
සම්ප්‍රදායන් හේතුවෙන් විඳවන ජීවිත බොහෝය. ඒ හේතුවෙන්ම විනාශ වී යන ජිවිතද බොහෝය. එවන්වූ ජීවිතවලට වන්දි ගෙවීමට කිසිවකු නැත. ඇත්තේ නිහඬව ඉවසා සිටීමට හෝ නිහඬව මියයෑමට පමණි. එහෙත් ඇතැම් විට රැකීමට බල කරනු ලබන සම්ප්‍රදායන් හේතුවෙන් විනාශ වී ගිය ජීවිතයක වන්දිය ගන්නට ඇතැම්විට ඒ පරම්පරාවේ වෙනත් පුරුකක් කෙදිනක හෝ සමත් විය හැකිය.
පසුගියදා ලොවම කැලඹූ ඔෆ්රා වින්ෆ්‍රී සමඟ මේගන් හැරී සංවාදයද එවැනි සරල සමාලෝචනයකට කැටි කළ හැකිය. එහෙත් සැබවින්ම හැරී මේගන් සමඟ ඇය පැවැත්වූ එම සංවාදය පැති කිහිපයක් ඔස්සේ විමසා බැලිය යූතුය.
ඔෆ්රා වින්ෆ්‍රී කොහොමත් ලෝකයේම අවධානයට බඳුන්වන සංවාද පැවැත්වීමට සමත්කම් ඇති මාධ්‍යවේදිනියකි. ඇය පසුගියදා තවත් එවන් වාර්තාවකට හිමිකම් කීවාය.
ඒ බ්‍රිතාන්‍ය රජ පවුල පිළිබඳ මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා ඔපා දූප රැසක් සමඟ රජ පවුලේ හිටපු සාමාජිකයන් වූ හැරී සහ මේගන් සමඟ සංවාදයක් පවත්වමිනි. එම සංවාදය ලොව පුරා ජනතාව තම සියලු වැඩකටයුතු පසෙකලා නැරඹූහ. එහිදී මේගන් සහ හැරී පැවසූ දේ, හෙළිදරව් කළ බොහෝ දේ ජනතාව කලඹන සුළු විය. ඔෆ්රා හැරී මේගන් සමඟ සංවාදයට පිවිසෙන්නේද රජ පවුල තුළ ඔවුන්ගේ ජිවිත පිළිබඳ තොරතුරු ඉවතට ගැනීමේ අභිප්‍රායෙන් බව පැහැදිලිය.
තමා රජ පවුලට සම්බන්ධ වූ පසු තමාට නොයෙක් අවලාද අසන්නට සිදුවූ බවත්, වරෙක තමන්ට සිය දිවි නසා ගන්නට සිතුණු බවත් මේගන් පවසා සිටියාය.
ඇය වැඩිදුරටත් පවසා සිටියේ තමා බ්‍රිතාන්‍ය නොවන බැවින් තමන් ඉතා පහත් කොට සැලකූ බවත්, තමාට ලැබෙන දරුවාගේ ඡවි වර්ණය කෙසේ වනු ඇතිදැයි රජ පවුලේ සාමාජිකයකු වරක් සැක පළ කළ බවත්ය.
විවාහ මංගල්‍යයට පෙර කේට් කුමරිය විසින් තමා අඬවනු ලැබූ බවට වන කටකතා සත්‍යදැයි ඔෆ්රා ඇසූ ප්‍රශ්නයට මේගන් පිළිතුරු දුන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවත් එවැනි කිසිඳු සිදුවීමක් සිදු නොවූ බවත්ය. එහෙත් ලොවට පෙනෙන්නට ගනු ලැබූ විවාහ උත්සවයට දින හතරකට පෙර තමා සහ හැරී කුඩා දේවස්ථානයකදී නියම වශයෙන් විවාහ වූ බවද ඇය පවසා සිටියාය.
හැරී කුමරු සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේ රජ පවුල තුළ අන් සෑම සාමාජිකයකු මෙන්ම තමා ‘උගුලකට අසුවූ’ ජීවිතයක් ගත කරමින් සිටි බවයි. එම ‘උගුල’ කුමක්දැයි ඔෆ්රා විමසා සිටි අතර. එයට පිළිතුරු ලෙස හැරී පවසා සිටියේ එය ‘ක්‍රමය විසින් අටවන ලද උගුලක් බවත්, තමා පමණක් නොව රජ පවුලේ සෑම සාමාජිකයකුම එම උගුලට හසු වී සිටින බවත්ය. තම පියා සහ සහෝදරයාද එයට අයත්’ බවය. හැරී කුමරු තම මව වු ඩයනා කුමරියට බෙහෙවින් සෙනෙහස දැක්වීය. ඇයගෙ අකල් මණයට රජ පවුල වගකිව යුතු බවට ලෝකයෙන්ම අපවාද නැගෙණු කුමරා බලා සිටින්නට සැක නැත.
