ඉන්දියානු ක්‍රිකට් දැවැන්තයින් අතරට | සිළුමිණ

ඉන්දියානු ක්‍රිකට් දැවැන්තයින් අතරට

ක්‍රිකට් තරග සංචාරයක් වෙනුවෙන් කෝලි ප්‍රථම වරට ඉන්දීය කණ්ඩායමක් සමඟින් විදේශයකට ගියේ 2006 වසරේ ජූලි මාසයේදී ය. එය ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය වූයේය. එහිදී එංගලන්ත අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ යොවුන් ටෙස්ට් සහ එක්දින තරග මාලාවන්ට ඉන්දියානුවන් තරග කළහ. ඊට තරග 03 බැගින් පැවැත්වුණු මුළු තරග ගණන 06කි.

දෙරටේ නායකයන් වූයේ එංගලන්තයේ වරුන් චොප්රා සහ ඉන්දියාවේ තන්මේ ශ්‍රිවස්තාව් ය. එහිදී තරග කළ ක්‍රීඩකයෝ අතරින් කිහිපදෙනෙකුම පසු කලක දෙරටේ ජාතික කණ්ඩායම් නියෝජනය කළහ. ඒ අතරට එංගලන්තයට මොයින් අලි, අඩිල් රෂිඩ්, ස්ටීවන් ෆින් ද ඉන්දියාවට කෝලි, ඉශාන්ට් ෂර්මා සහ ෂබාස් නදීම් අයත් වෙති. මෙම සංචාරයට සහභාගී වන විට කෝලිගේ වයස අවුරුදු 17කි. ටෙස්ට් තරගමාලාවේ මුල් තරග ජය පරාජයකින් තොරව නිමාවට පත් විය. තෙවැනි තරගයෙන් ඉන්දියාවට ලකුණු 249ක අතිවිශිෂ්ට ජයක් හිමිවිණි.

කෝලි සමස්ත තරගමාලාවේදී ශතකයක් සහ අර්ධ ශතකයක් රැස්කිරීමට සමත් වූයේ ය. යොවුන් එක්දින තරග මාලාවේදී ඉන්දියාව සම්පූර්ණ ජයක් ලැබීය. මුල් තරගයේදී කෝලි ලකුණු 04ක් සහ තෙවැනි තරගයේදී ලකුණු 41ක් රැස්කර ගත්තේ ය. දෙවන තරගයේදී ඔහුට පන්දුවට පහරදීමට අවස්ථාවක් ලැබුණේ නැත. මෙම සංචාරයේදී ඉන්දීය පුහුණුකරු වූයේ හිටපු ජාතික ක්‍රීඩකයකු වන ලාල් චාන්ද් රාජ්පූට්ය. හෙතෙම වර්තමානයේ සිම්බාබ්වේ ජාතික පුහුණුකරුය.

‘එදා කණ්ඩායම් දෙකටම දක්ෂ ක්‍රීඩකයින් ක්‍රීඩා කළා. ඒ අතරින් දිගු ගමණක් යෑමට හැකියාවක් තිබෙන ක්‍රීඩකයෙකුත් කැපී පෙනුණා. ඔහු තමයි කෝලි. අද ඔහු ඒ බව මැනවින් ඔප්පු කරලා තිබෙනවා. මට ඒ ගැන සතුටුයි.’ රාජ්පූට් අද එසේ කෝලිව අගය කරයි.

කෝලි හටත් එංගලන්ත සංචාරය අමතක කළ නොහැකි ය. ‘ක්‍රිකට් උපන් රටේ ක්‍රීඩා කරනවා කියන්නේ විශේෂ අත්දැකීමක්. ඉන්දියාවට වඩා එහි සෑම දෙයක්ම වෙනස්. නවක ක්‍රීඩකයන් ලෙසට එරටේදී ලබන අත්දැකීම් පසුව සෑහෙන්න බලපානවා.’ කෝලි පවසන්නේ එවැන්නකි.

‘ඔහු එම සංචාරයේදී දඟ පන්දු සහ වේගපන්දු ඉදිරියේ උසස් මට්ටමින් තාක්ෂණික දක්ෂතා දැක්වූවා.’ පුහුණුකරු පවසා තිබුණේය.

ඉහත සංචාරයෙන් අනතුරුව ඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම අසල්වැසි පාකිස්තානයට ගියේ තවත් තරග සංචාරයක් වෙනුවෙනි. එහිදී පාකිස්තාන් යොවුන් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් සහ එක්දින තරගමාලා ජය ගැනීමට ඉන්දියානුවෝ සමත් වූහ.

එවර ඉන්දීය නායකත්වය හිමි වූයේ පියුෂ් චව්ලාටය. කෝලිට අමතරව චෙටෙෂ්වර් පූජාරා,රවින්ද්‍ර ජඩේජා සහ ඉශාන්ට් ෂර්මා ඉන්දියාවට ක්‍රීඩා කළහ. පාකිස්තානයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතර ඉමාඩ් වසීම් සහ පුනෙයිඩ් ඛාන් අයත්ය. මෙම තරගමාලා ද්විත්වයේදීම කෝලි අර්ධ ශතක තුනක් රැස් කර ගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන ඕනෑම ක්‍රීඩකයෙකුගේ සුවිශේෂී කඩඉමක් වේ. එනම් පළමු පෙළ තරග වරම් ලැබීම ය. එය කෝලිටත් එසේම වූයේය. කෝලි සිය මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළේ 2006 වසරේ නොවැම්බර් 23 සිට 26 දක්වාය.

ඔහු එහිදී නියෝජනය කළේ දිල්ලි කණ්ඩායම යි. ප්‍රතිවාදීන් වූයේ තමිල්නාඩු කණ්ඩායමයි. එය රංජි කුසලාන තරගමාලාවේ සුපර් ලීග් වටයේ තරගයකි. කෝලි ඒ වන විට 18 හැවිරිදි විය පසුකර ගත වී තිබුණේ සති කිහිපයක් පමණි.

එම දිල්ලි කණ්ඩායමේ නායකත්වය දැරුවේ මිතුන් මන්හාස්ය. එහිදී එම කණ්ඩායමට ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයන් අතර අකාශ් චොප්රා, ගෞතම් ගම්බිර්,ශිකර් දවාන්,විජේ දහියා,අශීෂ් නෙහ්රා, ඉශාන්ට් ෂර්මා සහ රාහුල් සන්ග්වි වැනි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝත් වූහ.

ඒ අතරින් නෙහ්රා සම්බන්ධයෙන් කෝලිට සුවිශේෂී අත්දැකීමක් තිබිණි. එනම් වසර කිහිපයකට පෙර ක්‍රිකට් තරගයක් නිමා වීමෙන් පසුව නෙහ්රා විශේෂ ආරාධිතයෙක් ලෙසින් ළාබාල කෝලිට ත්‍යාගයක් පිරිනැමීමයි.

කෙසේ වෙතත් සිය මංගල පළමු පෙළ තරගයේදී කෝලිට පන්දුවට පහර දීමට ලැබු‍ණේ ප්‍රථම ඉනිමේදී පමණකි. එහිදී ඔහු ලකුණු 10ක් රැස්කර ගත්තේය. කෝලි මංගල පළමු පෙළ තරග වරම් දිනා ගැනීම ගැන පවුලේ සියලු දෙනාම දැඩි ලෙස සතුටට පත්වූහ. අනිවාර්යයෙන්ම වැඩියෙන්ම සතුටු වූයේ පියා ප්‍රේම්ය. එහෙත් ඒ සතුටට වැඩි ආයුෂ තිබුණේ නැත.

 

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments