ලොව බිහිවූ හොඳම ක්‍රිකට් කණ්ඩායම් අතර තෙවැනියා වූ 96 ලෝක කුසලාන වීරයෝ | සිළුමිණ

ලොව බිහිවූ හොඳම ක්‍රිකට් කණ්ඩායම් අතර තෙවැනියා වූ 96 ලෝක කුසලාන වීරයෝ

 

දිනය 1996 වසරේ මාර්තු 17 වැනිදාය. ස්ථානය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. ඒ විල්ස් ලෝක කුසලාන වෙනුවෙන් පැවැති අවසන් මහා තරගයයි. එම තරගය නිමා වෙද්දී කලින් ලෝක කුසලාන දිනූ කණ්ඩායම් සියල්ල අභිභවා නවතම ශුරයෝ පිරිසක් බිහිව සිටියහ. ඒ අභිමානවත් ජයග්‍රාහකයා වූයේ ශ්‍රී ලංකාවයි.

එකී ලෝක කුසලාන ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ඉතිහාසයේ සනිටුහන්ව ඇත්තේ අපට හිමි වූ පළමුවැනි කණ්ඩායම් ලෝක ශූරතාව ලෙසය. මීට කලින් 1948 ඩන්කන් වයිට් දිනූ ඕලිම්පික් රිදී පදක්කමත්, 1973 දී මොහොමඩ් ලාෆිර් දිනූ බිලියඩ් ලෝක ශුරතාව පමණක් අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණ විය. ඒ සුපිරි ජයග්‍රහණ දෙක අතරට තවත් අමරණීය ජයග්‍රහණයක් සනිටුහන් කිරීම අදටත් අභිමානයෙන් යුතුව කතා කරන දැවැන්තම ක්‍රීඩා ජයග්‍රහණයකි.

1996 ශ්‍රී ලංකා කණ්ඩායමේ “විල්ස් කුසලාන” ජයග්‍රහණයේ විජයග්‍රාහී අවස්ථා පෙළ ගැසෙන්නේ මෙලෙසිනි.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම

අර්ජුන රණතුංග (නායක), අරවින්ද ද සිල්වා (උපනායක), රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන, මාවන් අතපත්තු, දුලිප් මෙන්ඩිස් (කළමනාකරු) ඩේව් වට්මෝර් (පුහුණුකරු) ඇලෙක්ස් කොන්ටෝරි (භෞත චිකිත්සක)

පළමු වටයේ තරග

සිම්බාබ්වේ සමඟ කඩුලු 6 ක ජයක්, ඉන්දියාව සමඟ කඩුලු 6 ක ජයක්, කෙන්යාව සමඟ ලකුණු 144 ක ජයක්

ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පළමු වටයේ තරගවලදී ශ්‍රී ලංකාව සමඟ තරග වැදුණේ නැත. එහෙයින් නිතරග ජයග්‍රහණ හිමිවිණි.

අර්ධ අවසාන පූර්ව තරගය - එංගලන්තය සමඟ කඩුලු 5 ක ජයක්,

අවසාන පූර්ව තරගය- ඉන්දියාව සමඟ ලකුණු 131ක ජයක්

අවසාන තරගය - ඔස්ට්‍රේලියාව සමඟ කඩුලු 7 ජයක්

ඔස්ට්‍රේලියාව - ලකුණු 241 /7 (ඕවර 50 ක දී) (මාක් ටේලර් 74 , රිකී පොන්ටින් 45, මයිකල් බෙවන් නොදැවී 36, අරවින්ද ද සිල්වා 3/42).

