ලොව වටා | සිළුමිණ

ලොව වටා

මලාලා ඇපල් හා බැඳෙයි

පකිස්තානයේ ළමා අධ්‍යාපනය වෙනුවෙන් සටන් කොට වෙඩි පහරට ලක්ව පසුව නොබෙල් ත්‍යාගයට පවා හිමිකම් කී මලාලා යුසුෆායි මේ වන විට ව්‍යපාර ක්ෂේත්‍රයටද එක්වෙමින් සිටිත බව වාර්තා වේ. ඇය රූපවාහිනී වැඩසටහන් නිපදවන අතර ඇයගේ වැඩසටහන් ලෝකප්‍රකට ඇපල් සමාගමේ ඇපල් රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවකට පසුගියදා පැමිණ තිබේ. මෙය අන්තර්ජාල රූපවාහිනී සේවාවකි.

මලාලා මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර ලොව පුරා ළමයින් වෙනුවෙන් රූපවාහිනී වැඩසටහන්, වාර්තා වැඩසටහන් නිපදවීමට ඇය යොමු වී තිබේ. මීට අමතරව ඇය මලාලා අරමුදල යනුවෙන් අරමුදලක් පවත්වා ගනිමින් ලොව පුරා ගැහැනු දරුවන්ගේ ද්විතියික අධ්‍යාපනයට ආධාර කිරීමේ වැඩපිළිවෙලකද නිරතවී සිටින බව වාර්තා වේ.

 

 

ලොව ධනවත්ම දික්කසාද බිරිය යළි බඳී

 

 

රූමත් තරුණ රූපවාහිනී නිවේදිකාව සමඟ විවාහ වීම වෙනුවෙන් ලොව අංක දෙකේ ධනවතා වන ජෙෆ් බේසොස් මීට වසර දෙකකට පෙර තම බිරිය මැකෙන්සි ගෙන් දික්කසාද වූයේය. එහිදී ඇය වෙනුවෙන් අති විශාල වන්දි මුදලක් ගෙවීමට ඔහුට සිදුවූයේ ඔහුගේ වත්කම් අති විශාල වූ බැවිනි. ඒ අනුව ඔහු දික්කසාදය වෙනුවෙන් ගෙවූ වන්දිය ලොව විශාලතම දික්කසාද වන්දිය වූ අතර ඔහුගේ මැකෙන්සි ලොව ධනවත්ම දික්කසාද කාන්තාවද ලෙසින් ද හැඳින්විණි.

එයින් පසුව ජෙෆ් බේසොස් තම අභිමතය වූ සුරූපි තරුණ කාන්තාව විවාහ කර ගත්තේය. එතැන් සිට මේ දක්වා තනිකඩව සිටි ඔහුගේ මැකෙන්සි පසුගියදා තම තනිකඩ දිවිය අවසන් කරමින් යළි විවාහ වී තිබේ. ඇය මෙවර විවාහය සඳහා තෝරාගෙන ඇත්තේ ගුරුවරයෙකි. ඇතැම් විට ඔහු ඇයට ඇයගේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට උගන්වනු ඇත.

 

මියන්මාරයේ දෙවැනි පක්ෂ ක්‍රියාකාරිකයාත් මරුට

 

මේ වන විට මියන්මාර හමුදා සමඟ ගැටීමෙන් එරට දේශපාලන පක්ෂ ක්‍රියාධරයන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ. මේ අතරින් දෙවැනියට මරු වැලඳගත් පක්ෂ ක්‍රියාකාරිකයා මියගොස් ඇත්තේ අත්අඩංගුවේ පසුවන අතරතුරදීය. මියන්මාර් ජනතාව එරට හමුදා පාලනයට විරෝධය දක්වමින් විරෝධතා ආරම්භ කර සිටියේ පසුගිය පෙබරවාරි මාසයේදී වූ අතර එතැන් සිට මේ දක්වා හමුදාව සහ ජනතාව අතර ගැටුම්වලින් මේ වන විට පුද්ගලයන් තිහකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.

මේ වන විටත් මියන්මාරයේ දැවැන්ත ජනතා උද්ඝෝෂණ පැවැත්වෙන අතර එම උද්ඝෝෂණ සඳහා සහභාගී වීමට කැමති ජනතාවට නොමිලේ මෝටර් රථ ප්‍රවාහන සේවාද ජනතාව විසින් සපයා දෙමින් ඇතැයි වාර්තා වේ.

 

ඇෆ්ගන් සාම සාකච්ඡාවලට වේදිකාව රුසියාවෙන්

 

 

මීළඟ ඇෆ්ගන් - තලේබාන් සාම සාකච්ඡා සඳහා පහසුකම් සපයා දීමට රුසියාව ඉදිරිපත් වී තිබේ. රුසියාවේ බලාපොරොත්තුව වී ඇත්තේ එම සාකච්ඡා මොස්කව් නුවරදී පැවැත්වීමටය. රුසියානු විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශිකාව පවසා සිටියේ ඒ අනුව මාර්තු 18වැනිදා ඇෆ්ගනිස්ථාන රජයේ සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් සමඟ පකිස්තාන්, චීන සහ ඇමරිකානු නියෝජිතයන් මොස්කව් නුවරට පැමිණීමට නියමිත බවයි.

මීට පෙර ඇෆ්ගන් තලේබාන් ප්‍රථම සාකච්ඡා වටයට පහසුකම් සැපයූ කටාර් දේශයටද මේ අවස්ථාවට සහභාගී වන ලෙස රුසියාවෙන් ගෞරවනීය ඇරයුම් ලැබී තිබේ.

 

ලූලා යළිත් එන හැඩ

 

බ්‍රසීලයේ හිටපු ජනාධිති ලූලා ද සිල්වාට යළිත් එරට දේශපාලනයට ප්‍රවිෂ්ට වීමේ ඉඩකඩ ලැබී ඇතැයි පැවසේ. වසර 2003 සිට 2010 දක්වා බ්‍රසීලය පාලනය කළ ලූලා වාමංශයට බර නායකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබේ. එහෙත් අන්ත දක්ෂිණාංශික බොල්සෙනාරෝගේ පාලනය යටතේ දූෂණ චෝදනා එල්ල වූ ලූලාට සිර දඬුවම්ද නියම විය. එහෙත් පසුගියදා බ්‍රසීලයේ අධිකරණයක් මගින් ලූලාගේ දඬුවම් ලිහිල් කිරීමත් සමඟම ලූලාට යළිත් බ්‍රසීලයේ දේශපාලනයට එක්වීමේ අවස්ථාව ලැබී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වැඩි දෙනාගේ විශ්වාසය වී ඇත්තේ ලබන වසරේ පැවැත්වීමට නියමිත බ්‍රසීල මැතිවරණයට ලූලා ද සිල්වා තරගකරුවකු ලෙස එක් වනු ඇති බවය.

Comments