තම මවගේ ජීවිතය අකාලේ විනාශ වීම සම්බන්ධව රජ පවුල මෙන්ම තම පියා සම්බන්ධවද ඔහු තුළ කිසියම් කහටක් පැවතියාට සැක නැත ඔහු මෙවර සම්මුඛ සාකච්ඡාවේදී රජ පවුලේ කිරුළට සමීප සාමාජිකයකු ලෙස රජ පවුල කීතු කීතු කොට දැම්මේය.
ඔහු පවසා සිටියේ තම පියා වන චාල්ස් කුමරා තමා රජ පවුලෙන් නික්මීමත් සමඟ තමාගේ දුරකථන ඇමතුම්වලට පිළිතුරු නොදුන් බවයි. ඔෆ්රා තම පියා පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේදී එක්වරම පිළිතුරු නොදුන් හැරී කුමරා මඳක් වේලා නිහඬව සිටියේය. පසුව ඔහු පවසා සිටියේ තමාට සැබවින්ම තමා ‘අත් හැර දමන ලද බව’ හැඟී ගිය බවයි.
එහෙත් තමා සහ බ්‍රිතාන්‍යයේ රැජින වන තම මිත්තනිය අතර පවතින්නේ යහපත් සබඳතාවක් බවද හැරී පවසා සිටියේය.
තම සහෝදරයා සහ තමා අතර පවතින සම්බන්ධය පිළිබඳව අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ තමන් ඔහුට දැඩිව ආදරය කරන නමුත් තමන් දෙදෙනා ‘මාවත් දෙකක’ ගමන් කරන බවයි. තමාගේ සහ මේගන්ගේ දරුවන්ගේ ‘වර්ගය’ පිළිබඳව රජ පවුලේ මතය කෙසේ වී දැයි ඔෆ්රා ඇසූ ප්‍රශ්නයට හැරී පිළිතුරු දුන්නේ ඒ සම්බන්ධව ඇති වූ දෙබස තමන් ලොවට අනාවරණය නොකරන බවයි. කෙසේ වුවද තමා රජපවුලෙන් ඉවත් වූ පසු තමාට රජ පවුලෙන් ලැබුණු වියදම් කපා හැරුණු බවත් තමන්ට තම වියදම් පිරිමසා ගැනීමට සිදුවූ බවත් ඔහු පවසා සිටියේය.
රජ පවුලෙන් ඉවත්වීම සම්බන්ධව තමාට පෙර සිටම මතයක් වූ බව පවසා සිටි හැරී කුමරු ඒ සම්බන්ධව මේගන්ගෙන් බලකිරීමක් නොවූ බව පවසා සිටියේ ඔවුන් රජ පවුලෙන් ඉවත්වීම ‘මෙග්සිට්’ ලෙස බ්‍රිතාන්‍යයන් විසින් නම් කරනු ලැබුවේ එය මේගන් ගේ වුවමනාවට සිදුවන දෙයක් ලෙස සැලකූ බැවිනි.
කෙසේ වුවද රජ පවුල පිළිබඳ පෙර සිට පැවති කිසියම් පීඩාවක් හැරී කුමරා අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ඔස්සේ නිදහස් කර හැරි බවක් වටහා ගත හැකිය. රජ පවුල බොහෝ නිදහස් අදහස් ඇති පුද්ගලයන්ට මර උගුලක් වුවද බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් රජ පවුල උතුම් කොට සලකන බව පැහැදිලිය.
ඔවුන් රජ පවුල සලකන්නේ සමස්ත ලෝකයේ උත්තම රජ බ්‍රිතාන්‍ය බව ලොවට පෙන්වන ජීවමාන සාධකය ලෙසිනි. උදාහරණයක් ලෙස විලියම් කුමරු විවාහ වූ කේට් කුමරියගේ පවුල සැලකිය හැකිය. ඔවුන් රජ පවුලේ පැවැත්ම ඉහළින්ම අනුමත කරන, එයට උර දෙන කොටසට අයත්ය.
