මම ඉස්සර ඇවිදීමේ ශූරියක් | Page 2 | සිළුමිණ

මම ඉස්සර ඇවිදීමේ ශූරියක්

 

SANJEEWANI weerasinghe

ක්‍රීඩාව කියන්නෙ හැමෝම නිරත විය යුතු ක්ෂේත්‍රයක්

මට පුංචි කනගාටුවක් තිබෙන්නේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රිඩාවක් බවට පත්වෙලා නොතිබුණු එක. ඒ කාලේ අයියලා බෝල් දානකොට මම ඒවාට මුහුණ දීලා තිබෙනවා.

‘ඈ සංජීවනී වීරසිංහ. ලස්සන ඇගේ හිත ඉස්සර වාගේම තවමත් ක්‍රීඩාවට දයාබරයි. අපි ඒ නිසා කලාකරුවාගේ ක්‍රීඩාවේ භූමිකාව ගැන කතාකරන්න ඇගේ ආලින්දයේ නතර වුණා.’

‘බොරැල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය තමයි මගේ ආරම්භක විද්‍යාලය වුණේ. එතැන මගේ අම්මාත් ගුරුවරියක් වශයෙන් සේවය කළා. පොඩි කාලේ ඉඳලාම මගේ තිබුණු විශේෂත්වයක් තමයි ඉදිරිපත්වීම. ඒක හැම ක්ෂේත්‍රයකටම එක හා සමානව ව්‍යාප්ත වෙලා තිබුණා. ඉස්සර මම හිතුවේ ක්‍රීඩා තරගයකට ගියොත් අනිවාර්යයෙන්ම දිනන්න ඕනෑ කියලමයි. දැන්නම් ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය පමණක් නොව ඊට වඩා ගැඹුරට ගිය ආධ්‍යාත්මික ව්‍යායාමයක් කියලා මම දන්නවා.’ තවමත් එදා තරමටම සුන්දරත්වයෙන් අඩුවක් නැති ගීත කලාවේ ‘ලස්සන හිත ඇත්තී’ සංජීවනී වීරසිංහ කිව්වා. මම ඇගේ කතාව ඇහුවා. ඒ කිසිම බාධා කිරීමකින් තොරව. එහෙම අහන්න හිතුණේ ඇගේ තිබුණු කටහඬ, ඒ අදහස්, එකී හඬේ උතුරමින් තිබුණු අපූර්ව ජීව ගුණය කෙරෙහි වූ දැඩි ඇදී යාම නිසා කියලයි මට සිතුණේ.

‘දැන් මම කාන්තාවක් වශයෙන් ක්‍රීඩිකාවක් නොවුණට කලාකාරිනියක්, මානව සංවර්ධන උපදේශිකාවක්, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක්, සමාජ ක්‍රියාකාරිණියක්, මවක්, දියණියක්, බිරියක්, සොහොයුරියක් ඇතුළු විවිධ පැතිකඩවල් නියෝජනය කරනවා. ඒ හැම තැනකදිම ඒ ඒ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්න තමයි මම හැම වෙලාවකම උත්සුක වන්නේ. ඒක මට කරන්න හැකියාව ලැබිලා තිබෙනවා කියලයි මම විශ්වාස කරන්නෙ.’ ඈ තමන්ගේ ජීවිතය ගලා යන ආකාරය ගැන කෙටි හැඳින්වීමක් කළා.

‘ක්‍රීඩාවේ දී සහභාගිත්වය තමයි වැදගත් වන්නේ කියන එක මම තේරුම් ගත්තේ පාසල් කාලයේදීමයි. පාසලේදී මට ක්‍රීඩාවට හරි කලාවට හරි ඉදිරිපත් වෙන්න ලැබුණු අවස්ථා මම පැහැර හැරියේ නැහැ. ඇගයීම් ලැබෙනවට මා තුළ පුංචි කාලේ ඉඳලා කැමැත්තක් තිබුණා කියලා මට මතකයි. මම සංඝමිත්තා විද්‍යාලයෙන් දෙවනුව ගියේ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයට. ඒ කාලේ සාහිත්‍ය, කලා ආදී බොහෝ සංගම් හි සාමාජිකාවක් වුණා. ඒ සියලු දේ අද මම ඉන්න තත්ත්වයට එන්න හේතුවක් වුණා. ඒ නිසා මම අනාගත දූ දරු පරපුරට කියන්නේ කලාව, ක්‍රීඩාව ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් කරන්න. එය මහා පෞරුෂයක් ගොඩනංවනවා. ඔබේ ජීවිතය ඉහළට රැගෙන යනවා, යනවාමයි.’ සංජීවනී කිව්වා.

‘පාසල් යන කාලේ මම ඇවිදීමේ ශූරියක්. කොළඹ දිස්ත්‍රික්කයෙන්ම පළමුවැනියා වෙලා තිබෙනවා. ඒ වගේම කෙටි දුර ධාවන ශූරියක්. ගොඩාක් ක්‍රීඩා තරගවලට හිටියා. පාසල් ක්‍රීඩා ජීවිතය අංග සම්පූර්ණ කළා. මම පාසල් යන

කාලේ ඉඳලම පෙර කිව්ව ක්‍රීඩාවලට වගේම ක්‍රිකට් වලටත් ආදරෙයි. මොකද මගේ සොහොයුරන් දෙන්නාම ක්‍රිකට් ගැහුවා. විශේෂයෙන් ජීවක වීරසිංහ වගේම සංජීව වීරසිංහ කියන මගේ සොහොයුරන් දෙදෙනාම ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්. ඔවුන් දැන් ඉන්නේ අමෙරිකාවේ. එහෙත් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ නිසා වෙන්න ඇති මමත් ක්‍රිකට්වලට ආදරේ.’ ඈ කීවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති උන්මාදනීය ප්‍රේමය ගැන සඳහන් කරමිනුයි.

