ආදරය කරන හැටි චීනයේ පාසල් පාඩම් මාලාවට එක්වෙයි | සිළුමිණ

ආදරය කරන හැටි චීනයේ පාසල් පාඩම් මාලාවට එක්වෙයි

චීනයේ කසාද ප්‍රතිශතයට වඩා දික්කසාද ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බව වාර්තාවන අතර උපත් අනුපාතයද ඊට සාපේක්ෂව අඩුවෙමින් තිබේ.

මේ තත්ත්වය මත ‘හැඟීම් පිළිබඳ අධ්‍යාපනය’ පාසලේ සිට අනාගත පරපුරට ලබා දීම කෙරෙහි චීන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

 

 

පසුගියදා චීනයේ දේශපාලන පක්ෂය ප්‍රධානව රැස්වීම් මාලාවක් පැවැත්වූ අතර එම රැස්වීම්වල ප්‍රධාන අරමුණ වී තිබුණේ චිනයේ අනාගත සමාජය කෙසේ විය යුතුද යන්න සම්බන්ධව වැදගත් තීරණ රාශියක් ගැනීමය. එහිදී තීරණ රැසක් ගනු ලැබූ අතර ඒ සියල්ල එක්ව අනාගත චීනයේ ජනසමාජය ඉතා යහපත් ලෙස හැඩගැස්වීම චීන බලධාරීන්ගේ අරමුණ විය.

මේ යෝජනා සම්මත වූ මහා රැස්වීම හඳුන්වා ඇත්තේ Chines People’s political consultative conference යනුවෙනි.

එලෙස එරට බලධාරීන් ගනු ලැබූ තීරණ අතරින් ඇතැම් ඒවා පුදුම උපදවන සුලු විය. චීනය දැනටමත් ලෝකයේ වැඩිම ජනහගනය සහිත රට වන අතර ජනගහන පාලනයට චීනය කටයුතු කරනු ලැබුවේ බොහෝ ඈත කාලයේ සිටය. එහෙත් මේ වන විට චීන බලධාරීන් වටහාගෙන ඇත්තේ අතීතයේ සිට ජනගහනය පාලනය කිරීමෙන් තම රටේ වැඩිහිටි ජනගහනය වේගයෙන් වැඩිවෙමින් පවතින බවයි. ඒ අනුව පවුලකට එක් දරු ප්‍රතිපත්තිය පවුලකට දරුවන් දෙදෙනෙකු දක්වා වැඩි කිරීමට චීන බලධාරීන් මීට පෙර කටයුතු කර තිබුණද තවදුරටත් වර්ධනය වන වැඩිහිටි ශ්‍රම බළකාය සම්බන්ධව ඔවුන් මේ රැස්වීම් අතරවාරයේදීද වැදගත් තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට චීනය දැවැන්ත ආර්ථික වර්ධනයක් අත් කරගෙන ඇති අතරම එයට සාපේක්ෂව ඉතා සාමාන්‍යයෙන් සිදුවන අන්දමට දැවැන්ත සමාජමය කඩාවැටීමක් සිදුවෙමින් පවතින බවද චීන බලධාරීන් වටහාගෙන තිබේ. එයට පිළියම් ලෙස සමාජය තුළ වඩා මානවවාදී ගුණධර්ම වර්ධනය කිරීමට අනුබල දීම සහ ජනතාව තුළ ගුණධර්ම වගාකිරීමට කටයුතු කිරීමට චීන බලධාරීන්ගෙ අවධානය යොමු වී තිබේ. මේ වන විට චීනයේ කසාද ප්‍රතිශතයට වඩා දික්කසාද ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බව වාර්තාවන අතර උපත් අනුපාතයද ඊට සාපේක්ෂව අඩුවෙමින් තිබේ. මේ තත්ත්වය මත ‘හැඟීම් පිළිබඳ අධ්‍යාපනය’ පාසලේ සිට අනාගත පරපුරට ලබා දීම කෙරෙහි චීන බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මේ චීන දේශපාලන බලධාරීන්ගේ තීරණ දැනුම්දීම සම්බන්ධව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම කමිටු සාමාජික යූ ක්සින්වෙයි පවසා සිටියේ බොහෝ චීන සිසුන් ආදරය නොහඳුනන බවයි. ඔවුන් ආදරය වෙනුවට හඳුනා ගන්නේ ලිංගිකත්වය පමණක් බවත් එබැවින් ඔවුන් ප්‍රේම සබඳතා වෙනුවට ලිංගික ප්‍රචණ්ඩත්වය වෙත යොමුවෙමින් සිටින බවත්ය.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා චීනයේ පාසල්වල පාඩම් මාලාවට ආදරය සෙනෙහස දැක්වීම පාඩමක් ලෙස එක් කිරිමටද චීන බලධාරින්ගේ අවධානය යොමු වී ඇති බව යූ ක්සින්වෙයි පවසා සිටියේය.

බලධාරීන් ගත් මේ තීරණවලට චීනයේ සමාජ මාධ්‍ය ඔස්සේද සහය හිමිවෙමින් පවතින බවද වාර්තා වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී චීනයේ පාඩම් මාලා අතරට ‘ආදරය දැක්වීමේ සහ විවාහ වීමේ’ පාඩම්ද ඇතුළත් වීමට නියමිතය. මීට අමතරව සුරතල් සතුන් රැකබලා ගැනීම මෙන්ම අමතර ඉංග්‍රීසි පාඩම් මාලාද පාසල් දරුවන්ට අනිවාර්ය වනු ඇති බව පැවසේ.

මේ වන විට මහා මාර්ගවල සුරතල් සතුන් අත්හැර යෑම චීනයේ දැවැන්ත අර්බුදයක් බවට පත්වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී සුරතල් සතුන්ට කරුණාව දැක්වීම, ඔවුන් රැකබලා ගැනීමේ ඇති මානවීය වැදගත්කම ජනතාව උගැන්වීමට කටයුතු කරන අතරම නිවෙස්වල ඇතිකරන සතුන්ගේ තොරතුරු ඇතුළත් චිපයක් එම සතුන් ආශ්‍රිතව පැවැතීමට කටයුතු යෙදීම කෙරෙහිද චීන බලධාරීන් කටයුතු යොදනු ඇතැයි පැවසේ.

එමෙන්ම මේ නීති අනුව ජීවිතය පවත්වා ගන්නා පුද්ගලයන්ට සමාජ දර්ශකයක් අනුව අගය කිරීමේ වැඩපිළිවෙළක්ද සම්පාදනය කිරීම කෙරෙහි චීන බලධාරීන් අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වේ.

මේ රැස්වීමේ දී ගනු ලැබූ වැදගත් තීරණ සම්බන්ධව දැනුම් දුන් එහි සාමාජික යු ක්සින්වෙයි වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී චීනයේ පාසල් සිසුන්ට ගණිතය සහ චීන භාෂාව මෙන්ම ඉංග්‍රිසි විෂයද අනිවාර්ය වනු ඇති බවයි.

මේ සියල්ල මඟින් අනාගතයේ ශක්තිමත් ආර්ථිකයක් සමඟ මානව ගුණධර්ම සහිත මිනිසුන්ගෙන් පිරුණු සමාජයක් බිහි කිරීම චීන බලධාරීන්ගේ අරමුණ බවද එම ප්‍රකාශකවරයා පවසා තිබේ.

 

 

Comments