අර්ජුන තෙන්දුල්කාර් සිහිකරවන ක්‍රිකට් පිටියේ පුත්‍ර වස්තුව | සිළුමිණ

අර්ජුන තෙන්දුල්කාර් සිහිකරවන ක්‍රිකට් පිටියේ පුත්‍ර වස්තුව

 

ඇතැමෙකු පියා මෙන් ම දස්කම් අතර ඉහළටම ගොස් පසු කලෙක ක්‍රීඩාවෙන් සමුගෙන ඇත්තේ පියාගේ නමට ද ඉදිරියෙන් තම නම ඉතිහාසයේ ඉහළින්ම රඳවමිනි.

‘පියවරුන් මෙන් දක්ෂ පුත්‍රයන් පහළවීම සුලබ නැත. එය දුලබය. එය ක්‍රිකට් පිටියේ නම් ඊටත් වඩා දුර්ලභ ය. මේ එවැනි දුර්ලභ කතාවක් ගෙතීමේ ඉන්දියානු උත්සාහයකි.’

මෙවර අයි.පි.එල්.ක්‍රීඩක වෙන්දේසියේ දැක ගැනීමට ලැබුණු විශේෂත්වයක් වූයේ සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්දුල්කාර් ඉන්දියන් රුපියල් ලක්ෂ 20කට අලෙවි වීමයි. ඒ අලෙවි වූයේ ඔහුගේ පෞද්ගලික දක්ෂතාවයකට නොව අර්ජුන්ගේ පියා වන සචින් තෙන්දුල්කාර්ගේ පෞද්ගලික දක්ෂතාවය මත පිහිටමින් බව කිව යුතුයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ පිය පුතු සම්බන්ධතා දෙස බලන විට ක්‍රීඩාවේ යෙදී ඇති පියවරුන් හා දරුවන් රැසක් දැක ගත හැකිය. මේ අතරින් ඇතැමෙකු පියා මෙන් ම දස්කම් අතර ඉහළටම ගොස් පසු කලෙක ක්‍රීඩාවෙන් සමුගෙන ඇත්තේ පියාගේ නමට ද ඉදිරියෙන් තම නම ඉතිහාසයේ ඉහළින්ම රඳවමිනි. තවත් සමහරෙක් පියාගේ සෙවනැල්ලෙන් වැසී අප්‍රකටව තම ක්‍රීඩා දිවියට සමු දුන් අවස්ථා ද ඉතිහාසයේ එමට ය.

මේ සම්බන්ධයෙන් මුලින්ම අපගේ සිහියට එන්නේ ගවස්කාර් පිය පුතු දෙපළ ගැනය. සුප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් වූ කොදෙව් දුපත්හි රොහාන් කන්හායි, ඉන්දීය ක්‍රීඩකයින් වන එම්.එල්. ජයසිම්හා හා ගුන්දප්පා විශ්වනාත් යන ක්‍රීඩකයින්ගේ නම්වල කොටස් එක් කර හිටපු ඉන්දීය නායක, සුපිරි ආරම්භක පිතිකරු සුනිල් ගවස්කාර් 1976 උපන් සිය පුතුට නම් තැබුවේ ය. ඒ රොහාන් ජය විශ්ව ගවස්කාර් යනුවෙනි.

සුනිල් ගවස්කාර් යනු එදා මෙදා තුර ලොව බිහිවූ සුපිරිතම ආරම්භක පිතිකරුවන් අතරින් අයකු වන අතරම දවා ගැනීමට අපහසු එමෙන්ම පන්දු යවන්නන් පන්දු යැවීමට මැලිකමක් දැක්වූ පිතිකරුවෙකි. 1987 ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් ශතක 34 ක් ලබා සිටි ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මුලින්ම ලකුණු දසදහස ඉක්මවා ගිය පිතිකරුවාය. එහෙත් ඔහුගේ පුත්‍රයා ඒ අයුරින් සුප්‍රකට ක්‍රීඩකයෙක් වූයේ නැත.

