
අතුරු ආබාධ ගැනත් කතාබහ
එන්නත් අලෙවියට වෙළෙඳ යුද්ධ
මිනිස් වර්ගයා අතරට තවත් කොරෝනා වර්ගයේ වයිරසයක් එක්වීමෙන් පසු ලොව පුරා අති බිහිසුණු ලෙස පැතිර ගිය කොවිඩ් -19 රෝගය යටපත් කර දැමීමට මේ වන විට මිනිසා යම් තරමකින් හෝ සමත් වී තිබේ. වසරක කාලයක් පුරා සමස්ත ලෝකයම ආපස්සට ගමන් කරවූ, ජන ජීවිතය මුළුමනින්ම අඩපණ කර දැමූ, දැවැන්ත ආර්ථික අවපාතයන් කරා රටවල් ඇද දැමූ ලෝක ව්‍යප්ත වසංගතය මෙම එන්නත්කරණය සමඟ යම් තරමකට මර්දනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කටයුතු කරන රෝග පාලන සහ මර්දන ඒකකය (DCD) පවසා තිබේ.
විශේෂයෙන් වයිරසය අති බිහිසුණු ලෙස පැතිරගිය ඇමරිකාවේ මේ වන විට රෝගය තරමක් දුරට පාලනය වෙමින් පවතින බවට වාර්තා ලැබී තිබේ. ඇමරිකානු සෞඛ්‍ය බලධාරින් පසුගියදා පවසා සිටියේ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ඔවුනොවුන් අතර සිටියදී මුව ආවරණ නොමැතිව සිටිය හැකි වන බවයි.
එහෙත් මෙහිදී එලෙස මුව ආවරණ නොමැතිව සිටිය හැකි වන්නේ එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට පමණක් වන අතර ඔවුන් අතර එන්නත ලබා නොගත් පුද්ගලයන් හෝ මාත්‍රා එකක් ලබා ගත් පුද්ගලයන් සිටී නම් ඔවුන් තම ආරක්ෂාව වෙනුවෙන් මුව ආවරණ පැලඳිය යුතු වනු ඇත.
ඒ අනුව සමස්ත ඉලක්ක ගත ජනතාව එන්නත් කරන තුරු වයිරසයෙන් කිසිවකු ආරක්ෂිත නොමැති බව රෝග පාලන සහ මර්දන ඒකකයේ මතයයි. එමෙන්ම කොවිඩ් රෝගයේ භායනක බවින් මිදීම සඳහා ලෝකයේ සියලුම රටවල ජනතාවට පිට පිට වසර හතක් යනතුරු කොවිඩ් එන්නත් ලබා ගත යුතු වනු ඇති බවද ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ වන විට ඇමරිකාවේ අනුමැතිය ලත් එන්නත් තුනක් ජනතාවට ලබා දෙමින් තිබේ. ඒ ෆයිසර් එන්නත, මොඩේර්නා එන්නත සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත වේ. ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇත්තේද මේ වන විට එන්නත්කරණය හේතුවෙන් වයිරසයේ පැතිරීම යම් තරමකට පාලනය වී ඇති බවයි.
ඒ අනුව ඉතා දුෂ්කර වසරකට පසුව යළිත් සාමාන්‍ය ජීවිතයක් ගැන සිතීමේ අවස්ථාව ඇමරිකානු වැසියන්ට ලැබෙමින් තිබේ.
මේ වන විට ඇමරිකාව පුරා ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 85කි. කෙසේ වුවද ලොව පුරා එන්නත ලබා දීමෙන් තුනකට ආසන්න කාලයක් සම්පුර්ණ වන විට කොවිඩ් පාලනය කිරීම සඳහා වන එන්නත්වල අතුරු ආබාධ කිහිපයක් හඳුනා ගැනීමටද රෝග පාලන සහ මර්දන ඒකකය කටයුතු කර තිබේ.
එලෙස හඳුනා ගත් අතුරු ආබාධ අතර මස්පිඩු වේදනාව, එන්නත ලබා දුන් අත රතුවීම සහ ඉදිමීම, එන්නත ලබා දුන් අත වේදනා දීම සහ මස්පිඩු පෙරළීම, ආහාර අරුචිය හෝ ඔක්කාරය, උණ සහ සීතල දැනීම, වෙහෙසකර බව, දැඩි හිසරදය යනාදිය වේ.
කෙසේ වුවද මේ අතුරු ආබාධ පැවතියද එන්නත ලබා ගත යුතු බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. මේ වන විට ලෝකය පුරා රටවලට අවම මාත්‍රා ප්‍රමාණයන් හෝ යැවෙමින් පවතින අතර බොහෝ ධනවත් රටවල එන්නත්කරණය විධිමත් ලෙස ක්‍රියාත්මක කරමින් තිබේ.
බ්‍රිතාන්‍ය කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ තර්ජනයට වැඩි වශයෙන්ම මුහුණ දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් වූ අතර මේ වන විට වයස හැත්තෑවට වැඩි කාණ්ඩය සහ හැට පහට වැඩි කාණ්ඩයද අවසන් කර හැට සහ හැටපහ අතර වයස් කාණ්ඩයට එන්නත් ලබා දෙමින් තිබේ.
එමෙන්ම තමන්ගේ එන්නත ලබා ගත හැකි දිනය දැන ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ මීළඟට එන්නත හිමිවන වයස අවුරුදු 55- 60 අතර ජනතාවට දැනුම් දී තිබේ.
අප්‍රිකා කලාපයේ රටවලටද එන්නත් තොග යැවෙමින් පවතින අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයද එන්නත්කරණය අරඹා තිබේ. එහෙත් තවමත් ලොව පුරා කොවිඩ් ආසාදිතයන් අඩුවක් නොමැතිවම වාර්තා වෙමින් පවතින අතර මරණද සංඛ්‍යාවද දිනපතා ඉහළ යමින් තිබේ.
වයිරසයද ප්‍රබේද නිපදවමින් තවමත් සටනේ නිරතවී සිටියද මේ වන විට වසරක පරාජිත කාලයකින් පසු මිනිස් වර්ගයා ලෝකය තුළ තමන්ට හිමි ස්ථානය යළිත් වරක් තහවුරු කර ගනිමින් සිටින බවක් දක්නට තිබේ.
මේ අතර තමතමන්ගේ රටවල එන්නත් අලෙවි කර ගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල් අතර වෙළෙඳ යුද්ධ ආරම්භ වෙමින් පවතින බවට සලකුණුද දක්නට ලැබෙමින් තිබේ. ඒ අතරින්ද බොහෝ ගල්මුල් එල්ල වෙමින් තිබෙන්නේ රුසියාවේ ස්පුට්නික් එන්නතට බව පෙනේ. ස්පුට්නික් එන්නත සියයට 95ක නිරවද්‍යතාවකින් යුතු අතර ලොව බොහෝ රටවල් මේ වන විට එයට අනුමැතිය ලබා දෙමින් තිබේ.
එහෙත් යුරෝපය ප්‍රමුඛ දක්ෂිණාංශික කඳවුරේ රටවල් ස්පුට්නික් එන්නතට පිටුපාන බවක් දක්නට ලැබේ. පසුගියදා ප්‍රංශ බලධාරීන් පවසා සිටියේ තම රජය රුසියානු එන්නත ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වූ බව දැක්වෙන සියලු පුවත් සත්‍යයෙන් තොර බවයි. ඒ අතර යුක්රේනය සහ තවත් අප්‍රිකා රටවල් රැසකටම රුසියානු එන්නත් තොග ලැබී ඇතැයි වාර්තා වේ.