

දකුණු ලකේ ගාලු පුරේ හොකී ඉඩෝරයට පොද වැස්සක් ඇද හැලෙන ආකාරයක් පසුගිය සතියේ දැකගන්නට හැකි විය. ඒ ගාලු දිසාවේ පදිංචි හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා හා හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව සලසා දීම මෙන්ම ඇගයීමට ලක් කරමින් ක්‍රියාත්මක කරන ලද ගාලු දිසා පිළිමළුන් පිටුදැකීමේ හොකී තරගාවලියේ ආරම්භයත් සමඟිනි.
මෙම තරගාවලිය තුළින් ගාලු දිසා හොකී ක්‍රීඩා පවුලේ එකමුතුකම වර්ධනය කිරීම සඳහා මූලාරම්භයක් ගෙන තිබුණු බව ඒ අතරේ පෙනෙන්නට තිබුණි.
ගාල්ල දිස්ත්‍රික් හොකී සංගමයේ මුල් පුටුව හොබවන මුරාඩ් අමර්ඩීන් මහතාගේ මඟපෙන්වීම අනුව ක්‍රියාත්මක කරන ලද මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ හයක සහභාගිත්වයක් සටහන් වුණි. එහිදී කැපී පෙනුණු ඇලවීෂියස් ක්‍රීඩා සමාජය වසරේ පිරිමි ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද අභියෝග කුසලානයට හිමිකම් කියන්නට සමත් විය. ඇලවීෂියස් ක්‍රීඩා සමාජය මෑතක සිට ගාලු පුරේ පෙරමුණට පැමිණ තිබෙන හොකී කණ්ඩායමක් වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව රිච්මන්ඩ් ක්‍රීඩා සමාජයට හිමිවූ අතර විද්‍යාලෝක ක්‍රීඩා සමාජයට දෙවන අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට සිදු විය.
ඇලවීෂියස් ක්‍රීඩා සමාජය සහ රිච්මන්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවැති තීරණාත්මක අවසාන තරගයේ දී ගෝල 03-00ක පහසු ජයයක් සටහන් කර ගැනීමට ඇලවීෂියස් ක්‍රීඩකයන්ට හැකි වූහ. මෙම ගෝල ත්‍රිත්වයම තරඟයේ තුන්වන කාර්තුවේ දී සටහන් වීම ද විශේෂත්වයක් විය. එම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනුණු ලක්ෂණත් සඳරුවන් 02 සහ ටිරාන් සචින්ත 01 බැගින් ගෝල් රැස් කර ගැනීමට සමත් වූහ.
තවදුරටත් සංවර්ධනය විය යුතු බව ප්‍රදර්ශනය කරමින් කණ්ඩායම් 02 ක සහභාගිත්වයෙන් පමණක් පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව ගාල්ල හොකී සමාජය දිනා ගත්තේය.