හැරී කුමරා සාමාන්‍ය පවුලක උපත ලද වරක් දික්කසාද වූ මේගන් සමඟ විවාහ වීම බොහෝ බ්‍රිතාන්‍යයන් අනුමත නොකළද ලෝකයේ බොහෝ රටවල ජනතාව ඔහුට ආදරය දැක්වූයේ ඔහු සම්ප්‍රදායෙන් නික්මීම හේතුවෙනි.
පසුව හැරී කුමරා මේගන් සමඟ රජ පවුලෙන් නික්මීමටද කටයුතු කළේය. චාල්ස් කුමරාගෙන් දික්කසාද වීමත් සමඟ ඩයනා කුමරියද තවදුරටත් රජ පවුලේ සාමාජිකාවක නොවූවාය. එහෙත් මේගන් සමඟ විවාහ වීමට හැරී කුමරාට රජ පවුලේ අනුමැතිය ලැබුණු බවද අමතක කළ යුතු නැත. එහිදී අතීත අත්දැකීම් ඔස්සේ හෝ රජ පවුල කිසියම් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කළ බව පැහැදිලිය. මංගල අල්තාරය වෙත මේගන් කැඳවාගෙන ආවේද චාල්ස් කුමරා විසින් බව හැරී අමතක කිරීම කණගාටුවට කරුණකි. ඒ වන විටත් හැරී විසින් බ්‍රිතාන්‍ය රජ පවුලේ පවුරු පදනම් දෙදරවා අවසන්ය. එයට හොඳම උදාහරණය ඇමරිකානු ජාතික, වරක් දික්කසාද මේගන් රජ පවුලේ කුමරියක ලෙස පවුලට බඳවා ගැනීමට රජ පවුලේ අනුමැතිය හිමිවීමය.
තමන් යමක් හෙළා දැකීම, හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ අදහස් කුමක් වුවද තමන් නියෝජනය කළ ස්ථානයට, නැතහොත් තමන්ගේ මහ ගෙදරට ගල් ගැසීම කොතරම් සදාචාර සම්පන්න දැයි හැරී කුමරා සිතන්නට නැති බව පැහැදිලිය.
මෙවැනි සංවාද සමාජයට ගෙන ඒම තුළින් මාධ්‍ය ආයතන බලාපොරොත්තු වන්නේ තම ආදායම ඉහළ නංවා ගැනීම පමණි. ඇතැම් විට මේ සංවාදයට සහභාගී වීම වෙනුවෙන් හැරී මේගන් යුවළට අති විශාල මුදලක් ලැබුණා වුවද විය හැකිය. මේ සංවාදය විකාශය කිරීම මඟින් එය නිෂ්පාදනය කළ සීබීඑස් ප්‍රයිම් ටයිම් වෙනුවෙන් හාර්පෝ නිෂ්පාදක කණ්ඩායම කොතරම් ලාභයක් උපයා ඇත්දැයි තවමත් හෙළිදරව් කර නැත. එහෙත් ලොව පුරා මේ සංවාදය ජනප්‍රිය වූ බව නම් නිසැකය.
හැරී සහ මේගන් සංවාදය තුළදී පවසා සිටියේ තමන් තවත් දරුවකු අපේක්ෂා කරන බවත්, ඒ දියණියක් බවත්ය. සැබවින්ම ඔවුන් මහත් වූ සෙනෙහසින් දිවි ගෙවන යුවළක් බව පැහැදිලිය.
ඇතැම් විට රජ පවුලෙන් තම මවට වූ අසාධාරණය, තම පියාගෙන් තම මවට සිදුවූ අසාධාරණය පිළිබඳ හැඟීමක් හැරී කුමරා තුළ පවතිනවා වුවද විය හැකිය. එහෙත් එසේ වූ පළියට තම ඥාතීන්ගේ රහස් ලොවට විකුණා ලැබෙන තෘප්තිය කුමක්දැයි සිතිය යුතුය.
මේගන් සමඟ සතුටින් දිවි ගෙවීමට ඉඩ හැරීම තුළින්ම හැරී කුමරා රජ පවුලේ කුලුනුවලට පහර දී අඩපණ කර ඇති බව පැහැදිලිය. තවත් ඉතිරිව ඇත්තේ සතුටින් නිහඬව දිවි ගෙවන අතර ඒ දුර්වල කුලුනු හේතුවෙන් බිමට ඇද හැළෙන රාජ මාළිගා දෙස බලා සිටීම පමණය.