ඉතින්, ඊට පස්සේ! | සිළුමිණ

ඉතින්, ඊට පස්සේ!

ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ජාතික ආර්ථිකයට රුපියල් කෝටි 3698 ක මුදලක් අලාභ කළේ යැයි චෝදනා ලද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 8 දෙනකු ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පසුගිය මාර්තු 17 දා නියෝග කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී ඊට අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දී එලෙස වංචා කළ බවට විත්තිකරුවන්ට එරෙහි ව චෝදනා 32 කින් යුත් අධිචෝදනා බාරදීමෙන් අනතුරු ව විත්තිකරුවන් රිමාන්ඩ් බාරයට පත්කිරීමට සිදු විය.

විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනාවල බරපතළකම අනුව ඇප මත මුදා හැරීම සිදු කළහොත් ඔවුන් අධිකරණය මඟහැර යෑමේ ප්‍රවණතාවක් පවතින බැව් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර ඉදිරිපත් කළ විරෝධතාව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පිළිගත්හ. එකී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දමිත් තොටවත්ත (සභාපති), මංජුල තිලකරත්න හා මොහොමඩ් ඉසර්ඩීන් යන විනිසුරුවරු අයත් වූහ.

ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට අමතර ව මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ; පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පලිසේන, ඒ සමාගමේ සේවකයන් වන රන්ජන් හුලුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, මහ බැංකු නිලධාරීන් වන එස්. පදුමනාභන් සහ ඉන්දික සමන් කුමාර නැමැත්තන් ය. හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තන් අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, ඔවුන් විදේශගතව සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට දැනුම් දුන්නා ය.

මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ ව සිදුවී ඇති බැඳුම්කර නිකුතු තුනකට අදාළ ව ඇති නඩු තුනකට අනුව රටට සිදුවී ඇති මුළු පාඩුව රුපියල් කෝටි 5266ක් බව පැමිණිලි පාර්ශ්වයෙන් කියා සිටී.

මේ අධිචෝදනාවලට අමතරව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි ව තවත් චෝදනාවක් එල්ල වී තිබේ. ඒ බැඳුම්කර වංචාව පිළිබඳ මීට පෙර කළ කොමිසන් වලදී මේ බැඳුම්කර මිලදී ගත් සමාගම මඟින් හිටපු මුදල් ඇමැති රවි කරුණානායකට නිවසක් ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවට ය. මේ නඩුව පසුගිය මාර්තු 17 වැනිදා කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ, පර්පචුවල් ට්‍රෙෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් මෙකී නිවස හිටපු මුදල් ඇමැති රවි කරුණානායකට ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බවයි. ඒ අනුව රාජකාරී සම්බන්ධයට එහා ගිය පුද්ගලික සම්බන්ධයක් එහි තිබෙන බව සනාථ වේ. එය ම බරපතළ වැරැද්දකි.

මේ අතර වංචාවට සම්බන්ධ තුන්වැනි විත්තිකරු වූ හිටපු මහබැංකු අධ්‍යක්ෂ අර්ජුන් මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව නීතිපතිවරයා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දන්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිය නම අර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස වෙනස් කරගෙන ඇති බව අන්තර්ජාතික පොලිසිය දැනුම්දී ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මීට පෙර අධිකරණයට දැනුම් දී ඇත. ඊට අමතරව දැනට මලයාසියාවේ සැඟව සිටින ගාරදිය පුංචිහේවා නම් විත්තිකරුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු මඬුල්ල නියෝග කළේ ය.