වාර්තා වන අන්දමට සුනිල් ගවස්කාර් දකුණත් පිතිකරුවෙකු වීමත් එකල ඉන්දීය කණ්ඩායමේ වමත් පිතිකරුවන් අඩුවීමත් යන හේතු මත ඔහු සිය පුත් රොහාන් වමත් පිතිකරුවෙකු කිරීමට උත්සාහ ගත් බවත් කියැවේ. කාලයාගේ අවෑමෙන් රොහාන් ද ක්‍රිකට් පිටියට පිය නැගු නමුත් ඔහුගේ ක්‍රීඩා දිවිය එක් දින ජගත් තරග 11 කට සිමා විණි. මෙම තරග 11 තුළ ඔහු ලත් මුළු ලකුණු සංඛ්‍යාව 151 ක් පමණකි. ඊට එක් අර්ධ ශතකයක් පමණක් ඇතුළත්ය. ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට වරම් නොලද ඔහු අයි.පි.එල්.තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් පිල ද නියෝජනය කළේය.

සිය පියාගේ අසලකට හෝ පැමිණීමට ඔහුට තම ක්‍රිකට් දිවිය තුළ නොහැකිවූ අතර අද ඔහු තම පියාගේ තවත් මාවතක් තෝරාගෙන තිබේ. ඒ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කිරීමය.

රිචඩ්ස් පිය - පුතුන්

සුපිරි කොදෙව් පිතිකරු විවියන් රිචර්ඩ්ස් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඔහුට පන්දුයැවීමට ද පන්දුයවන්නන් කිසිසේත්ම කැමති නොවූයේ ඔහු එතරම් දරුණු පිතිකරුවකු වූ හෙයිනි. එය මැලිකමක් නොව බියකි. මන්ද පන්දුව ක්‍රීඩා පිටියට එපිටින් කොහේ නතර වේදැයි කිව නොහැකි විම පමණක් නොව ඔවුන්ගේ ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් නිර්මාණය වන අවිනිශ්චිත භාවය ඊට හේතුවිය.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පසුකලෙක ඔහුගේ පුත්‍රයා සහභාගි විය. ඔහු පියා නියෝජනය කළ සමර්සෙට් හි ටෝන්ටන්හි දී 1983 උපත ලබා තිබිණි. විශ්ව විද්‍යාල මට්ටමෙන් මෙන්ම එංගලන්තයේ එම්.සි.සි.කණ්ඩායම වෙනුවෙන් ද, ලිවොර්ඩ් දුපත් කණ්ඩායම වෙනුවෙන් ද තරග වැදුණු ඔහු කොදෙව් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව කිසිදා හිමිකරගත්තේ නැත.

බොතම් පිය- පුතුන්

හැත්තෑව, අසුව, අනුව දශකවල එංගලන්තය නියෝජනය කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් බෝතම් පිටියේදී මෙන්ම ඉන් පිටතදීත් වඩාත් කතා බහට ලක්වූ චරිතයකැයි කිවහැකිය. 1977 උපත ලද ඔහුගේ පුත් ලියම් බෝතම් ද කලක් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කළේ හැම්ප්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමිනි. නමුත් ඔහුටද තම මව් රට නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවූයේ නැත. පසුව ඔහු 1997 පමණ කාලයේදී රග්බි ක්‍රීඩාව තෝරා ගත්තේය.

කවුඩ්‍රි පිය - පුතුන්

හිටපු එංගලන්ත නායකයෙකු වූ කොලින් කවුඩ්‍රි මුලින්ම ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා වුවද 1988 ටෙස්ට් වරම් ලැබූ ඔහුගේ පුතුන් අතරින් එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රිස්ටෝපර් කවුඩ්‍රි පියා මෙන්ම එංගලන්ත නායකත්වය දැරීමට අවස්ථාව හිමිකරගත්තේය. එහෙත් ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග ගණන 06 කට සිමා විණි. ඔහු නායකත්වය දැරූ මුල් තරගයෙන්ම ඔහුගේ ටෙස්ට් දිවිය අවසන් විය.