අපි ඇගේ සැමියාගේ ක්‍රිකට් සම්බන්ධතාව නොකීවේ මන්දැයි සිතමින් ඉන්න විටම, ‘මගේ සැමියා සුසන්ත ද මැල් කියන්නෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු නුවර සිට කොළඹ ඇවිත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. ඒකත් ක්‍රිකට්වලට බැඳෙන්න හේතුවක්. අනික අපේ ජාතියේ ක්‍රිකට් ක්‍රීඩකයා අර්ජුන අයියා. අර්ජුන අයියයි එයාගේ සහෝදරයෝ ටිකයි ක්‍රිකට් පුහුණු වෙලා එන්නේ අපේ ගෙදර. ඇවිත් අම්මා උයලා දෙන කෑම කාලා තමයි යන්නේ. අපි අතර තවමත් මිත්‍රත්වය එහෙමමයි. ඒවත් මට ක්‍රිකට්වලට ආදරය කරන්න හේතුවක් වුණා.’ ඇය කිව්වා. ඒ තමයි ක්‍රීඩාවේ ආනන්දනීය මතකය.

‘පස්සෙ මම ටෙනිස් ගැහුවා. එන්.සී.සී. එකේ තමයි ක්‍රීඩා කළේ. ඒ වගේම බැඩ්මින්ටන් වලටත් කැමතියි. අද කාන්තා ක්‍රිකට් තියෙනවා. එදා තිබුණේ නෑ. අද කලාව, ක්‍රීඩාව තුළින් සංවේදී භාවයක් ඇති කරනවා. මොකද මිනිසා තුළ සමතුලිත පෞරුෂයක් හදන්න පුළුවන් වෙන්නේ මේ කියන ක්‍රීඩාව හා කලාව තුළිනුයි. මට ඒ දෙකම පිහිටලා තියෙන එක වාසනාවක්.’ ඈ යළිත් කිව්වා.

‘මම ක්‍රීඩා පවුලක උපත ලැබීම නිසා තමයි හික්මීම, විනය ඇතිවුණේ. ඒ වගේම ක්‍රීඩාව හරහා සමාජ සම්බන්ධතා ගොඩනැංවෙනවා. විනය ලැබෙනවා. ක්‍රීඩා පවුලක උපන් නිසා වෙන්න ඇති මේ ක්‍රීඩා ආදරය පොඩි කාලේම ලැබුණේ. ගෙදර නම් මම දැක්කේ පුටුවලට වඩා පිති, බෝල. ගෙදර ඉන්න පුංචි කාලේ ‘ටින් කැඩුවා’. පස්සේ අයියලා එක්ක ක්‍රිකට් ගැහුවා. ක්‍රීඩාව අවබෝධ කරගත්තා, රස විඳින්න පුරුදු වුණා. ඉතින් මම අදත් අන්තර්ජාලයෙන් පමණක් නොවෙයි රූපවාහිනියෙන් තරග නරඹනවා. කෑම බීම හදාගෙන තමයි ක්‍රිකට් තරග බලන්නෙ.’ සංජීවනී වීරසිංහ කීවා.

‘මට පුංචි කනගාටුවක් තිබෙන්නේ අපේ කාලේ කාන්තා ක්‍රිකට්, කණ්ඩායම් ක්‍රිඩාවක් බවට පත්වෙලා නොතිබුණු එක. අයියලා බෝල් දානකොට මම ඒවාට මුහුණ දීලා තිබෙනවා. ටෙනිස් ක්‍රීඩාවේ තිබෙන අවධානය පිළිබඳ අභියෝගයට මම කැමතියි. මම වේගවත් ක්‍රීඩාවලට කොහොමත් කැමැතියි.’ ඈ කිව්වා.

ඇය කිව්වේ තීරණ ගැනීමේ හැකියාව ක්‍රීඩාව තුළින් ගොඩනංවන නිසා එයට වඩාත් ඇලුම් කරන බවයි. ‘දැන් පනස් එකක්නෙ. නමුත් මම කැමතියි අදත් ක්‍රීඩාවට, ක්‍රීඩා කරන්න. ක්‍රීඩාව තමයි මිනිස්සු ගොඩනංවන්නේ. යහපත් සමාජයක් හදන්නෙ.’ ඈ සමුගන්නා මොහොතේ ‘ක්‍රීඩා’ වෙත කිව්වේ ඇගේ සුන්දර සිනහව මුව පුරා විකසිත කරමින්. අපිට එතකොට හිතුණේ සංජීවනී වීරසිංහ කියන්නේ කොයිතරම් ආකර්ෂණීය පෞරුෂයක් ද, ක්‍රීඩාව ඇගේ ඒ පෞරුෂය ගොඩනංවන්න කොයිතරම් උදවු කර තිබෙනවාද කියන එකයි.

සටහන හා ඡායාරූප - සුදම් ගුණසිංහ

Comments