මන්දිරය අහිමිවූ බයිඩ්න්ගේ බල්ලෝ | සිළුමිණ

මන්දිරය අහිමිවූ බයිඩ්න්ගේ බල්ලෝ

පසුගිය ජනවාරි 20වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ජෝ බයිඩ්න් තම බිරිය ආචාර්ය ජිල් බයිඩ්න් ද සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණ ඇත්තේ පවුලේ සෙසු සාමාජිකයන් ලෙස ස්වකීය බලු සුරතලුන් දෙදෙනාද කැටුවය.

 

වසර හතරකට පසු ඇමරිකාවේ ජනාධිපති නිල නිවසට හෙවත් ධවල මන්දිරයට යළිත් සුරතල් සතුන් ප්‍රවිෂ්ට විය. ඒ ජෝ බයිඩ්න් යුවළ ධවල මන්දිරයේ පදිංචියට පැමිණීමත් සමඟිනි. ඔහුට පෙර සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුරතල් සතුන් ඇති කළේ නැත.

කෙසේ වුවද දැන් වාර්තා වන අන්දමට රජ ගෙදරට පැමිණ මාස දෙකක් ඉක්ම යෑමටත් පෙර බයිඩ්න්ගේ බල්ලන්ට යළි ‘ගෙදර යෑමට’ සිදුවී තිබේ. එයට හේතුව වී ඇත්තේ එම බල්ලන්ගේ ‘අකීකරු හැසිරීමයි’.

ජනාධිපති ජෝ බයිඩ්න් සුරතල් සතුන්ට ඉතා ප්‍රිය පුද්ගලයකු වන අතර ඔහු සතුව සුරතල් සුනඛයන් දෙදෙනෙකු වේ. ඔහුන් දෙදෙනාම ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් වේ.

ඔවුන් නම් කර ඇත්තේ චෑම්ප් සහ මේජර් යනුවෙනි. මේ දෙදෙනා අතරින් වයසින් අඩු ළාබාලයා වන්නේ මේජර්ය. වාර්තා වන අන්දමට රජ ගෙදර වාසය අහිමි කර ගන්නේ මෙකී ‘මේජර්’ ය.

පසුගිය ජනවාරි 20වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ජෝ බයිඩ්න් තම බිරිය ආචාර්ය ජිල් බයිඩ්න් ද සමඟ ධවල මන්දිරයේ පදිංචියට පැමිණ ඇත්තේ පවුලේ සෙසු සාමාජිකයන් ලෙස ස්වකීය බලු සුරතලුන් දෙදෙනාද කැටුවය. වියපත් මුත්තණුවකු සහ මිත්තණියක වන ජනාධිපතිවරයා සහ ආර්යාවගේ දරුවන් විවාහ ප්‍රාප්තව වෙනම පවුල් ජිවිත ගත කරන බැවින් ඔවුන්ගේ තනි නොතනියට මේ සුනඛ සුරතලුන් දෙදෙනා පමණක්ම විය.

එහෙත් ධවල මන්දිරයට පැමිණ ඉතා කෙටි කලකින් මේජර් තම දඟකාරකකම් පෙන්වන්නට පටන් ගත්තේය. ඒ චෑම්ප්ගේ ද සහයෝගය ලබා ගනිමිනි.

වාර්තා වන අන්දමට මේජර් ධවල මන්දිර ආරක්ෂක අංශයේ සාමාජිකයකුට තුවාළ සිදු කර ඇත්තේ ඒ සඳහා චෑම්ප්වද සහභාගී කර ගනිමිනි.

මේ සුනඛ ප්‍රහාරට ලක්වූ ආරක්ෂක අංශ සාමාජිකයාගේ තත්ත්වය මේ දක්වා මාධ්‍ය මගින් වාර්තා කොට නැති බැවින් බොහෝ දෙනා සැක පළකරන්නේ ඔහු බරපතළ තුවාල ලබා ඇති බවය.

කෙසේ වුවද තම සුරතලුන් සිදු කළ මේ ප්‍රහාරය වාර්තා වීමත් සමඟ ජනාධිපති බයිඩ්න් බෙහෙවින් කනගාටුවට පත්ව ඇති අතර තමා කොරතම් ආදරය දැක්වූවද නොහික්මුණු ගති පෙන්වන මේ අකීකරු සුනඛයන් යළි ඩෙලවෙයාර් ප්‍රාන්තයේ තම නිවෙස බලා යැවීමට නියෝග ලබා දී තිබේ.

එමෙන්ම තම සුනඛයන්‌ෙග් හැසිරීම පිළිබඳ ඔහු බොහෝ කනගාටුවට පත් වූ බවද වාර්තා වී තිබේ.

මේ සුනඛයන් ධවල මන්දිරයෙන් ඉවත් කිරීමේ සිදුවීමට එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණද සීඑන්එන් සේවය පසුගියදා බයිඩ්න්ට තම බල්ලන්ව හෝ කීකරු කර ගැනීමට නොහැකි බවට අඟවමින් වාර්තාවක් එළිදැක්වීය.

කෙසේ වුවද මේ සුනඛයන් මෙසේ අකීකරු වීමට හේතුව නව නිවෙසේ නව පරිසරයට හුරු වීමේදී ඇතිවූ අපහසුතා බවට අදහස්ද ඉදිරිපත් වී තිබේ.

එමෙන්ම මේ සුනඛයන් යළිත් වරක් ධවල මන්දිරයට ගෙන එනවාද, නැතහොත් ඔවුන් දිගටම ඩෙලවෙයාර්හි සිටින්නට ඉඩ හරිනවාද යන්න පිළීබඳව ජනාධිපතිවරයා තවමත් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වී තිබේ.

සීඑන්එන් සේවය ජනාධිපතිධුරයට තරග කරන අවස්ථාවේදී බයිඩ්න් පැවසූ අතීත රස මතක ඉස්මතු කරමින් තම වාර්තාව අවසන් කර තිබිණි.

එහි බයිඩ්න් ජනාධීපතිවරයා පවසා තිබුණේ තම සුනඛයන් දෙදෙනා වඩා හොඳින් හික්මවා ඇති බවයි. ඒ අතරින්ද වඩා වැඩිමහල් චෑම්ප් ඉතා කීකරු සුනඛයෙක් බවත් තමා රහස් ඔත්තු සේවාවක සේවය කරන බව ඔහු සිතා සිටින බවත් බයිඩ්න් වැඩිදුරටත් සඳහන් කර තිබිණි. එහෙත් දෙදෙනා අතරින් වඩා දඟකාරයා වයසින් ළාබාල මේජර් බව පැවසූ ජනාධිපතිවරයා ඔහු කීකරු වන්නේ තම බිරියට බවත්, ඇය ඔහුට නිවසේ ගෘහ භාණ්ඩ මත නැගීමෙන් වැළකීමට නියෝග ලබා දෙන බවත් පවසා තිබේ.

කෙසේ වුවද ධවල මන්දිරයේ සුරතල් සතුන් දකින්නට, ඔවුන් ජනාධිපති පවුල සමඟ ජිවත් වන අන්දම අසන්නට දකින්නට කැමති ඇමරිකානු ජනතාවගේ එකම පැතුම නම් මේ දඟකාරයන් දෙදෙනා යළි ධවල මන්දිරයට පැමිණෙනු දැකීමය.

Comments