඩායම සමඟය. යම් හෙයකින් කොදෙව්වන්ටද අවසන් මහා තරගයට පිවිසීම සඳහා යම් සුබදායි බලාපොරොත්තුවක් තබාගත හැකිව තිබුණේ ඔවුන් සාපේක්ෂව ප්‍රබල කණ්ඩායමක් සේ සැලකිය හැකි හෙයිනි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ් පිල කොදෙව් ප්‍රවීණයන් හා අවසන් මහා තරගයට පිවිසියහොත් නායක බ්‍රයන් ලාරා , කේ. එඩ්වර්ඩ්ස්,සුලෙයිමන් බෙන්,ටිනෝ බෙස්ට් යන ක්‍රීඩකයින් කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. ඉන්දියාව වුවහොත් එහිදී ක්‍රීඩකයන් කීපදෙනෙකුම අවධානයට ලක්කළ යුතුව තිබේ.

මූලික වටයේ දස්කම් දෙස බලන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ශාන් පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දක්වා තිබුණේ තරග හයකදී ඉනිම් හයක් පන්දුවට පහරදී මුළු ලකුණු 232 ක් ලබා ගනිමිනි. මේ සඳහා ඔහු අර්ධ ශතක දෙකක්ද එක්කර තිබුණේය.

පන්දු යැවීමේදී ඔහු කඩුලු 12ක් දවාගෙන තිබුණේ හොඳම පන්දු යැවීම ලෙස එංගලන්තයට එරෙහිව ලකුණු හයට කඩුලු හතරක් දවාගනිමිනි. ඔහුට අමතරව උපුල් තරංග තරග හතරකට සහභාගි වී ලකුණු 185ක් වාර්තා කර තිබූ අතර තරගයක වැඩිම ලකුණු ගණන ලෙස ඔහු නොදැවී ලකුණු 99ක් රැස්කළේ අර්ධ ශතක දෙකක් ද සහිතවය.

මේ හැරුණු විට දකුණු අප්‍රිකාවේ ඒ.ජී. පුටික් මුල් වටයේ තරග හතරකදී ලකුණු 185ක් රැස්කළ අතර ඔහු රැස්කළ වැඩිම ලකුණු ගණන නොදැවී 82 කි. හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ද මෙම තරගාවලිය නියෝජනය කරමින් තරග වදින අතර මුල්වටයේ ඔහු මුහුණ දුන් තරග පහක් තුළ රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 138ක් විය. එහිදී ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 60 කි. ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ මුනාෆ් පටිල් මෙම සටහන තබන විට මුල් වටයේදී කඩුලු 08ක් දවාගෙන තිබුණේය.

මීට අමතරව එංගලන්ත ලෙජන්ඩ්ස් පිලේ මොන්ටි පනේසර් පන්දුවෙන් දස්කම් දැක්වූ තවත් ප්‍රවිණයෙක් වූයේ මුල් වටයේ තම අවසන් තරගයට පෙර කඩුලු 8ක් තම නම ඉදිරියේ සටහන් තබමිනි.

මෙම තරගාවලියේ ලෝක ශූරතාවය කාට හිමිවුවද සමස්තයක් වශයෙන් පැරණි ක්‍රීඩකයන්ගේ විශිෂ්ට දක්ෂතා දැකගැනීමට ලැබුණු අපූරු තරගාවලියක් ලෙසින් සේෆ්ට් ක්‍රිකට් තරගාවලිය දැක්විය හැකිය.

 

අනිල් විරසිංහ

Comments