හැඩ්ලි පිය- පුතුන්

පිය පුතු සම්බන්ධතා අතරින් වඩාත් සාර්ථකත්වයට පත් ක්‍රීඩකයින් දෙස බලන විට නවසීලන්තයේ හැඩ්ලි පවුල කැපී පෙනෙයි. එහිදී සුපිරි පන්දුයවන ක්‍රීඩකයකු වූ ශ්‍රීමත් රීචර්ඩ් හැඩ්ලි හා ඔහුගේ පියා වෝල්ටර් හැඩ්ලි විශේෂයෙන් කැපී පෙනෙයි. නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 11 කට ක්‍රීඩා කළ වෝල්ටර් මෙන්ම ඔහු ගේ පුතුන් තිදෙනාම නවසීලන්තය නියෝජනය කළහ. සිය පියාද අභිබවමින් වැඩි සාර්ථකත්වයක් අත් කර ගත්තේ රීචර්ඩ් හැඩ්ලිය. ඔහු 1990 ටෙස්ට් පිටියෙන් සමු ගන්නා විට ටෙස්ට් තරග 86 කදී කඩුලු 431 ක් දවා ලකුණු 3124 අත් කරගෙන සිටියේ ලොව කැපී පෙනුණු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසිණි.

බ්‍රෝඩ් පිය- පුතුන්

අසුව දශකයේ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ වත්මන්හි තරග තිරකවරයෙකු ද වන ක්‍රිස් බ්‍රෝඩ්ගේ පුත් ස්ටුවර්ට් බ්‍රෝඩ් වත්මන් එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු වන අතර බිඳ හෙලා ඇති ටෙස්ට් කඩුලු ගණන 517 කි. පියා ආරම්හක පිතිකරුවෙකු වූ පරිද්දෙන් පුතා ආරම්භක පන්දු යවන්නෙකු වීම මෙහිදී විශේෂිතය.

කෙයාන්ස් පිය- පුතුන්

ක්‍රිකට් පිටියේ එකම ආකාරයකින් කැපී පෙනුණු නවසීලන්තයේ ලාන්ස් කෙයාන්ස් හා ක්‍රිස් කෙයාන්ස් දෙදෙනාම තුන් ඉරියව් දක්ෂයින් ය.

පොලොක් පිය- පුතුන්

එමෙන්ම දකුණු අප්‍රිකාවේ පීටර් පොලොක් ටෙස්ට් කඩුලු 116 ක් බිඳ හෙලා ඇති අතර ඔහුගේ පුත් ෂෝන් පොලොක් පියාට වඩා තවත් ඉදිරියට ගියේ කඩුලු 421 ක් මෙන්ම ලකුණු 3781 ක් ද ලබා ගනිමිනි.

මේ හැරුණු විට ඉන්දියාවේ ලලා අමරනාත් ගේ පුතුන් වන සුරේන්ද්‍ර හා මොහින්දර් අමරනාත් , විජේ මන්ජේකාර් හා සන්ජේ මන්ජේකාර් පිය පුතුන්,පාකිස්තානයේ හනිෆ් මොහොමඩ් හා පුත් සොහිබ් මොහොමඩ් ,එමෙන්ම නසාර් මොහොමඩ් හා මුඩාසර් නසාර් පිය පුතුන් මෙහිදී අමතක කළ නොහැක.

ශ්‍රී ලංකාව දෙස බලන විට අර්ජුන රණතුංගගේ පුතණුවන් ළාබාල වියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි නමුත් ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැත. මේ වනවිට හෂාන් තිලකරත්නගේ පුතුන් දෙදෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙති. මෙයින් දුවිඳු තිලකරත්න 2019 නේපාලයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර බි.ආර්.සි.කණ්ඩායම වෙනුවෙන් ප්‍රිමියර් ලිග් තරගාවලියේදී පන්දු යවන්නෙකු වශයෙන් දස්කම දැක්වූයේ 2019-20 තරගාවලියේදී තරග 09 කදී කඩුලු 61 ක් ලබා ගනිමිනි, ඔහු පසුගිය එල්.පි.එල්.තරගාවලියේදී ගෝල් ග්ලැඩියෙටර්ස් කණ්ඩායමද නියෝජනය කිරීමට සමත් විණි. බොහෝ විට ඔහු නුදුරේදී ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට ඉඩ ඇත.

 

Comments