
වයිරසයෙන් ගැළවීමක් නැත
කොවිඩ් වයිසරයේ පැතිරීමේ වේගය අඩුවී ඇති බව නිවේදනය කොට සති දෙකක කාලයක් ඉක්ම යෑමටත් පෙර යළිත් වයිරසයේ පැතිරීමේ වේගය වැඩිවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකාවේද කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇතිවෙමින් පවතින බවයි.
බ්‍රිතාන්‍ය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක් තම රටවල සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, හැකි උපරිමයෙන් එන්නත්කරණයද ක්‍රියාත්මක කරමින් තිබේ. එහෙත් එම රටවලද වයිරසය පැතිරීමේ වේගයේ මන්දගාමී බවක් දක්නට නොලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
ඇතැම් එන්නත් ඇතැම් වයිරස් ප්‍රබේදවලට පිළිතුරු නොදීමද ගැටලු මතු කර තිබේ. බ්‍රසීලයේ වයිරස් ප්‍රබේද දැඩිව පැතිරීම සහ සංචාරණ සීමා හේතුවෙන් ජනතාව පීඩනයට පත්ව ඇති අතර ඔවුන් රජයට එරෙහි උද්ඝෝෂණ පවත්වමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිති.
නවල්නි නිසා රුසියාවට සම්බාධක
ඇලෙක්සි නවල්නි දිගින් දිගටම අත්අඩංගුවේ තබා ගැනීම හේතුවෙන් රුසියාවට සම්බාධක පැනවීමට ඇමරිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඇමරිකාවේ එෆ්බීඅයි ඔත්තු සේවාව මඟින් නිකුත් කරන ලද වාර්තාවක් අනුව ඇලෙක්සි නවල්නිට වස දෙනු ලැබුවේ රුසියාවේ කේබීජී ඔත්තු සේවය විසින් බවට තහුවරු කොට තිබීම මේ සම්බාධක පැනවීමට තවත් හේතුවක් බව බයිඩ්න් පාලනය පෙන්වා දී තිබේ.
මේ සම්බාධක පැනවීම සම්බන්ධව නිවේදනය ප්‍රකාශයට පත් කරමින් බයිඩ්න් පාලනයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය හොබවන ඇන්තනි බ්ලින්කින් පවසා සිටියේ ජනතාවට එරෙහිව රසායනික අවි භාවිත නොකරන ලෙස මීට පෙරද ඇමරිකාව රුසියාවට අවවාද කර තිබූ බවයි.
චර්චිල්ගේ චිත්‍ර ජොලී විකුණයි
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වන වින්ස්ටන් චර්චිල් විසින් අඳිනු ලැබූවේයැයි සැලකෙන චිත්‍රයක් වෙන්දේසි කිරීමට එහි හිමිකාරිනිය වූ ජනප්‍රිය නිළි ඇන්ජලීනා ජොලී කටයුතු කර තිබේ. මේ චිත්‍රය නම් කර තිබුණේ ‘කුටුබියා ඉස්ලාම් දේවස්ථානයේ කුලුන’ යනුවෙනි.
හිටපු අගමැතිවරයා විසින් මෙය අඳිනු ලැබූ බවට විශ්වාස කෙරෙන අතර මීට පෙර මෙය ජනප්‍රිය නළු නිළි දෙපළක් වන බ්‍රැඩ් පිට් සහ ඇන්ජලීනා ජොලී විසින් 2011 වසරේදී මිලදී ගෙන තිබිණි. මෙවර ඔවුන් එම චිත්‍රය අලෙවි කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා ඔවුන්ට ඩොලර් මිලියන 11.5ක් හෙවත් පවුම් මිලියන 8ක් හිමිවී තිබිණි.
වැනීසියට වතුර නෑ
ඉතාලියේ වැනීසි නගරය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ එහි ජලමය මහාමාර්ග හේතුවෙනි. මේ මහාමාර්ග වතුරෙන් පිරී යන්නේ වඩදිය පවතින කාලයේදීය. එම කාලයේදී මේ ජලමාර්ගවල ජල මට්ටම ඉහළ යන අතර ඒ හේතුවෙන් බෝට්ටු ප්‍රවාහනය වඩා පහසුවෙන් කළ හැකි වේ.එමෙන්ම බාදිය පවතින අවස්ථාවලදී ඇළ මාර්ගවල ජල මටිටම පහළ යයි.
එහෙත් පසුගියදා හඳුනාගත නොහැකි වූ හේතුවක් මත වැනීසියේ බාදිය මට්ටම ඉතා පහළ ගියේය. එය සාමාන්‍ය බාදිය ජල මට්ටමට වඩා ඍණ දහ අටක් දහනවයක් දක්වා පහළ බැස ගිය බව වැනීසි බලධාරීන් වාර්තා කළ අතර අවම ජලය හේතුවෙන් බෝට්ටු ප්‍රවාහනය සිදු කිරීමට නොහැකිව නවතා දැමීමට සිදුවිය.
මෙලෙස බාදිය මට්ටම එක්වරම පහළ යෑමට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැත.
අතහරින්නේ නෑමයි
තමන් නෙරපීමට රිපබ්ලිකන් පක්ෂය උත්සාහ දැරූවද, තමන් දේශපාලනයෙන් ඉවත් කිරීමට ඔවුන්ට නොහැකි බවත්, රිපබ්ලිකන් පක්ෂයෙන් තමන්ට අවස්ථාව නොලැබෙන්නේ නම් ඇමරිකාවේ නම දේශපාලන පක්ෂයක් පිහිටුවා ගනිමින් දේශපාලනයේ නිරත වන බවත් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පවසා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ 2024 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදීද තමන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවයි.
රිපබ්ලිකන් පක්ෂයේ පිරිසක් ට්‍රම්ප්ට හිතවාදීව සිටියද ඔහුගේ හිටපු උප ජනාධිපතිවරයා වූ මයික් පෙන්ස් සහ තවත් කණ්ඩායමක් ප්‍රසිද්ධියේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පළ කරන බව ප්‍රකාශ විය.
ඔවුන් පවසා සිටියේ ට්‍රම්ප් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවයි. එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසා සිටින්නේ තමන් කිසිසේත් දේශපාලනයෙන් ඉවත් නොවන බවයි.