
අන්තර්ජාතික තලය ජය ගැනීමට ඕනෑම ක්‍රීඩාවක නිරත වන ක්රීඩකයකුට සහ ක්‍රීඩිකාවකට තම සහජ දක්ෂතාවය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එම හැකියාවන් නිසි මගට ගැනීමට තවත් සුවිශේෂී පුද්ගලයෙක් සිටිය යුතුමයි. ඒ පුහුණුකරුවෙක් හෝ පුහුණුකාරිණියකි.
පසු කලෙක අතිශයින්ම සාර්ථක වූ බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් එය අදාළ ය. විරාත් කෝලි සම්බන්ධයෙනුත් එය සත්‍යයකි. ඔහුගේ පුහුණුකරු වූ රාජ්කුමාර් ෂර්මා කෝලිගේ හැකියාව මුල සිටම නිවැරැදිව හඳුනා ගත්තේය.
මේ පුහුණුකරුවාගේ ක්‍රිකට් පුහුණු පාසලට බඳවාගත් මුල්ම සිසු කණ්ඩායමට කෝලිත් අයත් වූයේ ඒ නිසාම ය. ‘කෝලිට හැකියාවෙන් කිසිම අඩුවක් තිබුණේ නැහැ. හැබැයි ඔහු දඟවැඩ කළ නරක ළමයෙක් . නටන්නත් කැමතියි. සාදවලට සම්බන්ධ වෙන්නත් කැමතියි. ඒ වගේම ඔහු නිතරම අනුකරණය කරන්නත් කැමැත්තක් දැක්වූවා.’ රාජ් කුමාර් පවසයි.
රාජ් කුමාර්ගේ ක්‍රිකට් පුහුණු පාසලෙන් ලත් ගුරු හරුකම් තමන් අද සිටින ස්ථානයට ළගාවීමට බෙහෙවින්ම ඉවහල් වූ බව කෝලි පවසයි.
‘ඒ ක්‍රිකට් පාසලේදී සෑම දිනකදීම මම පුහුණුවීම් කළේ හරිම සතුටින්. සෑම දිනකම කිසියම් දෙයක් ඉගෙන ගත්තා.
ඔහුව නිශ්ශබ්දව තබා ගැනීම හරිම අමාරු වුණා. මම බොහෝ විට පුදුම වුණේ ඔහුගේ ආකල්ප නිසයි. ඔහු ඕනෑම ස්ථානයකදී පන්දුවට පහර දෙන්න සූදානම්ව සිටියා. එය ආරම්භක, මැද හෝ අග පෙළ වෙන්න පුළුවන්. ඒක ඔහුට ගැටලුවක් වුණේ නැහැ. හැම දිනකම වගේ පුහුණු වීම් අවසන් වූ විට මට ඔහුව බලෙන්ම ගෙදර යවන්න සිද්ධ වුණා. එතකොටත් ඔහුට ඕනෑ වුණේ තව තවත් පුහුණුවීම් වල නිරත වීමටයි.’ මෙසේ කෝලිව දැඩි ප්‍රශංසාවකට ලක් කරන්නේ අන් කවරෙකු හෝ නොව ඔහුගේ පුහුණුකරු රාජ් කුමාර්ම ය.
කෝලි සිය මූලික අධ්‍යාපනය ලැබුවේ විශාල භාර්ති පොදු පාසලේය. පසුව 09 වැනි ශ්‍රේණියේදී ඔහු පාසල මාරු කළේ ය. ඔහුගේ නව පාසල වූයේ දිල්ලියේම පිහිටි සේවියර් පාසලයි. එලෙස පාසල වෙනස් කිරීමට බලපෑවේ ද ක්‍රිකට් ක්රිඩාවමය. කෝලි ක්‍රීඩාවට අමතරව ඉගෙනීමටත් දක්ෂයෙක් වූයේ ය. ඔහු ප්‍රථම වරට දිල්ලි ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළේ 2002 වසරේ ඔක්තෝබර් මාසයේදී ය. ඒ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමිනි.
එහිදී ඔවුන් 2002-2003 පොලී උම්රිගාර් කුසලාන තරඟාවලියට ක්‍රීඩා කළහ. උම්රිගාර් යනු 1926-2006 අතර සමයේ ජීවත් වූ විශිෂ්ටතම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හෙතෙම ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස්කළ ප්‍රථම ඉන්දියානුවා ය.
ඉහත තරගාවලියේදී කෝලි ලකුණු 172ක් රැස් කිරීමට සමත් වූයේ ය. ඊළඟ තරගාවලියේදී එනම් 2003-2004 කෝලි දිල්ලි කණ්ඩායමේ නායකයා වූයේය. එවර ඔහු විසින් රැස්කර ගත් ලකුණු ගණන 390කි.
මේ දස්කම් නිසාම 2003-2004 තරගවාරයේදී විජේ මර්චන්ට් කුසලාන තරඟාවලියට සහභාගි වූ දිල්ලි කණ්ඩායමටත් කෝලිව තෝරා ගත්තේය. එය වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායමයි. කෝලි එම තරගාවලියේදී ලකුණු 470ක් රැස් කිරීමට සමත් විය. ඊට ශතක 02කි. වැඩිම නොදැවී ලකුණු 251කි.
විජේ මර්චන්ට් (1911-1987) යනු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුල් යුගයේ විශිෂ්ටතම පිතිකරුවෙකි.ඉහත තරගාවලියේ 2004-2005 ශුරයෝ වූයේ දිල්ලි කණ්ඩායමයි. ඊට කෝලි සිය දායකත්වය සැපයූවේ ලකුණු 757ක්ම රැස් කරමිනි.
ඊට ශතක දෙකක් ඇතුළත් විණි. මෙසේ කෝලි ක්‍රම ක්‍රමයෙන් දස්කම් දක්වමින් ඉදිරියටම ගියේ ය. ඒ සමඟම ඔහු කෙරෙහි වූ අවධානයත් වැඩි වන්නට විය. 2006 වසර කෝලිගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් කිහිපයක්ම සිදු වූ වසරකැයි කිවහැකිය. හෙතෙම පළමු වරට එක්දින සීමිත පන්දුවාර තරගවලට සහභාගි වූයේ ය.
හෙතෙම සිය ප්‍රථම විදෙස් ක්‍රිකට් තරග සංචාරයට එක් වූයේත් එම වසරේදීමය. ඊට මාස කිහිපයකට පසුව ඔහු සිය පළමු පෙළ මංගල තරග වරම් ලැබීය. වසර අවසානයේ ඔහුගේ යොවුන් දිවියේ විශාලම පරාජය ලැබීය. ඒ පියා වු ප්‍රේම් කෝලිගේ අකල් වියෝවයි.
වත්මනදී යොවුන් ක්‍රිකට් තරග ලෙසට වැඩි අවධානයක් යොමු වන්නේ වයස අවුරුදු 19න් පහළ තරගවලටයි. එය ඹ්නෑම ක්‍රීඩකයකුගේ ඉදිරි ගමන තීරණය කිරීමට බලපාන ප්‍රධානතම තරගාවලියකි. එහිදී වැඩි දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ප්‍රධානතම තරගාවලියකටත් සහභාගීවීමට අවස්ථාව උදා වේ. ඒ යොවුන් ලෝක කුසලාන තරගාවලියයි.










