සෝපානයට හසුව වෙන් නොවූ අධිෂ්ඨානය දිවිජ් ෂා ගේ පැරාලිම්පික් රන් සිහිනයක් ව පැළවෙයි | සිළුමිණ

සෝපානයට හසුව වෙන් නොවූ අධිෂ්ඨානය දිවිජ් ෂා ගේ පැරාලිම්පික් රන් සිහිනයක් ව පැළවෙයි

යමක් කරනවාමයි කියා හිතට ගත්තොත් කරන්න බැරි වෙන කිසිම දෙයක් අපිට නෑ

අද මට මගේ නැතිවුණ දකුණු අත ගැන හිත හිතා දුක් වෙන්න වෙලාවක් නෑ. අපි අපේ හිත්වලින් දුරුකර ගන්නම ඕනැ දෙයක් තමයි නැතිවුණ දේවල් ගැන දුක් වෙවී පසුතැවෙමින් සිටීම

අහිමිවීම් අභිමුව බොහෝවිට ඇත්තේ බිඳවැටීම්ය. එහෙත් එවැනි අහිමිවීම් ඉදිරියේ නැඟී සිටීම් ද දැකගත හැකිය. අතිශය දුලබ එවන් වූ නැඟී සිටීම් හේතුවෙන් අතීතයට එක්වන්නේ සුන්දරත්වයකි. මේ එවන් නැඟී සිටින්නකු ගැනය.

ඉන්දියාව උපන් බිම වූ දිවිජ් ෂාගේ පියාට ‘ක්‍රිකට් උණ’ තදින්ම වැළඳී තිබුණේය. ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන්නටත්, ක්‍රිකට් ගැන කතා කරන්නටත්, ක්‍රිකට් ගැන තොරතුරු එක්රැස් කරන්නටත් දැක්වූයේ අසීමිත කැමැත්තකි, උනන්දුවකි. කෙටියෙන් කිවහොත් ඔහු ක්‍රිකට් ගැන ලියවුණු පොතක් වැනි ය.

දිවිජ්, දකින කොයි කාගේත් නෙත් සිත් ඇදගත් හුරුබුහුටි, ක්‍රියාශීලී කොලු පැටියෙකි. ඔහු අවදියෙන් සිටින සෑම මොහොතකම එක තැනක එක විදිහට සිටින්නට බැරි දඟකාරයෙකි.

“කවද හරි මගේ පුතාවත් ලෝකයම කතා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරනවා.” ඒ දිවිජ් ෂාගේ පියාගේ එකම බලාපොරොත්තුව වූයේ ය.

දැනුම් තේරුම් කාලයේදී පටන් දිවිජ්ගේ හිතට ගතට එක්වූයේ ක්‍රිකට් ය. ඒ, ක්‍රිකට්වලින් තොර ලොවක් ඔහුගේ පියාට නොවූ නිසා ය. දිවිජ් ට ඕනෑ වූයේ කවදා හෝ පියාගේ සිහිනය සැබෑවක් කිරීමට ය.

එහෙත් ඒ සිහිනයට තිබුණේ එතරම් දිගු ආයුෂක් නම් නොවේ. 1994 අප්‍රේල් 06 වැනිදා මව්පියන් ඉදිරියේදී ම සිදු වූ අනතුරකින් දිවිජ්ගේ දකුණු අතින් අඩකටත් වැඩි කොටසක් ඔහුට අහිමි විය. ඒ, විදුලි සෝපාන දොරට සිර වීමෙනි.

එවකට හය හැවිරිදි වියෙහි පසු වූ දිවිජ් ට අතේ වේදනාවට වඩා දැනුණේ හිතේ වේදනාව ය. ඒ, ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට තිබූ බලාපොරොත්තුව සුරත අහිමිවීමත් සමග සදාකාලයටම දුරස්වීම නිසා ය. තම පුතු ලෝකයම කතා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකු කරවන්නට පෙරුම් පිරූ දිවිජ්ගේ පියාගේ මානසිකත්වය බින්දුවටත් වඩා පහළටම කඩාවැටුණේ ය. එහෙත් අන්තිමේදී හිත හදාගත් ඔහු දිවිජ් දිරිගැන්වූයේ ය.