ශ්‍රී ලංකාව - ලකුණු 245/3 (ඕවර 46.2 කදී) (අරවින්ද ද සිල්වා නොදැවි 107, අසංක ගුරුසිංහ 65, අර්ජුණ රණතුංග නොදැවී 47) අවසාන තරගයේ වීරයා - අරවින්ද ද සිල්වා

ලෝක කුසලාන තරගාවලියේදී බිහි වූ නව වාර්තා

ශ්‍රී ලංකාව 398/5 - කෙන්යාව සමඟ. (මෙය එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම කණ්ඩායම් ලකුණු වාර්තාව ලෙස කාලයක් පැවතුණේය)

තරගයක මුළු ලකුණු වාර්තාව - ලකුණු 652 ක් (කඩුලු 12 ක් පමණක් දැවී) (ශ්‍රී ලංකාව 398/5 - කෙන්යාව 254/7)

ලෝක කුසලාන තරගාවලියට පළමු ශ්‍රී ලංකා ශතකය - අරවින්ද ද සිල්වා ලකුණු 145 - කෙන්යාව සමඟ

ලෝක කුසලාන තරගාවලියක වේගවත් අර්ධ ශතකයක්- අර්ජුන රණතුංග ලකුණු 50 (පන්දු 29 කදී) කෙන්යාවට එරෙහිව

පිතිකරුවන්ගේ දස්කම්

අරවින්ද ද සිල්වා- ඉනිම් 6 කදී ලකුණු 448 (89.60) 145 (කෙන්යාව සමඟ), 107 නොදැවී (ඔස්ට්‍රේලියාව සමඟ), 91 (සිම්්බාබ්වේ සමඟ.), 66 (ඉන්දියාව සමඟ)

අසංක ගුරුසිංහ ඉනිම් 6 කදී ලකුණු 307 (51.17) 87, (සිම්බාබ්වේ සමඟ), 84 (කෙන්යාව සමඟ), 65 (ඔස්ට්‍රේලියාව සමඟ)

අර්ජුන රණතුංග- ඉනිම් 6 කදී ලකුණු 241 (120.50), 82 (එංගලන්තය සමඟ)

පන්දු යවන්නන්ගේ දස්කම්

මුත්තයියා මුරලිදරන් ලකුණු 216 කඩුලු 7 (30.86)

සනත් ජයසුරිය ලකුණු 231 කඩුලු 7 (33.00) 3/12 (ඉන්දියාව සමඟ)

චමින්ද වාස් ලකුණු 193 කඩුලු 6 (32.17)

කුමාර ධර්මසේන ලකුණු 249 කඩුලු 6 (41.50)

96 ලෝක කුසලාන ජයග්‍රහණයට උරදුන් සාධක වුණේ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උනන්දුව, කැපවීම සහ නිවැරදි දැක්ම, කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සහ කළමනාකරිත්වයේ කැපවීම සහ නිවැරදි ක්‍රීඩා විලාසයත්ය.

නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රිඩකයින් පිරිස වැඩි කාලයක් එකට ක්‍රීඩා කිරීම හේතුවෙන් කණ්ඩායම තුළ ඇති වූ එකමුතුව දක්ෂතා හඳුනා ගැනීම සහ අවබෝධය කැපී පෙනුණි.

මේ අතර අවසාන මහා තරගයට පෙර දින රාත්‍රියේ නායක අර්ජුන රණතුංග ක්‍රීඩා පිටිය සහ තණතිල්ල ගැන ලබා ගත් තොරතුරු මේ ජයග්‍රහණයට හේතු වූ බව කිව යුතුය. විශේෂයෙන් ලාහෝර් ක්‍රීඩාංගණයට රාත්‍රී කාලයේ ඇද වැටෙන පින්න ගැන නායක අර්ජුන මනා අවබෝධයක් ලබා සිටියේය.එසේම කණ්ඩායමේ පළමු පිතිකරුවන් හත් දෙනා එක් දින තරග 1000 කට ආසන්නව ක්‍රීඩා කොට තිබීමද විශේෂත්වයකි.

මේ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ විශේෂ උපහාරයක් ගැනය. එංගලන්තයේ “ඩේලි මේල්” පුවත්පත මඟින් 2010 දී ලොව මෙතෙක් බිහි වූ “හොඳම ක්‍රීඩා කණ්ඩායම්” 50 ක් තෝරා ගැනීමක් සිදු කරන ලදී. එහි දී 3 වැනි ස්ථානය දිනා ගත්තේ 96 විජයග්‍රාහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

 

ඡායාරූප - ප්‍රසන්න හෙන්නායක

Comments