බැඳුම්කර වංචාව නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය පළුඳු වීම ගිනිය නොහැකි පාඩුවකි. විශේෂයෙන් භාණ්‌ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමට විදේශිකයෝ මැලි වූහ. 2014 දී මේ අංශයේ විදේශිකයන් ඩොලර් මිලියන 493 ක ශුද්ධ ආයෝජනයක්‌ කළ අතර, 2015 දී ඩොලර් මිලියන 903 ක්‌ රටින් පිටතට ගලා ගියේ ය. 2016 දී තවත් ඩොලර් මිලියන 531 ක්‌ මේ අංශයෙන් පමණක් රටෙන් පිටතට ගලා ගියේය. එම නිසා භාණ්‌ඩාගාර බිල්පත් වල සහ බැඳුම්කරවල විදේශිකයන් කළ ආයෝජනය සැලකිය යුතු අඩු විය. ඒ අනුව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය මෙන්ම විදේශීය ඍජු ආයෝජන ද ශීඝ්‍රයෙන් පිරිහී තිබේ. ඒ නිසා රටේ දැඩි විදේශ විනිමය හිඟයක් ඇති විය.

මෙකී වංචාවට ලක්වූ බැඳුම්කරයේ ජීවන කාලය වසර 30කි. ඒ අනුව එයට සම්බන්ධ පොලී අනුපාත වැඩිවීමේ පාඩුව මේ දශක තුනම ඇතුළත ම අප ආර්ථිකය විසින් දැරිය යුතු ව ඇත. හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ වත්මන් රාජ්‍ය අමාත්‍යවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගණනය කිරීම් අනුව බැඳුම්කරයේ මූලික පාඩුව රුපියල් බිලියන 145 කි. මේ පාඩුවට රටේ සාමාන්‍ය සියලු ම පුරවැසියන් මත පැවරූ පොලී අනුපාත ඉහළ යෑම, විනිමය අනුපාත පිරිහීම, ජීවන වියදම ඉහළ යෑම වැනි සියලු ම අවාසි සහගත කරුණු එකතු කළහොත් සිදු වූ පාඩුව රුපියල් ට්‍රිලියනයකට වඩා අධික බැව් පැවසේ.

මේ ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවට සිදුවූ අලාභය හා අපකීර්තිය මැනිය නොහැකි ය. ඒ අනුව ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා දැඩි අවදානමක්‌ ඇති රටක්‌ ලෙස ණය ශ්‍රේණිගත කරන ආයතන විසින් හඳුනාගෙන ඇත. දූෂණය සම්බන්ධ දර්ශකයේදී ශ්‍රී ලංකා 2014 දී 85 වන ස්‌ථානයේ සිටි අතර 2016 දී 95 වන ස්‌ථානය දක්‌වා පිරිහි තිබිණි. එමෙන්ම, මේ කරුණ සම්බන්ධ ව දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්‌ථානයේ සිටි අතර, 2016 වන විට තුන්වැනි ස්‌ථානය දක්‌වා පහළ බැස තිබුණි.

මේ අනුව බැඳුම්කර කුප්‍රකට වංචාව නිසා බැට කන්නේ හා අසරණ වන්නේ සාමාන්‍ය ජනතාව ය. එදත්, අදත්, හෙටත් ඒ වෙනුවෙන් ඔවුහු වන්දි ගෙවති. ආසියා ශාන්තිකර කලාපයේ හොඳ ම මුදල් ඇමති ලෙස 2017 දී සම්මානිත වූ හිටපු මුදල් අමාත්‍යවරයා බැඳුම්කරයේ චෝදිතයකු වීම නම් දෛවයේ සරදමකි.

කෙසේවෙතත් පරීක්ෂණ නිසි අයුරෙන් සිදු කරමින් මෙකී වංචාවේ සුලමුල හෙළි කරගැනීමේ මාවතට වත්මන් ආණ්ඩුව පිිළිපන් වීම සතුටට කරුණකි. මහ බැංකුවේ කීර්ති නාමය ගොඩනැඟීමේ දුෂ්කර මාර්ගයට අවසන හෝ අනුගත වීම ගැන ජනතාව සැනසුම් සුසුම් හෙළති. ඉතින් ඊට පස්සේ කුමක් සිදුවේදැයි ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටිති.

Comments