“පුතේ, අපි අනිවාර්යයෙන්ම එක දෙයක් තේරුම් ගන්න ඕනැ. ඒ තමයි අපි ළඟ තියෙන හැම දෙයක්ම හැමදාම එකම විදිහට තියෙන්නෙ නැති බව. ඔයාගෙ දකුණු අත නැතිවුණා. ඒක පිරිමහන්න බැරි පාඩුවක් බව ඇත්ත. ඒ එක්කම ඔයා එක දෙයක් හොඳින් හිතට ගන්න. ඒ තමයි ඔයාට නැති වුණේ දකුණු අත විතරක් බව. අනෙක් හැම දෙයක්ම ඔයාට තියෙනවා.

පුතේ, අපිට යමක් අහිමි වුණොත් ඒ අහිමි වුණ දේ ගැන පසුතැවෙන එක නෙවෙයි අපි කරන්න ඕනැ. ඉතුරු වෙලා තියෙන දේවල් ගැන සතුටු වෙන එකයි. ඒ වගේම ඒ දේවල්වලින් ලෝකයම කතා කරන දෙයක් කරන්නත් හිතට ගන්න ඕනැ” දිවිජ්ගේ වෙන්වුණු අතට වඩා කඩාවැටුණු හිත සැනසූ පියා, පුතු තුළ නව බලාපොරාත්තුවක බීජ රෝපණය කළේය.

ඒ උත්තේජනයෙන් දිවිජ් අලුත් පණක් ලබා නැඟී සිටියේය. ඔහු අලුත් ක්‍රීඩාවකට යොමුවන්නට තීරණය කළේය. ඒ, සයිකල් පැදීම ය.

දිවිජ් දැඩි අධිෂ්ඨානයක් ඇතිකර ගත්තේය. ඉන්පසු ඒ අධිෂ්ඨානය සැබෑවක් බවට පමුණුවාගන්නට මුලපිරුවේය. ඔහු කිහිප වරක්ම ඇදවැටුණේය. ඒත් මනසින් ඔහු ඇදවැටුණේ නැත. ගතින් ඇදවැටෙන වාරයක් වාරයක් පාසා සිතින් සවිමත්ව නැඟී සිටියේ ය. කෙටි කලකින් ඔහු තනි අතින් සයිකල් පැදීමේ ශූරයෙකු බවට පත්විය.

“තනි අතින් සයිකල් පදින එක කොහෙත්ම ලේසි දෙයක් නම් නෙවෙයි. ඒත් මට හිතුණෙ යමක් කරනවාමයි කියා හිතට ගත්තොත් කරන්න බැරි වෙන කිසිම දෙයක් අපිට නෑ කියා යි.” දිවිජ් සිය ආරම්භය ගැන කියන්නේ ය.

කෙසේ හෝ අදිටනින් යුතුව පාපැදි ධාවනය පුරුදු පුහුණු වු දිවිජ්ගේ ඊළඟ ඉලක්කය පාපැදි ධාවන තරගවලට ඉදිරිපත් වීම ය. ඒ ඉලක්කය සපුරාගත හැකිවූයේ කත්මණ්ඩු හා බහරේන් හි පැවති ආබාධිතයින් සඳහා වන ජාත්‍යන්තර පාපැදි ධාවන තරගවලට සහභාගි වීමෙනි. මේ තරග ද්විත්වයේදීම දිවිජ් රිදී පදක්කම් දිනාගත්තේ ය.

දිවිජ්ගේ මී ළඟ බලාපොරොත්තුව මේ වසරේදී ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා තරගවලියේදී පාපැදි ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනා-ගැනීම ය. එය මීට පෙර පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් කල්දමනු ලැබිණි. එහෙයින් වසරකට පසුව හෝ පැරාලිම්පික් තරගාවලිය මෙම වසරේ ජපානය තුළ සංවිධානය වනු ඇතැයි ඔහු සිටින්නේ දැඩි විශ්වාසයකිනි.

“අද මට මගේ නැතිවුණ දකුණු අත ගැන හිත හිතා දුක් වෙන්න වෙලාවක් නෑ. අපි අපේ හිත්වලින් දුරුකර ගන්නම ඕනැ දෙයක් තමයි නැතිවුණ දේවල් ගැන දුක් වෙවී පසුතැවෙමින් සිටීම” ඒ, දිවිජ් ෂාගේ ජයග්‍රාහී ඉදිරි ගමනේ තේමාව ය.

 

Comments